මන්දාරම් නුවර මැදින් කොඩියඅරාගල මුදුනට

ගිරිශිඛරවලින් වට වූ මන්දාරම් නුවර වන නිම්නය

මන්දාරම් නුවර නිම්නය හරහා හමා එන මන්ද මාරුතය අපූරු ලාලිත්‍යයක් ඇල්ලට එක්කරන්නේ, පසෙකින් පිහිටි රූස්ස ගස් ඉස්මත්තෙන් වියපත් වූ තුරුපත් සුළඟේ ලෙලවා විසුරුවා හරිමිනි. හරිත පැහැය හළ පත් පෙළ ඒ මේ අත හැරෙමින්, ඇල්ලට ඉහළින් පවනේ පාවේ. දියඇලි මනාලියගේ සුදෝසුදු වේලයට ඉහළින් පැතිරෙන රන්පත් වරුසාවක් සේය, එය දිස්වන්නේ. කොළපතන ඇල්ල! ඇල්ලේ නමට මේ දසුන අපූරුවට ගැලපේ. එහෙත්, ඒ වෙනත් අරුතකින් සෑදුණේ විය යුතු ය. ගමේ කිහිප දෙනෙකුගෙන් ම එහි අරුත් කිමැයි විමසුව ද, එය අම්මා මුත්තා කාලයේ සිට වහරන්නක් යැයි පැවසුවා විනා වැඩි යමක් ඔවුහු නො දනිත්. “රජකාලෙ දි, මල්සරා කියල දේවීයක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොළපතන ඇල්ල කියල නම වැටුණේ.“ ඒ තොරතුර අපට සොයා දුන්නේ මන්දාරම් නුවර මාලනී නැන්දා ය.
කොළපතන ඇල්ල
තනුරත් මාත් හැර වෙනත් කිසිවෙකුත් පේන ඉසව්වක නැත. මෙවන් තැනෙක එවන් හුදෙකලා සුවයක් විඳීම දුලබ සිදුවීමක් වනු ඇත්තේ, වෙනත් දිනවල දී වැල කොකැඩී සෙනග ඇදෙන ලකුණු මෙහි දක්නට ඇති බැවිනි. අද අවුරුදු දා ය. ඊටත්, මන්දාරම් නුවර වට කොට ගත් කඳු පෙළ අතරින් පළමු හිරුකිරණ පතිත වී තවමත් හෝරාවක් ඉක්ම ගොස් නැත. හිතුවා සේම වැඩි වේලාවක් අපට ඒ හුදෙකලාවේ සුව විඳින්නට අවසරයක් නොවිණි. පැංචෝ පැංචියෝ රොත්තක් ඇල්ල දෙසට හැල්මේ දුවති. වැඩිහිටියන් ළඟා වූයේ ඉන් පසුව ය. ඒ ගමේම උදවියයි. අවුරුදු දා ඇල්ලේ සිරි නරඹන්නට එන්නට ඇත්තේ, එය නිදහසේ නරඹන්නට වෙනත් දිනෙක ඉඩ හසර නො ලැබෙන නිසාවෙන් විය හැකි ය. ඔවුනට රිසි සේ එතැන සරන්නට දී අපි ඇල්ලෙන් මෑත් වුණෙමු. ඒ අපේ ගමන ඇරඹීමට ය.
කොඩියඅරාගල, ඒ අපේ ඉලක්කයයි. මන්දාරම්නුවර නිම්නය ඉහැත්තෑවේ, යෝධයෙකු මෙන් තේජමානව දිස් වන්නේ ඒ ගිරි කුළ ය. ගම්මානයට එය දිස් වන්නේ, ත්‍රිකෝණාකාර හැඩයකිනි. ඇල්ලෙන් වමට පිහිටි කන්ද නැග ඊට මග සකසා ගැනීම යෙහෙකැයි අපට කියූයේ සුමනතිලක මාමා ය. අප දැන් ගමන් කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුඩු බිමකිනි. එහි තැන තැන, ලඳු කැලෑවෙන් වැසී ගිය ද, කලෙක පටන් එය ගොවිබිමක්ව තිබූ බවට හෙල්මළු අයුරින් සකසා ඇති පාත්ති දෙස් දේ. ගොවීන්ගෙන් එය පවරාගෙන ඇත්තේ මෑතක දී ය. රතු-සුදු පටි ලෙසින් පින්තාරු කළ මායිම් කණු ඒ බිම්කඩ සීමාවේ දක්නට ලැබේ. එතැනින් ඉස්මත්තේ ද, ගොවිපළකි. සරුවට වැඩුණු බෝංචි, කැරට් පාත්ති අතරේ වල් නෙළමින් සිටින ගොවියෙකි. ඔහු සිටින්නේ අපට පහසුවෙන් හඬගෑමට තරම් නුදුරේ නොවන නිසා, අපි හිමිං සීරුවේ කැලය තුළට රිංගා ගියෙමු. “එන ගමං කතා කරන්න බැරියැ. දැන් අපි ඉක්මන් කරල යමු“ මම කීවෙන් තනුර ද, මා පසුපසින් කැළයට රිංගුවේ ය.  වන මායිම සලකුණු කළ කණු අතරින් කැලය දෙසට දිවෙන අඩි පාරකි. එකක් නොව කිහිපයකි. කොයි මග යන්නේ දැයි, ගැටලුවක් වුව ද, වඩා යහපත් යැයි සිතූ මග ගතිමු. අඩි පාර දිවෙන්නේ රූස්ස තුරු ගොමු අතරිනි. ඒ මග දිගේ සමාන්තරව ඇතිරූ වතුර බට කිහිපයකි. “මේ අඩිපාර වතුර බට දිගේ, ඒව හදන්න ආව ගිය පාරක් ද දන්නේ නෑ“ තනුරගේ හිතේ කුකුසකි. මම ජීපීඑස් තිරය පනගන්වා සිතියම පරීක්ෂා කළෙමි. “මේ පාරෙන් ගියාට අවුලක් නෑ. කොහොමත් කැලෙන් යනවට වඩා අඩිපාරකින් යන එක සැපයිනෙ“ මම කීවෙමි.
කොඩියඅරාගල මුදුන පහළට දිස් වෙන හැටි
ටික දුරක් යන විට වතුර බට පමණක් නොව වතුර පිහිලි ද අඩිපාරට සමාන්තරව දක්නට ලැබිණි. පිහිලි කීවාට, ඒ නිරන්තරයෙන් පිරිසිදු ජලය ගලා යන, කාණුවක් වැනි ඇල මගකි. එවැනි ඇල මං එකක් නොව රැසක් ඇති බව පසක් වන්නේ තව තවත් ඉහළට යන විට ය. ඒවා සියල්ල, කොළපතන ඇල්ල නිමැවෙන දිය දහරේ සිට ඇරඹෙන සෙයකි දිස් වන්නේ. ඇල්ලෙන් පහළ ගංමැද්දෙන් ගලා යන මේ දිය දහරාව ගම්මුන් හඳුන්වන්නේ ‘බෙලිහුල්ඔය‘ ලෙසිනි. එය හොර්ටන් තැන්නේ සිට ගලා එන බෙලිහුල් ඔය සමග පටලවා නො ගත යුතු ය.
