රැයකින් රැයකට ගිය ග්‍රේට්වෙස්ටර්න් ගමන


 “කුෂ් කුෂ්... ඩකු ඩුකු... කුෂ් කුෂ්... ඩකු ඩුකු..“ දුම්රිය හෙමි හෙමින් ඉදිරියට ඇදේ. එහි කඨෝර නාදය පරයා හදවතේ ගැස්ම දැනෙන්නා සේ ය. හතිලෑම ඊට නො දෙවැනි ය. අවසන් තත්පරයේ අන්තිම පෙට්ටියෙන් හෝ එල්ලීගන්නට ලැබීම වාසනාවකි. කුෂලිකාත්, ලෝෂනත් මා පිටුපසිනි. සෙනග අතරින් ඉදිරියට අප කැඳවාගෙන ගියේ රශ්මි ය. “ඉස්සරහ පෙට්ටියෙ සීට් දෙකක් තියෙනවා....“ ජයග්‍රාහී විලසකින් ඔහු පවසන්නේ රටක් රාජ්ජයක් අල්ලාගත් පරිද්දෙනි. තෙවැනි පංතියේ මැදිරියක, දොරටුව අසල ම එකිනෙකට මුහුණ ලූ අසුන් යුවලකි. එහි හතර දෙනෙක් ඈදිගෙන සිටිති. එකෙකු, දෙන්නෙකු තරම් ය. ඒ, කවිඳු ය. “මේ මගේ ඔෆිස් එකේ යාලුවෙක්“ ඔහු හඳුන්වාලීමට ඉදිරිපත් වූයේ තනුර ය. මලින්ද, මයුර හා සිතිර ද මට අලුත් මුහුණු ය. රාත්‍රී බදුලු කෝච්චිය ගම්පහ දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග අන්තිම සගයා, රවීන් ද අප හා එක් විය. 
ග්‍රේට්වෙස්ටර්න් දුම්රියපළට රෑ අහස පේන හැටි
 අපගේ පිරිවර දස දෙනෙකි. දහයක කල්ලියක් දුම්රිය ගමනක් යෑම අරුමයක් නොවේ. එහෙත්, කන්දක් නැගීම, පා ගමනක් යෑම ගැන නම්, හොඳින් සිතා බැලිය යුතු ය. “අපි හැමදාම කැලේ රිංගන්නෙ කීප දෙනයිනෙ... කට්ටියක් එක්ක සෙට් වෙලා ගමනක් යමු ද?“ ටික දිනකට ඉහත දී තනුර විමසා සිටියේ වුව මා ඊට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඊට වෙසෙස් හේතුවක් ඇත. වැඩි පිරිසක් එකවර කැලෑවක හක්මන් කිරීමෙන්, ඊට සිදුවන හානිය ද වැඩි ය. ඇතැමුන්, කඳු ගංගා දියඇලි අසල බුරුතු පිටින් ගොස් කඳවුරු බඳින්නේ, ඒ ගැන කිසිදු තැකීමක් නොකරමිනි. ඇතැම් තැන් දැන් තහනම් කලාප කිරීමට සිදුව ඇත්තේ ද මේ අවිචාර බව හේතුවෙනි. “කෝච්චියෙ ගිහිල්ලා දවසකින් එන්න පුළුවන් තැනක්... කෑම්ප් කරන්න ඕනෙත් නෑ..“ අවසානයේ ඔහුගේ යෝජනාවට එකඟ වී ඒ සඳහා අප තෝරා ගත්තේ, ග්‍රේට්වෙස්ටර්න් කන්ද ය.
අපේ නඩයෙන් සිව් දෙනෙකු හිටගෙන ය. ඔවුහු තෙරපෙන සෙනග මැද්දේ වුව, අතොරක් නැතුව වැයෙන කවිඳුගේ දර්බුකා නාදයේ තානයට පැද්දෙති. කඩුගන්නාව නැග, පෙරාදෙණියට ලඟාවත් දී ය, සෙනග මඳක් අඩු වූයේ. මෙතෙක් වේලා පැරැණි ගී රසාංගවලට පණ පෙවූ රශ්මි කොහි දැයි මා විපරම් වූයේ, සංගීත සාජ්ජයේ ජවය හීන වී ගිය නියාවෙනි. “පේම සැඳෑවෝ... පේම සැඳෑවෝ...“හේ රස කර ගැයුවේ... ඊළඟ මොහොතේ එවැන්නක් විඳ ගැනීමේ අටියෙනැයි මට මොහොතකටවත් සිතුණේ නොවේ. කොළපැහැ වතින් සැරසී, නීල නයන නෙත් ඇත්තී ඒ මානවිකාව ද දැන් පේන මානයේ නැත. “තුරුණු කැලුම් පහස පතා.. මුවින් මුවට අනඟ ලතා.. පෙමින් පෙමට රස මදිරා... දෑස නුරාවෝ මවනා පේම සැඳැවෝ...“ අමරදේවයන්ගේ මධුර ස්වරය හා එහි මැවෙනා දසුන කෙතරම් අපූර්ව සුසංයෝගයක් ද?
තංගා මෝහන්
දැන් ටික ටික සීත දැනෙන්නේ ගීතවල තාලය ද සැලෙන්නේ ය. සෙනග ඈත් මෑත්ව ගොස් අසුන් කිහිපයක් ද හිස් වූයෙන් අපේ සෙස්සන්ට ද ඈඳිගැනීමේ අවස්ථාවක් ලැබිණි. එහෙත් ඇතැමෙකු මැදිරි දොරේ එල්ලී, වේගයෙන් වත දැවටෙන සුළං රැල්ලේ කීරි ගැහෙන සීතල පහස විඳිමින් සිටිති. අසුනේ කෙළවරට වන් කුෂී හීන ලෝකයේ පාට ගලපන්නී ය. හිටිවන ම රශ්මි පැමිණියෙන්, අප තුටු වූයේ, නැවතත් ගීයක් අසන්නට ය. අඳෝමැයි! කෙතරම් ඇවිටිලි කළ ද ඔහු නොවේ කට සොලවන්නේ. හෙතෙම බලා ගත් අත බලා සිටින්නේ ය. “ප්‍රේම ආතුරයන් වෙලා.. ජීවිතේ තනි මං සලේ...“ කිසිවෙකු කපුගේ ගේ ගීතයක් මැදින් පටන් ගත්තේ ය.
ග්‍රේට්වෙස්ටර්න් දුම්රියපළෙන් බැස ගන්නා විට අළුයම තුන පසු වූවා පමණි. “අම්මෝ අයිස්ලන්තෙට ආවා වගේ...“ සීතල දරාගත නොහුණු කව්දෝ මුමුනනවා ඇසේ. දුම්රිය මැදිරිය තුළ යම් උණුසුමක් දැනුණෙන්, අපි කබා පොරවා නො ගතිමු. එහෙත්, උණුසුම් කබායක් නැතිව මෙහි මොහොතක් හෝ රැඳිය නොහැකි සේ ය. දුම්රියපළහි විවේක කාමරයට වැදුණු අපි එහි දොරගුළු ලා, සිමෙන්ති බංකුව මත ගුලි වීමු. ඒත් සීතලෙන් නම් ගැලවීමක් නැත. ඇතැමෙකු ඔලුවේ පටන්, පොරවාගෙන ය. ඇඳුම් කිහිපයකින් ම සිරුර වසා ගත් සිතිර දිස් වන්නේ මමියක් විලසිනි. සියල්ලෝ උණුසුමට ගුලි වෙත්දී, මම කැමරාවත් ගෙන දොරට බටුයෙමි. කුෂී ද මා සහයට පැමිණියා ය.