තවමත් අප සිටින්නේ, ‘බෙලිහුල් ඔය‘ ට වම් පසිනි. අපගේ ගමනාන්තය පිහිටන්නේ දිය දහරට දකුණිනි. එහෙත් ඒ දෙසින් ගිරිකුළ නැගීම උගහට ය. කිසියම් තැනෙක දී අප මේ දිය දහර හරහා ගොස් දකුණු පස කන්දට ගොඩ විය යුතු ය. තවමත් ඒ ඉසව්වට ළඟා වී නැත. අප ගමන් කළ අඩිපාර හිටි අඩියේ අතුරු දන් වූ සෙයකි. දැන් කුමන දෙසකට යා යුතු ද? මදක් ඉහළින් හඬක් ඇසේ. ඒ කුමක් දැයි නිශ්චිතව කිව නොහැකි ය. අපි ඒ දෙසට ගමන් කළෙමු. හඬ දැන් තව තවත් තීව්රව ඇසේ, බෙරයක් වයනවාක් වැනි තාලයකට ඇසෙන හඬ ජල බිඳුමකින් ඇසෙන්නනේ යැයි ස්ථිර ය. “මේ බෙරගහන ඇල්ල ද“ තනුර විමසන්නේ, “මොන ඇල්ලක් ද මේ හරියේ, මේ කඳු නාරටියක්නෙ“ මම පැවසීමි. දිය හඬ ඇසෙන දෙසට අප අඩියට දෙකට ඇදුනෙමු. තවත් දිය අගලකි. අගලේ එක් තැනෙක අඩියක් දෙකක් පහළට දිය කඩා වැටේ. තානයකට නාද දෙන්නේ ඒ දිය බිඳුම ය. එතැන් සිට ඒ දිය ඇලට සමාන්තරව අපි ඉවුර දිගේ ගමන් කළෙමු. එය කෙළවර වූයේ, පුළුල් දිය දහරකිනි. ඒ හරහා වේල්ලක් බැඳ, එතැනිනි දිය හරවා ඇත්තේ. මන්දාරම් නුවර ඉහළ ගම්මානයේ, ලිං කැපීමේ සම්ප්‍රදායක් නැත. පුරාතනයේ පටන් ඔවුන් සිය ජල අවැසිතා පිරිමසා ගන්නේ ජල පිහිලි මගිනි. දිය අගල හා කිතුල් පිහිලි යොදා ගනිමින් මුල් කාලයේ ජලය සපයාගත් බව ගම්වාසීන්ගෙන් අපට දැනගන්නට ලැබිණි. දැන් නම් එවැනි දිය පිහිලි දක්නට නැතත් සෑම නිවසකම පාහේ තමන්ගේම වූ ජලනළ මගින් කඳුකරයේ සිට ජල සැපයුමක් ඇත.
සුමනතිලක මාමා
කෑම බීම අඩුම කුඩුම, තනුරගේ පිට රැඳි මල්ලේ ය. මා රැගෙන යන්නේ කැමරා ආම්පන්න පමණි. “අපි මේ ත්‍රයිපොඩ් එක එනගමන් ගන්න දාල යමු ද?“ තනුර මින් පෙර ද කිහිප විටක් ඇවිටිලි කළේ, එහි බර කන්ද නගින්නට නගින්නට වැඩි වැඩියෙන් දැනෙන බැවින් විය යුතු ය. මෙවර නම් මා ඊට එකඟ වීමි. මන්ද මෙතැනින් ඔබ්බේ, ත්‍රිපාදයක් අටවා ඡායාරූප ගැනීමට තරම් වූ දිය දහරක් තිබිය නොහැකි ය. දොළ මග අසල තැනෙක එය, සඟවා පිටත් වුණෙමු.
නිම්නයේ වම්පසින් දකුණු පසට මාරු විය යුත්තේ මෙතැනිනි. ඒ කොඩියඅරාගලේ වම් පසය. දැන් ඇත්තේ යෑමක් නොව, නැගීමකි. හතරගාතයෙන් විනා ඒ මග යා නොහේ. මම ඉදිරියෙනි. තනුර පිටුපසිනි. බර පොදියට වඩා, අරියාදුවට හිටියේ ඔහුගේ පා රැඳි මිරිවැඩි ය. බුරුල් තෙත් හියුමස් පස් තට්ටුව මත, මඩ වැකුණු සෙරෙප්පුව නොරිස්සුම් ගෙනේ. “පොඩ්ඩක් ඉන්න. හයියෙන් යන්න එපා“ ඔහු මා වෙත කෑ ගසන්නේ නොරිස්සුමෙනි. “මං වගේ සපත්තු දාගෙන ආවනම් ඉවරනෙ“ මම පැවසූයේ තවටිකක් ඔහු අවුලවනු රිසියෙනි.
සෑහෙන දුරක් අත්පා වාරුවෙන් නැගීමෙන්, දැන් දැනෙන්නේ ‘හොඳ පන ගියා‘ වැනි හැඟීමකි. දකුණුපස කඳු ගැට්ටේ වන තුරුපත් අතරින් සහන් එළියක් දිස් වේ. මම ඒ දෙසට ගියෙමි. අහා! මනස්කාන්ත දසුනකි. පහළ නිම්නයේ පෙනෙන්නේ මන්දාරම් නුවර ගම්මානයේ ඉහැත්තෑව ය. එහි ගෙවල් කුඩා ගිනි පෙට්ටි මෙනි, මෙතැනට දිස් වන්නේ. ඒ දසුනෙන් මුසපත්ව, හරහා වැටුණ කඳකට බර දුන් මම ගිමන් හරිනෙමි.
රොනට වැඩිය සමනළයෙක්
ගියවසරේ ද අවුරුදු සමය අප ගෙවා දැමුවේ, පුරාණයේ සිට පැවැතෙන ගමක් වූ මීමුරේ ය. මෙවර, මන්දාරම්නුවර ය. එහෙත් එහි වෙනසක් ඇත. සියළු අවුරුදු සිරිත්විරිත් ඉටු කරමින්, ගමේ ගෙදරක නියම අවුරුදු සිරිය විඳගන්නට අප වාසනාවන්ත වූයේ, සුමනතිලක මාමාට පිංසිදුවන්නට ය. අප එහි ළඟා වූයේ පෙර දා හවස් යාමයේ ය. නොනගතයට වැඩ අත්හරින්නට පෙර, කෑම බීම පිළියෙළ කොට රජබොජුන් වන් අහරක් අපට සකසා දුන්නේ මාලනී නැන්දා ය. ගීති, මාලි දියණියන් හා නාලක පුතුත් දනි පනි ගා හරි හරියට උදව් කළ හ.
හිමිදිරියේ ආහර අනුභවයේ නැකතට, ගිතෙල් පැණි මිශ්‍ර කොට පොතේ හැටියට තැනූ කිරබතක් රැගෙන පැමිණි සුමනෙ මාමා අපට ද කිරිබත් කැවූයේ සිය පවුලේ සාමාජිකයන් කොට සලකා ය. කිරිබත් ගුලියට තනුර කට අරින්නේ, “හා හා මේ පැත්ත නොවේ අරපැත්ත අරපැත්ත..“ හෙතෙම නැකැත් සිරිත් පරිදි නිවැරැදි දිශාව පෙන්වන්නේ ය. අප කොඩිඅරාගල නගින්නට ආවේ ඒ සියලු ආශිර්වාද සමගිනි.
මම ආවර්ජනයෙන් මිදුණේ, තනුරගේ සන් කිරීමත් සමගිනි. “හ්ම්ම්.. දැන් අපි යමු“ නැවතත් ඔහු නව ජවයක් ලද සෙයකි. දැන් හෙළේ නගින්නේ, පහළ බැලීම පවා බිය දනවන දනවන දසුනකි. ගල්වල ද මුල්වල ද සහයෙන්, ටිකෙන් ටික අප ඉහළ ඇදෙන්නෙමු. විටෙක රූරා ගිය ද, අනතුරුක් නොවී ගැලවීම වාසනාවකි. දැඩි බෑවුම් කොටසින් පසු වම් දෙසින් තවත් නිම්නයක් දිස් වේ.