තරු වියන යට ‘නුවරඑළිය‘
අහා! මෙතරම් තරු පිරි අහසක්! සීතල කටුක වුව ද, මෙවන් දසුනක් නො දකිනා දෑස් කුමට දැයි සිතේ. අප පිටුපසින් අඳුරේ පතල වූ මහා යෝධයෙකු සේ දිස් වන්නේ ග්‍රේට්වෙස්ටර්න් කඳුවැටිය ය. එහි සීමාවේ පටන් අහස පුරා දිවෙන්නේ තරු කැට පිරි කලාලයකි. නෙක නෙක රටා අතරේ මේ අසුවල් තරු රටාව යැයි හැඳිනිය නො හැකි තරමින් එහි තරු පිරී ගොසිනි. කෙතරම් පහැදිලි දිනෙක වුව කොළඹ අහසේ දිස් වන්නේ එළියෙන් වැඩි තරු පමණි. මන්දාලෝකයෙන් යුත් කුඩා කුඩා තාරකා දහස් ගණනක් ධූලි හා නගරාලෝකයේ පටලයෙන් වැසී යයි. මෙහි ඇත්තේ ඉඳුරා ම වෙනස් දසුනකි; එකම තරු පලසකි. ධනු හා වෘශ්චික රාශි අහස ඉහළින් දිස් වේ. “කෝ ගෝනුස්සගෙ හැඩය“ කුෂි අසන්නී ය. එහි ඇන්ටාරස් තරුව රතුම රතු පැහැයෙන් බැබලේ. අපගේ මන්දාකිණිය, කිරිසයුරහි මැද කොටස පිහිටා ඇත්තේ මේ තරු රාශි දෙක අතර ය. එ් වටා පිහිටි තරු පොකුරු ද රැසකි. සියුම් වැඩ දැමූ දුහුල් සළුවක මල් රාටාවක් සේය, කිරිසයුරේ දෙපස ඒවා විසිරී ඇත්තේ.
සමනොළ ගිරි හිස දක්වා විදුලි බුබුලු
කඳුවැටිය ඉස්මත්තෙන් ඇරැඹෙන මන්දාකිණි ගංගාව, සමනොළ දෙසට විහි දී යන්නේ, සමන්ගිරි මස්තකය දක්වා පොළොව ඔස්සේ ඇදී යන විදුලි බුබුලු පෙළ හා සමාන්තර වන්නාක් සේ ය. දුම්රියපළට පහළ, ඈතින් පිහිටි ගොඩනැගිලිවලින් අහසට විහිදෙන ආලෝකය ද මේ දසුනට කිසියම් චමත්කාරයක් එක්කරන්නේ, ඈත නුවරඑළියෙන් දිස්වන ආලෝකය, ‘නුවර එළියක්‘ ම බව සපථ කරමිනි.
හිමිදිරියේ හිරු උදාවට කලියෙන් පිටවීමට ඇත්නම් අගනේ ය. එත් අපට කෝ කෑම බීම? මේ අසලක කඩයක් තබා, කෑමක් පිසෙන සුවඳක් දැනෙන ඉසව්වක් හෝ නොවේ. අපට ඒ බව කලින්ම කියා තිබුණේ, මෙහි ආගිය පුරුද්දක් ඇති හෂිල මහේෂ් ය. ඔහුගේ හඳුන්වාදීමෙන් කෑම සැපයීමේ කාරිය බාර ගත්තේ තංගා මෝහන් ය.
දුම්රිය එන තුරු හිමිදිරියේ..
වටින්ගොඩින් එළිය වෙත් දී, දෑතින් ම බර පොදි දැරූවෙකු රේල්පාර ඔස්සේ පියමනිනු මා නෙත ගැටිණි. “පේන හැටියට නම් ඒ, මෝහන් වෙන්න ඕන“ මගේ අනුමානය නිවැරැදි ය. ඔහුගේ එක් අතක වූයේ විශාල උණුවතුර බෝතලයකි. එහි අපි සැමටම සෑහෙන තරමට කෝපි පුරවා තිබිණි. අනෙක් මල්ලේ, පාතරාසය ය.
“ඔයාල උදේට කාල යන්න ඉන්න එපා. කෑමත් අරන් පිටත් වෙලා, වතුර තියෙන තැනක දී කන්න“ ඔහු ගමන ගැන නො මසුරුව ගුරුහරුකම් දෙන්නේ ය. “මේ දවස්වල දේවාලෙ උත්සවේට අපි පේවෙලා ඉන්නෙ. ඒ කාලෙට කැලේ යන්නෙ නෑ. නැත්නම් මටත් එන්න තිබුණ ඔයාලට පාර පෙන්නන්න“ හෙතෙම එක දිගට කියාගෙන යන්නේ ය.