“බුම් තක් තක්... බුම් තක් තක්“.......

කැලේ මැදින් දිය ගෙන යන මෙවැනි ඇල මං රැසකි

කොඩියඅරාගලට නැගීමට මේ දිය දහර හරහා යා යුතු ය

කන්දේ අඩක් නැගි විට පහළ පෙනෙන අයුරු

‘අම්මෝ දැන් නම් හොඳ පන ගියා‘ තනුර ට හති වැටී..


පුදුමයකි. කැලේ මැද බෙරහඬක්! එහෙත් එය නැගෙන්නේ බෙරයකින් නොව, ජලයෙනි. ජලයෙන් කීවාට දිය ඇල්ලකිනි. ‘බෙරගහන ඇල්ල‘ ලෙස ගම්මුන් හඳුන්වන්නේ මෙය විය යුතු ය. ජලයෙන් ජනනය කෙරෙන මියුරු සර කෙතෙක් ඇතත් ඒ සියල්ල මිනිසාගේ නිමැවුම් ය. ඇල දොළවල විවිධ ජල ජනිත හඩ මා සවන් වැකී ඇතැත්, මෙවැන්නක් නම් කිසි දා අසා නැත. අපි දෙදෙනාම නිසොල්මන් ව අසා සිටිමු. මොහොතකට මන්ද මාරුතය පවා නැවතී, තුරුපතක් පතිතවන හඩක්වත් කන නොවැකේ. ඇසෙන්නේ, ඒ ජල තානය පමණි. සුළඟේ ලෙලෙනා දිය ඇල්ල, ගල් තලයක් මත පතිත වීමෙන් මේ හඩ නැගෙන්නේ යැයි සිතේ. ඒ දැකුමට සිත් තුළ දොළක් උපන්න ද, මේ ඊට නිසි සමය නොවේ. දිය ඇල්ලක් නම් එය දැකීමෙනි, අප නෙත් පිනා යන්නේ. මේ නොදුටු දිය ඇල්ලෙන් පිනා යන්නේ දෙනෙත් නොව දෙකන් ය.
පිඳුරුතලාගල මුදුන ඇත්තේ මේ කන්දෙන් ඔබ්බේ ය
 ජල ගීයට මා කෙතරම් වශී වූයේ ද යත්, ඒ හඬ පවා සටහන් කොට ගතිමි. “දැන් අපි යමු ද?“ නැවතත් තනුර ගේ ඇවිටිල්ල ය. “එහෙනම් යන්න. මම එන්නම්“ මම නො රිස්සුම් ස්වරයෙන් පැවසූවෙමි. ඔහු මුවින් නො බැණ කර බා ගත්තේ ය. අපගේ ඉලක්කය වෙත ඉක්මනින් යෑම උචිත ය. ඒ කියා, මේ සා සොඳුරු අත්දැකීමක් නො විඳීම කුමන අමන කමක් ද? එහි රැඳි පමාවේ විඩාව ද මදක් වියැකී ගියෙන්, හෙළේ නැගීමට නව ජවයක් ලැබිණි. ඇල්ලේ හඬ ඇසුනේ වම් පස නිම්නයේ ය. දැන් එය නෑසේ. අප දැන් සිටින්නේ ගිරි කුළේ මුදුනට සෑහෙන සමීපයෙන් විය යුතු ය. මෙහි තුරුලතාදියෙහි ද පැහැදිලි වෙනසකි. රූස්ස වනස්පති දක්නට නැත. ඇත්තේ නො උස් ගස් ය. සුළං මුවාවේ තුරු ලතා උස්ව වැඩුනත්, මුහුණතේ ඇත්තේ කුරු තුරු ගොමුවකි. නිරන්තර මාරුතයේ පීඩාවෙන් කේඩෑරි වූ ඒ තුරු වග පහළ දී සරුවට වැඩී ඇති අයුරු අපගේ නෙත ගැටුණා මතක ය.
ගැටිය දිගේ වැටි වැටී ඉහළට ඇදුණු අපි මුදුනකට සේන්දු වූයෙමු. මේ කන්දේ මුදුන මෙතැන වුව අපගේ ගමනාන්තය මෙතැන නොවේ. උස් නොවූ තුරුහිස් මතින් තෙරක් නොපෙනෙන මහ වනය දිස් වේ. “කෝ පිඳුරුතලාගල“ තනුර විමසන්නේ ය. මම එක් දෙසකට අත දිගු කළෙමි. “මේ පැත්තෙන් තමයි තියෙන්න ඕන. ඒත් මේ කන්දට වැහිල නිසා පේන්නෙ නෑ“ එකක් පරයා තවෙකක් කඳු ය. තෙල තුමුල ගිරිහිස නිසා ඉන් ඔබ්බේ කිසිත් නොපෙනේ. අපේ ගමනාන්තය පේන මානයේ ය. දැන් තවත් නැග්මක් නැති නිසා සිතට සහනයකි. වැටිය ඔස්සේ කඳු ගැට්ටේ තුඩුව කරා අප පිය මැන්නෙමු. අතුඉති පහතින් විහිදී ගිය කුරු තුරු අස්සෙන් යා යුත්තේ හිස පහත් කොට ගෙන ය. “අහ්... බලාගෙන...“ ගැටියේ එක් තැනක් එක් වන ම ප්‍රපාතයට විවර වේ. නුදුරු කලෙක එතැන නාය ගිය සෙයකි. තුරුගොමුව සමගින්ම කඳු ගැටිය පහතට රූරා ගොසිනි. අපි පරෙස්සමෙන් එගොඩ වීමු. “අයියෝ මෙන්න මෙතැනත් බෝතලයක් දාල ගිහිං“ කිසිවෙකු විසිකර දැමූ ප්ලාස්ටික් බෝතලයක් අහුලා සිය මල්ලේ ඔබා ගනිමින් තනුර පවසන්නේ ය.
ඉන්පසු පිළිපන්නේ එළිමහනකට ය. අප ගමන් කළේ ලාඩමක හැඩයට වක ගැසුනු කඳු නාරටියක ය. එහි එක් අන්තයක අපේ ගමනාන්තය දිස් වේ. ඒ සැතපුම් ගණනාවක් ඈතට දිස් වන සේ එසැවුණු කොඩිගහ ඇති ගිරි ශිඛරයයි. එතැනට දිව යන තුරු ඉවසුමක් නැත. දෙපස බෝවිටියා මලින් සැරසුණු තණ පළසක් මතිනි අප පිය මනින්නේ. අහා! මේ කුමන දිවවිමනක් ද? නීල හරිත කඳු නිම්න වට කොටගත්, තව්තිසාවට තරම් උස්ව නැගුණු කුලුණක් මත සිටගත් සෙයකි. මෙවන් දසුනකින් ලැබෙන සැපය සම කළ හැක්කේ කුමකට ද? නැත, එය අසමසම ය. ප්‍රපාතයේ මුවවිට සිටගෙන මම දෑත් විදා දෑස් පියා ගතිමි. ඈත කඳු නිම්නය පිස එන සුළඟ මා ගත දැවටෙන්නේ, සුකුමල ළඳක් සියුමැලිඟිලි තුඩගින් සියොළඟ සලිත කරන්නාක් මෙනි.