දුම්රිය මග දිගේ
මෝහන් ගේ උපදෙස් පරිදි අපි හැකි ඉක්මනින් පිටත් වීමු. පළමු හිරු කිරණ සිරුරේ තැවරෙද්දී, ඉන් ලද උණුහුම කෙතරම් සැපයක් ද? ඉන් උද්දාමයට පත් වූයේ අප පමණක් නොවේ, දුම්රිය මග දෙපස පිණිරැඳි තෘණ අග වූ මල් කැකුළු ද නව ජීවයක් ලද්දා සේ ය. තනුර, තෙල් වැකුණ සිල්පරයක් මත සැතපෙන්නේ, හිරු කිරණ හා මල්පොකුරු එක විටෙක කැමරාවට ඩැහැගන්නට ය. එවන් සුනංගුවක දී මගහැරෙන සගයන් අල්ලා ගැනීමට ඔහුට මඳ දුරක් දිව යෑමට පවා සිදු වේ. හිමිදිරි පින්නේ සිල්පර කොට මතින් අඩි තබා පැන පැන යෑම ආහ්ලාදය දනවන්නකි. කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් අපි එසේ පිය මැන්නෙමු.
හිරු රැසේ උණුසුම මැද..
“ආ.. මේ තියෙන්නෙ උඩට නගින්න ඕන තැන.“ සිමෙන්තියෙන් අපිළිවෙලකට සැකසූ පියගැට පෙළකි. එකිනෙක පිය ගැට නැගෙත් දී, වේගය පහළ බසින සෙයකි. ඉදිරියෙන් පැමිණි කවිඳු දැන් පසු පස ය. මෙතෙක් පැවැති සිසිල ක්ෂණයකින් අතුරුදන් වී දාහය වැගිරේ. පියගැට අවසන් වන්නේ, කුඩා දෙවොළකිනි. මෙතැනින් ඔබ්බේ ජලය ගැන බලාපොරොත්තු තැබිය නො හැකි ය. එනිසා උදාසන ආහාරය මෙතැන ම කා, දිය බී අහවරක් කිරීම යෙහෙකි. පරිප්පු හොද්දක්, කරවල බැදුමක් සමග බත්ගෙඩියක් සැමට ම ලැබුණෙන්, බඩකට පුරා මදියි නොකියා කුස් පුරවා ගතිමු.
පියගැට පෙළ ඔස්සේ ඉහළට..
දැන් ඉතිං ඇත්තේ නැග්මකි. වැසි නො ලද පොළොව මත වැටුණු පිණි පොද, හිරු දුටු කල වියැකී යන්නේ, එහි කිසි තෙතමනයක් නො රඳවමිනි. දළ බෑවුමක් ඇති තැනෙක තබන තබන පා පහළට රූටා යයි. එවන් තැනෙක, හතරගාතෙන් ය, ඉහළට නැගිය යුත්තේ. කුෂීට නම්, හතරගාතය ද මදි වූ විටෙක කවුරුන් හෝ සහයට පැමිණේ. පඳුරු ගහන ලන්දක් පසුකරමින් තවත් කිලෝමීටරයක් පමණ ඉහළට ගිය පසුය උස් ගස් පිරි කැලයක් හමු වන්නේ.  ඒ තුරුගොමුව මැදින් ගලා යන කානුවක් වැනි කුඩා දිය දහරකි. පිපාසය කෙතරම් දැනුනේ ද යත්, බිම දිගා වී පෑදී තිබූ කුඩා දිය කඩිත්තකට තොල තබා බඩ පුරා දිය බිව්වෙමි.
ඉන් ඔබ්බේ, පර්වතයක් අසලින් වූ රූස්ස ගසකි. එතැන කඳවුරු බැඳීමට නම් කියාපු තැනකි. එහි කිසිවෙකු හෝ නැවතී සිටි ලකුණු ද දක්නට තිබේ. අඩිපාර තවත් ඉහළට දිවෙන්නේ වම් දෙසට බරව ය. දැන් නැවතත් දළ බෑවුමකි. මෙහි ඉහළ නැගිය යුත්තේ, ගල්මුල්වල ආධාරයෙන් හා පඳුරුවල එල්ලීමෙනි. ඉතා තදින් ලිස්සා යන තැනෙක පඳුරු කිසිවක් ඉතිරි වී නැත්තේ, මෙහි කෙතරම් පිරිසක් පැමිණ ඇත්තේ දැයි යන්නට ඉඟියක් සපයමිනි.