කොඩියඅරාගල මුදුනේ කොඩිය දරා..
“අම්මෝ... මට නම් ඔය ඇඩිරිනලින් ෆීලිං එක ඕන නෑ..“ තනුර පවසන්නේ, ප්‍රපාතය අභිමුවේ වෙණ තත් මෙන් සැලෙන දෙපා, පියවර කිහිපයක් පිටුපසට ගොස් නොසැලී තබා ගනිමිනි. ඇඩිරිනලින් හෝමෝනය ස්‍රාවය වන්නේ, හදිසි අවස්ථාවකට සිරුර සූදානම් කිරීම සඳහා ය. එවිට හද ගැස්ම වේගවත් වී, අස්වාස-ප්‍රස්වාස වැඩි වී ඇස් කෙවෙනි ලොකු වී අවදානමට සූදානම් වේ. බොහෝ ත්‍රාසජනක ක්‍රීඩකයන් මේ හැඟීමට කැමති ය.
මම ප්‍රපාතයට දෙපා හොවා ගැට්ටේ හිඳගතිමි. පහළ නිම්නයේ ගම්මානය අපූරුවට දිස් වේ. හයිෆොරස්ට් පෙදෙසේ සිට මන්දාරම් නුවරට පිවිසෙන මග, තැන තැන වක ගැසුණු කාල වර්ණ රේඛාවක් සේය මෙතැනට පෙනෙන්නේ. නිවෙස් දිස් වනුයේ ගිනිපෙට්ටියක් තරමට ය. ඉඳ හිට වලාවකින් වැසී ගිය ද සූර්යයා අහසේ විරාජමාන ය. එය අපට මහත් ආශිර්වාදයකි. වැසි වැටුණොත් පල්ලම් බැසීම ලෙල්ලමක් වනු නොඅනුමාන ය.
පර්වත මස්තකය අරා ගත්, කොඩිගස මුදුණේ ලෙලදෙන කොඩිය පහළ ගම්මානයට පවා දිස් වේ. අඩි විස්සක් පමණ උස්වූ කොඩි ගස සකසා ඇත්තේ රිටක් අධාරයෙනි. සුළඟේ ලෙලෙන කොඩිය සකසා ඇත්තේ කුමකින් දැයි අපට ඇති වූයේ කුකුසකි. එය ඇඳ ඇතිරිලි කොටසක් සහ ඉවතලන පෝර උරයක් යොදා සකසා ඇති බව ඒ අසලට ම එන තුරුත් නොහැඟේ. දන්නාකියන කාලයේ පටන් මෙතැන මේ කොඩිය ඇති බව අප හා පැවසූයේ සුමනතිලක මාමා ය. එය පුරාතනයේ පටන් පැවතෙන්නක් විය හැකි ය. කොඩිය පිහිටවූ ගල යන තේරුමෙන් යුත් ‘කොඩියඅරාගල‘ නම පටබැඳෙන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතු ය. කාලෙන් කාලෙට මෙහි පැමිණෙන ගම්මුන්ගෙන් අයෙකු එය අලුත් කර පවත්වා ගන්නා බව නම් නිසැක ය.
මගේ කැමරාව තුළ තව තවත් සේයා රූ සටහන් වෙත්දී, තණ පලස මත තනුර පැද්දි පැද්දී එහෙ මෙහෙ යයි. කොහෙන්දෝ තවත් ප්ලාස්ටික් බෝතලයක් සොයා ගත් හෙතෙම එය මල්ලේ ඔබා ගනී. “ඡායාරූප පමණක් රැගෙන යන්න. පා සලකුණු පමණක් තබා යන්න“ කොහේ හෝ පුවරුවක එසේ ලියා තිබුණු බව මට මතක ය. එහෙත් මේ වනයට එවැන්නක් පවා අදාළ නොවන්නේ, නිසි අවසරයකින් තොරව මෙහි කිසිවෙකුටවත් ඇතුළුවිය නො හැකි බැවිනි. නීතිය නොරැකෙන බවට බොහෝ සාධක මෙහි ඇත.  ඇතැම්හු හුදු විනෝදය පිණිස මෙහි පැමිණෙන බව නොරහසකි. ඒ අතරින් මහත් අවැඩක් සිදු කරන්නේ බුරුතු පිටින් කැන්දන් එන ‘ඉසව් සංවිධායකයින්‘ ය. මේ ඉලව් සංවිධායකයන්ට, සොබා සංරක්ෂණය ගැන ගැඟීමක් නැත. ඔවුන්ගේ අවධානය උදර සංරක්ෂණය ගැන පමණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා එක්ව කොළපතන ඇල්ල අසල කූඩාරම් ඇටවීම තහනම් කොට ඇත්තේ, සංරක්ෂණ පිළියමක් වශයෙනි. ඒ, අවිචාරවත් අසංවර සංචාරකයන්ගේ ගැහැට විඳි ගැමියන්ගේ ඉල්ලීමට කන් දීමක් ලෙසිනි. ගම්මුන්ගේ සියලු ජල මූලාශ්‍ර ඇත්තේ, මේ නිම්නය ඉහැත්තෑවේ ය. කූඩාරම්ලන්නෝ ඒ ගැන තැකීමක් නො කරති. කතිබොති, සෝදති, තැන තැන වසුරුලති. මේ ව්‍යසනයෙන් ගැලවීමේ එක් මගක් ලෙස අපට හැඟෙන්නේ, එහි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඳවුරු බිමක් ස්ථාපිත කිරීම ය. එවිට එහි නියාමනයක් සිදු වනු ඇත.
හිරු අවරට ගොස් දැන් දෙහෝරාවක් ඉක්ම ගොසිනි. පල්ලම් බැසීම නුවණට හුරු ය. දෙපා එසැවුණ ද සිත තවමත් එතැන ය. හිරු කඳු වළල්ලෙන් සැඟවී යන හෝරාවේ ද මෙතැනට වී හිඳන්නට හැකි නම්... තරුපිරි අහස යට මේ තණ පලසේ සැතපෙන්නට ඇති නම්... කෙතරම් අපූරු ද? එහෙත් දැන් අප යා යුතු ය.