මේ කැලේ ගස් කැපුවෙ කවුද?
“අයියෝ මෙච්චර කැලේ කවුරු ද මේ ගස් කපල තියෙන්නෙ“ වට අඩි තුන හතරක ප්‍රමාණයේ වූ ගසක් කපා හෙලා ඇත. කිසි ප්‍රයෝජනයක් නොමැතිව එවැන්නක් කුමට සිදු කළේ ද යන්න සිතා ගැනීම උගහට ය. දැන්නම් මුදුනට ටික ටික ලංවන සෙයකි. උප කඳුකර වනාන්තරයක ලක්ෂණ මෙහි මැනවින් දැක ගත හැකි ය. පහළ දී ඇස නොගැටුණ ද මෙහි සමනළුන්, සියොතුන් ඈ සතුන් දැකියැකි ය.
අප සේන්දු වී ඇත්තේ කඳුවැටියේ එක් අන්තයකට ය. මෙතැන් සිට වැටිය දිගේ ඉහළට යා යුතු ය. දැන් පහළ තේ වතු දක්වා දසුන්පථය හෙළි වූයෙන්, මා වැටිය අද්දරට ම ගොස් කැමරාව මෑනුවෙමි. ඈත කඳු වලල්ලේ එක් අන්තයෙක සමනොළ ගිර දිස් වේ. තවමත් දුම්රියපළ ඇති පෙදෙස අප නෙත නොගැටේ, ඒ සඳහා තවත් දුරක් යා යුතු ය. වැටිය අද්දර ඈතින් කහපැහැයෙන් පෙනෙන්නේ කූඩාරමක් ද? එය දැක ගැනීමේ රිසියෙන් මම පය ඉක්මන් කළෙමි.
 එය එක් සංහිඳක් බව අපට වැටහුනේ ඒ වෙත ලඟා වීමෙන් පසුව ය. දේවරූප කිහිපයක්, පහණක් හා ත්‍රිශූලයක් ද එහි වේ. ඒ සියල්ල ආවරණය පිණිස යොදා ඇති ඉටි රෙදි කඩකි, කූඩාරමක් සේ ඈතට පෙනුණේ. ඉපල් වී ගිය කේඩෑරි පඳුරු අතරින් රිංගා යෑම තරමක් අපහසු වන්නේ අත්පා සීරීම හේතුවෙනි. එවැනි ඉපලක පැටැලීමෙන් කලකට මැකී නො යන කැලලක් දැනට ම මගේ වම් බාහුවේ සලකුණු වී ඇත. මා එය ගණනකට නොගත්තෙමි. ගතට දැනෙන්නේ කාන්තාරයක සිටින්නාක් මෙන් දාහයකි. ඊටත් වඩා පුදුම පිපාසාවකි. මේ සන්තෑසිය සිදුවන බව කල් තියාම පැවසුවේ, මෝහන් ය. හැකි තරම් දිය රැගෙන යන සේ ඔහු පැවසූයේ ඒ නිසා විය යුතු ය.  මට ඉදිරියෙන් ගමන් ගන්නේ කුෂී ය. ඈ ළඟත්, මා ළඟත් දිය බිඳක්වත් නැත. දිය සතු වූවෝ තවමත් පිටුපසිනි. තනුර සියල්ලන්ට ම පිටුපසින් පැමිණෙන්නේ යම් අයෙකුට සහයක් අවැසි වුවහොත් උදව් වෙනු පිණිස ය. මිලින්ද හා රශ්මි ද අප සිටි අද්දරට පැමිණියෙන්, ඒ අවසරයෙන් උගුර තෙමා ගත්තෙමි.
කැලයේ පිපි උඩවැඩියා මල්
අප පසුකර ගිය මිලින්ද ගියපයින් හැරී එන්නේ, “මුදුනට ගියා එතැන පහළ පේන්නෙ නෑනේ“ යැයි මැවිසිලි නගමිනි. “යමු බලන්න..“ මම ඉස්සර වීමි. ඝනට වැඩුණු පඳුරු අතරින් “බැලුම්ගලට“ වූ මං පෙත ඔහුට මග හැරී ඇතිවා නිසැක ය.
එකනෙහි ම අප දෑස් ඉදිරියේ පාදූර්භූත වූයේ ඒ මනරම් දසුනයි! පහළ කඳු මායිමෙන් ඇදී යන දුම්රිය මග පෙනෙන්නේ රිදී හුයක් විලසිනි. අප දෙපා මුල ග්‍රේට්වෙස්ටර්න් දුම්රියපළ හුදු ගිනිපෙට්ටියක් තරමට අඟුටුමිටි වී ඇත. තේ යාය මැද්දේ ඒ මේ අත දිවෙන මං ජාලය, සිතියමක සලකුණු සේ ය. සියල්ලට ඔබ්බෙන් ඒ අන්තයේ සිට මේ අන්තය දක්වා විහිදෙමින් අහස සිප ගන්නා කඳු පෙළ ය. එහි තුඩක් සේ උස්ව දිස් වන්නේ සමනොළ ගිරි හිස ය. මම සුසුමක් විදා ගැටියේ ගල් කුළ මත හිඳ ගතිමි.
ග්‍රෙට්වෙස්ටර්න් වූ කලී ලංකාවේ හත්වැනි උස ම කඳු මුදුන ය. එය මීටර් 2216කි. දුම්රියපළ පිහිටන්නේ, මුහුදු මට්ටමේ සිට මීටර් 1464ක් උසිනි. එතැන් සිට අප නැගී ඇත්තේ මීටර් හත්සියපනහක් වැනි උසකට ය. අප පා තබා සිටින්නේ හාත්පස දසුන අපූරුවට දිස් වන “බැලුම්ගල“ මත විනා උසම තැන නොවේ. එතැනට තවත් දුරක් යා යුතු ය. එය පිහිටන්නේ ශිඛරයේ නොව, තුරුලතාදියෙන් වැසී ගිය වනය තුළ ය.
බෝවිටියා මල් කැකුළක රොන් උරන මල්කිමියෙක්
මද්දහන වීමට තවත් හෝරාවක් වැනි කාලයක් ඉතිරිව තිබේ. “දෙකයි දහයෙ කෝච්චියට පහළට බැහැ ගත්තොත් රෑ නවය වෙත්දි කොළඹට යන්න පුළුවන්“ මම කීවෙමි. ඊට අකැමැති වූයේ තනුර පමණි. ඔහුගේ ආරෝව වූයේ දුම්රිය මාරුවෙන දසුන ඉහළ සිට නැරඹීමේ අනගි අවස්ථාව අහිමි වීම ගැන ය.
වැඩි කැමැත්තට ඉඩ දී සියල්ලෝ පල්ලම් බැස්ස හ. ලිස්සන වියළි පොළොවේ හිතූ තරම් වේගයෙන් පහළ යෑම අසීරු ය. වැඩිමනත් ම අමාරුවේ වැටුණේ කවිඳු ය. අන්තිමේ දී ඔහු අපූරු ක්‍රමයක් උපයෝගී කොට ගත්තෙන්, ලිස්සන හැම තැනෙක දී ම පස්ස තබා රූටා යෑම ‍ඔහුට අත්කර දුන්නේ නො සිතූ වේගයකි. ඔහුට පමණක් නොව සියල්ලන්ටම ඉන් ගොඩ යෑමට හැකි වූයේ, අන්තිම තත්පරේ දී හෝ දුම්රියට ගොඩවීමට එය රුකුලක් වූ බැවිනි.
කඳුවැටියේ එක් අන්තයකින් උඩට මතු වූ විට පෙනෙන දසුන

ඈත කඳුපෙළහි තුඩක් සේ නැගෙන සමනොළ ගිරි මුදුන


අප පැමිණියේ මේ වැටිය ඔස්සේ ය
අපේ කට්ටිය කන්ද ගැට්ටේ 
ඈත කොනේ තුඩක් සේ දිස් වන්කේ සමනොළ මුදුන ය, මෑත කඳු පාමුල ගිනිපෙට්ටියක් සේ දිස් වන්නේ දුම්රියපළ ය
ග්‍රේට්වෙස්ටර්න් දුම්රියපළහි සිට දුම්රිය මග ඔස්සේ ගොස් කඳු මුදුන දක්වා අප ගිය ගමන් මග මෙහි දින් වේ