ආ මග ජීපීඑස් තිරයේ සටහන්ව ඇති බැවින් දිශා සොයමින් කල්යැවීමට අවැසි නැත. අපි වේගයෙන් පහළට බැස්සෙමු. “කෝකටත් ගමේ අයට කෝල් එකක් දීල යමු“ අපගේ ඇමතුමට පිළිතුරු දුන්නේ මාලනී නැන්දා ය. “පුතාල පරෙස්සමින් එන්න..“ ඇය සංවාදයට සමුදෙමින් පැවසූවා ය. පහළ බසින විට මහන්සිය අඩු වුව ද පරෙස්සම ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු විය. ඇතැම් තැන්වල බහිනවාට වඩා රූටාගෙන ඒමට ය, අපට සිදු වූයේ. එවන් තැනෙක පය ගිලිහී ගිය ඇසිල්ලකින් කොතැනක නවතී දැයි සිතා ගත නොහැකි ය. කන්ද නගිද්දීටත් වඩා තනුරට මිරිවැඩියේ කරදරය දැනෙන්නේ දැන් ය. තෙත පස්තට්ටුවේ එරෙන දෙපාඟිලි අතරින් මඩ තලි තලි චෝරු පනී. ඔහු එය ගණනකට නො ගනී.
සෑහෙන ඉක්මනින් අපි ත්‍රිපාදය සඟවා තැබූ දොළ මග අසලට පිවිසුණෙමු. “මොනවාහරි කාල යමු ද?“ මම පැවසීමි. තනුරගෙන් ඊට ප්‍රතිචාරයක් නැත. ඔහුට වුවමනා වන්නේ හැකි විගසින් කැලයෙන් එළියට පැන ගැනීමට ය. හරි එහෙනම් අපි කැලෙන් එළියට ගිහිල්ලම කමුකො. දොළ මගෙන් දිය බී කුස් පරවා ගත් අපි පෙරටත් වඩා වේගයෙන් ඉදිරියට ඇදුනෙමු. එතැන් සිට, මග වැටී තිබුණේ දිය පිහිලි ඔස්සේ ය. යම්තාක් දුරකට සමෝච්ච රේඛා ඔස්සේ ඒවා වැටී ඇති නිසා දුර වුවද, ඒ ඔස්සේ ගමන් කිරීම පහසුවකි.
රෑ බෝ වීමට තව වේලා ඇතත්, කඳු වලල්ලට හිරු මුවා වූ විට මෙහි අඳුර පැතිරේ. දැන් අඳුර පැතිරීමට ආසන්න ය. අප වන මායිමෙන් මතු වූවා පමණි. “බුහ් බුහ්..“ දඩෝරියන් දෙදෙනෙකු අප දෙසට දුව එති. තනුරගේ සූදානම ආපසු දුවන්නට ය...“හා හා ඔහොම නවතින්න...“ උස් හඬින් කවුදෝ අමතයි... අපි මොහොතකට ගල් ගැසුනෙමු...
කුරු තුරු ගොමුව යට
කඳු මැද කඳු
කඳු වළල්ලෙන් වට වුණු මන්දාරම් නුවර කොඩියඅරාගල මුදුනට පෙනෙන හැටි 
ගල මුදුනට රංබණ්ඩා මාමාගේ හේන පෙන හැටි
දඩෝරියන් දෙදෙනා පිම්මේ පැන එති. අප සිටින්නේ වන මායිමෙන් මෙපිට වැට අද්දරය, වැට දිගටම කටු අකුල් හෙලා බාධක පවුරක් සකසා ඇත්තේ, වන සතුන් වගාවට වැදීම වළක්වාලීමට විය යුතු ය. “ඔය අකුල මෑත් කරල පැනල එන්න“ යෙදී සිටි කාරිය මදකට නවතා අප දෙසට එන ගමන් ඔහු කෑ මොර දෙන්නේ ය. තනුර විපිළිසරව හයාගත් මුවින් මදෙස බලන්නේ, “එයා නම් කියයි. මේ බල්ලො දෙන්න...“ කියන්නාක් මෙනි. බලු නගුට උණ පුරුකේ ලූවත් ඇද නෑරෙන්නා සේ, ඔහු ගේ බලු-බිය නම් කිසි දා නෑරෙන්නේ ය. ඒ අතරවාරයේ ගොවියා පැමිණ එක් බල්ලෙකු අල්ලා ගැනීමෙන් අනතුරුවය, වැටෙන් පැනීමට ඔහු හිත එකලස් කර ගත්තේ.
රංබණ්ඩා බල්ලන් සමඟ
 “මේකනම් ටිකක් සැරයි. ඒත් මෙයා එහෙම නෑ..“ නාහෙට නාහන දුඹුරු පැහැ බල්ලා දෝතින් ගනිමින් ඔහු පවසන්නේ ය. කහට හැහුණු දත් පෙන්නා අහිංසක හිනාවකින් මුව සරසා ගත් රංබණ්ඩා මාමා අපෙන් ආගිය තොරතුරු විමසුවේ ය.
“උඩහට යත්දිත් අපි දැක්ක මාමා මෙතැන වැඩ කර කර ඉන්නවා. ඒත් කතා කළේ නෑ, ඈතින් හිටිය නිසා.“ මා කීවේ හිතේ කොණක රැඳි වරදකාරී හැඟීම ද මග හරවා ගැනීමේ අරමුණෙනි.
එළවළු කොටුවේ පහළ සිට ඉහළට හෙල්මළු ක්‍රමයට පාත්ති සකසා ඇත්තේ තැනින් තැන ගල් වැටි ද කාණු ද යොදා පස සොදාපාළු වීම වැළක්වාලන ලෙසිනි. පහළ එක් අන්තයක සරුවට වැඩුණු කැරට් වගාවකි. අනෙක් අන්තයේ බෝංචි වගාවකි. කැරට් පාත්ති මැද ස්වයංක්‍රීය දිය විහිදුම් උපකරණ පවා සවි කර ඇත. ඒවාට ජලය ගෙන එන්නේ ඉහළ දිය දහරාවල සිට පැමිණෙන නළ පද්ධතියෙනි.
තවත් අන්තයක වල් උගුලවා දැමීමෙන් වියැළී ගිය ඉපල් පුළුස්සාලමිනි, අප එන විට ඔහු සිටියේ. කොඩියඅරාගල මුදුනට අපට දිස් වූයේ ඉන් නැගෙන දුමාරය විය යුතු ය.
“අපි නිසා මාමගෙ වැඩත් පරක්කු වුණා නේද?...“ මා කීවේ ඔහුට සමු දීමේ අටියෙනි. “ආ ඒකට කමක් නෑ... මහත්තයලට ගෙනියන්න මොනවද දෙන්නෙ... බෝංචි ටිකක් කඩල දෙන්න ද?“ අව්‍යාජ සිනා මුසු මුහුනින්ම හෙතෙම විමසන්නේ ය... “බොහෝම ස්තුතියි.. අපි අද යන්නෙ නෑනෙ.. ඒ නිසා මොකුත් එපා..“ අපි පැවසුවෙමු. “වේලිච්චි බොංචි ඇට ටිකක් අරං යන්න..“ අපව හිස් අතින් යැවීම ඔහුගේ හිතට හරි මදි සේ ය. “අපිට මොකුත් එපා.. මේ කළ උදව්ව හොඳටම ඇති..“ අපි කීවෙමු. තවමත් ඔහු බලු තඩියා වඩා ගත් ගමන් ය. නිදහසේ සිටින බැල්ල, අප හා මිතුරු වූ ලීලාවක් පාන්නී, අප වටා ම කැරකෙන්නී ය.

රංබණ්ඩාගේ හේනේ සිට කොඩියඅරාගල මුදුන පේන හැටි
“අපි ගාව කෑම තියෙනවා.. ටිකක් කමු ද?“ අපේ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේ, “මේකව විශ්වාස නෑ.. මහත්තයල අර පැල ළඟට හිහිං කන්න මං මෙයාවත් අරං යන්නං“ ඔහු බල්ලා ද කැටුව වැඩ බිමට පිවිසියේ ය. අපි පාත්තියෙන් පාත්තියට කාණු ඔස්සේ පියවර තබමින් පැල් කොටය අසලට පැමිණියෙමු. එතැන ගල්පොත්ත උඩ ඈඳිගත් අපි, මාලනී නැන්දා බැඳ දුන් කෑම මල්ල එළියට ගත්තේ මහත් රුචියකිනි. කැවුම් ආදී කැවිලිවලට අමතරව එහි වූයේ ඇය වෙසෙසින් ම සකසා දුන් අග්ගලා ය. “මෙව්ව කෑවම බඩගිනි වෙන්නෑ“ ඇයගේ කීම සහතික ඇත්ත ය. මා ගිල දැම්මේ අග්ගලා ගුලි දෙකක් පමණි. බඩට ගල් දැම්මා සේ බඩගිනි කොහෙන් ගියා දැයි සිතා ගත නො හැකි ය.
රංබණ්ඩා මාමාට කෑම ගැන නිනව්වක් නැති වුව ද, ඔහුගේ බැල්ල නම් ඒ ගැන උනන්දු ය. තනුරගේ කෑම පංගුවෙන් සෑහෙන කොටසකට වග කියන්නී, මා වෙත ද බයාදු බැල්මක් හෙලන්නී ය. ස්වාමියාගෙන් මිදුණු දුඹුරු බල්ලා ද හැල්මේ දුව එයි. තනුර තැති ගත්තෙන් මා ඔහු අස්වසාලූයේ.. “බය වෙන්න එපා කෑම තියෙනවානෙ...“  තනුර විසි කළ කැවුම් කෑල්ල ගණනකට නොගත් ඌ ගොරවන්නට වූයේ, අපට නොව.. ඒ දෙස හොරගල් අහුලන බැල්ලට ය.
කොටුවේ, කැරට් බෝංචි ආදිය වගා කොට ඇති අයුරු
එළවළු කොටුව අන්තයක ඇති මේ පැල්කොටය නිමවා ඇත්තේ, අස්සක් නෑර සක්ක යොදා, අපූරුවට සැකසූ ගල්බිත්තිවලිනි. දැවයෙන් තැනූ වහලය මතට පොලිතින් රෙද්දක් අතුරා තිබීම නම් නො ගැලපීමකි. ඊටත් වඩා මා දුර්මුඛ වූයේ, දියර ඉසින, පෝර කවර ඈ නේක විධ රසායන භාවිතයේ සලකුණු ඒ අසල දක්නට ලැබීමෙනි.
මන්දාරම වෙලාගත් සුන්දර වන නිම්නය අද්දර කොරටුවේ පස පෙරැළෙන විට නැගෙන්නේ කෙතරම් නැවුම් පුසුඹක් ද? නොයිඳුල් ජල උප්පත්වලින් පෙරී එන්නේ, කෙතරම් නිමල දිය දහරක් ද? ඒ බිමේ සුපෝෂිත බව බෝග, ගොවියෙකුට කෙතරම් සම්පතක් ද? අහෝ ඒ සියල්ල, වස විසෙන් වැසී යන සැටි! ‘වස විස නැති ගොවිතැන‘ ගැන දැවැන්ත දැක්මක්, කතිකාවක් ඇත්තේ කොළඹ හතේ ය. ඒ දැනුමෙන්, බිඳකුදු මේ ඉසව්වට කාන්දුවන පාටක් නැත.

‘අස්වැන්න ගන්න බෙහෙත් නොගහා කොහොම ද?‘ ගොවියෝ කියති. ඈත ගම්මානවල ගොවීනට, වසවිස ‘බෙහෙත්‘ කොට පොවා ඇත්තේ නගරයේ මහත්වරු ය. දැන් ඒ විරේක කර ගැනීමට කාලය පැමිණ ඇත.
සැඳෑ හිරුගේ රැස් දහරින් කොඩියඅරාගල රන් පැහැ වේ. දැනටමත් හිරු අපේ නෙත් මානයෙන් ඔබ්බේ ය. කඳු වළල්ලට ඉහළින් නැගෙන සූරිය කදම්භ පතිත වන්නේ තුමුල ගිරිහිස් මත පමණි. කඳු පෙළට ඉහළින් වලා පෙළ, ඈත් මෑත් වෙත් දී, වලාතුරින් පෙරී එන හිරු රැස් මවන රටාව මට සිහි ගන්වන්නේ, සිනමාසලකි. ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් විහිදෙන වර්ණ කදම්භයෙන් රිදී තිරය මත රටා මැවෙන්නේ යම් සේද, වලාතුරින් පෙරී එන හිරු කදම්භයෝ උස් කඳු පෙත මත රටා මවති.
ඇතිනිවල ඇල්ල
 බිම්කරුවල වැටෙත් දී අපි පාත්ති අතරින් වැටුණු කාණු ඔස්සේ ඇවිදිමින් එළවළු කොටුවෙන්, එළියට ආවෙමු. දැන් මේ අඩි පාර දිවෙන්නේ ගම්මානය වෙත ය. හදිසියක් නැත. අඳුර පැතිරෙන අහසේ, එකිනෙක තරු කැට පායා දිලෙන්නේ මිණි කැට මෙනි. මන්දාරම් නුවර මෙවන් දසුනක් දැකීම දුලබ බව නම් නිසැක ය. වැහිබර අඳුරෙන් බොහෝ විට වැසී ඇති නිසාවෙනි, මන්දාරම් නුවර යැයි කියන්නේ. එහෙත් අද දවසේ මෙනුවර මන්දාරමින් තොර ය.
මන්දාරම් නුවර, පෙර කල හඳුන්වා ඇත්තේ මන්දාරම්පුරය ලෙසිනි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩගම්පහ කෝරළයට අයත් මේ බිම් කඩ, පිදුරුතලාගල, ගෝණපිටිය, කබරගල, උඩගබ්බල ආදී කඳු වළල්ලකින් වට වූ සුරක්ෂිත නිම්නයක් වූයෙන්, පුරාණයේ සිට එය අවධානයට ලක් වන්නට ඇත. එහි ලිඛිත ඉතිහාසය මහනුවර රාජධානිසමය තෙක් දිවේ. ඊට සාක්ෂි දරන්නේ ‘මන්දාරම්පුර පුවත‘ නම් කාව්‍ය ග්‍රන්ථයයි.
“මේ කිට්ටුව තියෙනව වැල්ලගිරිය කියල තැනක්. ඇයි දන්නවද ඒකට වැල්ලගිරිය කියන්නෙ?“ තනුර විමසන්නේ, අප රාත්‍රී ආහාරයෙන් පසු අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඉඳින අතර ය. ඔහු ඒ තොරතුර සොයා ගෙන ඇත්තේ සිය ජංගම දුරකථනය සක්‍රිය කොට අන්තර්ජාලයේ සැරිසැරීමෙනි. මන්දාරම්පුර පුවත අන්තර්ජාලයෙන් සොයා ගන්නට ඔහු සමත් වී ඇත. “අපි හෙට ගිහිල්ලම බලමු“ මම කීවෙමි.
 හිමිදිරියේ මිහිදුම පහව ගිය පසු අපි මන්දාරම් නුවරට සමු දී, පිටත්වන්නට සැරසුනෙමු. 
“මේ කන්ද මොකක් ද?“ ගම්මානය ඉහැත්තෑවේ විරාජමාන ගල්පව්වට අත දිගුකොට මම විමසීමි. “මේකට කියන්නෙ කොල්ලන්ගල කියල“ මට උත්තර බඳින්නට ඉදිරිපත් වූයේ සුමනතිලක මාමා ය. “එතැනින් අනික්පැත්තෙ තියෙන්නෙ ‘රන්කොටියා බොක්ක“ අනෙක් පර්වතයට අත දිගු කරමින් හෙතෙම පවසනේ ය. මේ තැන් දෙකට ම නිදන් හොරුන්ගෙන් හානි පැමිණ ඇතැයි ගම්මු විශ්වාස කරති. තවත් බොහෝමයක් ඓතිහාසික ස්ථාන මේ ගම්පියසේ ඇත. ඒ සියල්ල නැරඹීමට දැන් නිසි සමය නොවේ. එහෙත් වැල්ලගිරියේ රහස හෙළි කර ගැනීමට මට ඇති වූයේ නොතිත් ආශාවකි. අපි ඒ අරමුණ ඔස්සේ මන්දාරම් නුවරින් පිටත් වීමු.
 මන්දාරම් නුවර සිට පදියපැලැල්ලට දිවෙන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ඉදිරියට එත්දී, ‘ඇතිනිවල ඇල්ල‘ හමු වේ. ඇල්ලේ දසුන පාරට වහං වී තිබුණ ද, ගං ඉවුර ඔස්සේ මීටර සියයක් ඉහළට යෑමට මත්තෙන් ඇල්ල දිස් වේ. “ඉස්සර කාලෙ මේකෙ ඇතින්නක් වැටිල මැරිල තියෙනවා. ඒ නිසා තමයි ඇතිනිවල ඇල්ල කියල කියන්නේ.“ ඒ තොරතුර අපට පැවසූයේ එහි සිටි ගැමියෙකි. මීටර් තිහහතලිහක් උස ඇල්ල පාමුල ඇතකු වුව නොපොව්වන තරමේ, දිය වලකි.
අප වැඩි සුනංගුවකින් තොරව එතැනින් පිට වූයේ වැල්ලගිරියට යනු පිණිස ය. ඒ වෙත යන මාර්ගය වැටී ඇත්තේ, මොරපාය අම්බලම අසලිනි. ඒ පුරාණ අම්බලමේ ගල්කණු තවමත් නිරුපද්‍රිතව පවතී. දැන් එය සෙවන කර ඇත්තේ ඒ මත ඉදිකළ ටකරං වහලයකිනි. එතැනින් පහළට බට විට, මොරපාය රජමහා විහාරය හමුවේ. ඒ අසලින් ගලා යන්නේ, බෙලිහුල් ඔයයි. එහි අභිනව පාලමට යටින් ඇත්තේ පුරාණයේ ඉදි කළ ගල්පාලමකි. ආරුක්කු හැඩයට ඉදිකළ එය පුරාණ ශිල්පීන්ගේ හැකියාව මොනවට කියාපාන්නකි. ඒ මග ඔස්සේ අප ඉහළට ඇදුනෙමු.
 කිහිපදෙනෙකුගෙන් මං අසා දැනගැනීමෙන් පසු අපි වැල්ලගිරිය ශ්‍රී සුදස්ලෙන් විහාරය වෙත පිවිසුනෙමු. 1818 කැරැල්ල සමයේ දී, දළදා වහන්සේ සඟවා තබා ඇත්තේ මේ ලෙන් විහාරයේ ය.  ‘වැල්ලගිරිය‘ නම් වූ හැටි අපට පහදා දීමට ඉදිරිපත් වූයේ එහි විහාරාධිපති, මතුරට ඤාණිස්සර නායක ස්ථවිරයන් වහන්සේ ය.
මතුරට ඤාණිස්සර නායක ස්ථවිර
“සීතාවක රාජසිංහ සමයේ, පියා මරපු පාපෙන් රජතුමාට ගැලවෙන්න ක්‍රමයක් තියෙනව ද කියල, හාමුදුරුවරු කැඳවලා විමසුවා. ඒත් උන්වහන්සේලා ප්‍රකාශ කර සිටියේ, ඉන් ගැලවෙන මගක් නෑ. පිං දහම් කරන්න කියලයි. ඒත් ඉංදියාවෙන් පැමිණ සිටි අරිට්ඨකී වෙණ්ඩු, ශිව ආගමට අනුව, දෙවොලක් ඉදිකර ඒ පාපයෙන් ගැලවෙන්නට පුළුවනැයි, රජු නො මග යවා සිටියා. ශිව ආගම වැළඳගත් රජතුමා නිසා බුද්ධාගමට, හාමුදුරුවරුන්ට බොහෝ හානි පැමිනුණා....“ නායක හාමුදුරුවෝ ඉතා දීර්ඝ අතීත කතාවක් කෙටියෙන් විස්තර කර වදාරත්, අපි එකත්පස්ව අසා සිටියෙමු.
මෙලෙස රාජසිංහ රජු විසින් මන්දාරම්පුරය ශිව භක්තිකයන්ට පවරා දෙන ලදී. ඒ පෙදෙසම යටත් කොට ගනිමින් හයදහසක පමණ සේනාවක් සමග මිනිසුන්ගෙන් අයබදු ගනිමින්, අවට පෙදෙස් පැහැර ගනිමින් කෘෘර පාලනයක් ගෙන ගියේ ‘ගිරි තවුසා‘ ය. පසුව, පළමුවන විමලධර්මසූරිය රජු විසින් සේනා පිටත් කොට, ගිරි තවුසා සහ පිරිස අල්ලා, බෙලිහුල් ඔය තෙරට ගෙනැවිත්, සියල්ලන් මරාලූයේ ගිරියේ වැලි කෙටවීමෙනි. එදාපටන් මෙතැන හැඳින්වෙන්නේ ‘වැල්ලගිරිය‘ ලෙසට ය. එපුවත මන්දාරම්පුර පුවතේ සඳහන්වන්නේ මෙලෙස ය.

එසඳ ඔවුන් ගෙන ගොස් බෙලිගල්   තෙරට
බොරළු ලමින් ගිරියෙ යැවූ මරු          මුවට

සියවස් ගණනාවක සෝ සුසුම් කඳුළු මන්දාරම තුළ සඟවා ගත් එනුවරට සමු දී අපි අගනුවර බලා පිටත් වීමු.  
මොරපාය අම්බලම

මොරපාය ගල්පාලම

1818 කැරැල්වැල සමයේ දී දළදාව සඟවා තැබූ ල්ලගියරිය ශ්‍රී සුදස්ලෙන් විහාරය

දළදා වහන්සේ සඟවා තැබූ ලෙන් කුටිය

හිරුගේ අවසන් රැස් දහර මන්දාරම් නුවරට ඉහළින් දිස්වන අයුරු



වීඩියෝව මෙතැනින් බලන්න