අවුරුද්ද අල්ලපනල්ලේ මීමුරේ ඇල්ලට ගියෙමු



අලුත් අවුරුද්ද ගමක ගත කරන්නට ඇත්නම්? ගමක කිව්වාට හද්දා පිටිසර කඳු වළලුවලින් වට වුණු පුරාණ ගමක ගත කරන්න ඇත්නම්, එය කෙතරම් අපූරු අත්දැකීමක් වනු ඇති ද? ගිය වසරේ බක්මාසයේ අපි එවන් ගං තුලානක් සොයා ගියෙමු. ඒ, මෑතක පටන් නොදන්නා කෙනෙක් නොමැති, මීමුරේ ය.
අප මහනුවර පසු කර ගියේ නොනගත වේලාව අතර තුර ය. හුන්නස්ගිරියෙන් හැරී  ලූල්වත්ත මාර්ගයේ ඉදිරියට ඇදුනේ, විටෙක දළ නැග්මක් ද, විටෙක බෑවුමක් ද පසු කරමිනි. ඇතැම් තැනෙක මාර්ගය ඉතා අබලන් ය. සිතූ තරම් වේගයෙන් රිය පදවන්නට නොහැකි ය. ලූල්වත්ත පසුකර දැන් අප ගමන් කරන්නේ කෝර්බට් කපොල්ල දෙසට ය. දෙපසම කැලෑවෙන් වැසුණු මාවත ඉතා පටු ය. තවත් වාහනයක් පැමිණියහොත් මාරුවීමට තරම් ඉඩක් එහි නැත. ඒ මදිවාට කඳු සහ පල්ලම් ය. එක් වරම තෙසක රියක් වේගයෙන් අප ඉදිරියට ධාවනය වේ. මම කිසිත් කර කියා ගත නොහී එක්වරම වාහනය නතර කළෙමි. වේගයෙන් පැමිණි තෙසක රිය අප ඉදිරියේ මුහුනට මුහුන ලා නතර කළේ අරියාදුවට මෙනි. එහෙත් කුමන අරියාදුවක් ද, ක්ෂණයක දී අපට කාරණය වැටහිණි, එහි රැගෙන යමින් සිටින්නේ අසාධ්‍ය රෝගියෙකි. එයට මාරුවීම සඳහා ඉඩ ලබා දීමට සෑහෙන දුරක් පිටුපසට ධාවනය කිරීමට මට සිදු විය. රෝහලක් හෝ ගිලන් රථ සේවයක් නොමැති මේ ඉසව්වේ, හදිසි රෝගී තත්වයක් ඇති වුවහොත් මෙවැන්නක පිහිට මිස අන් කුමන සරණක් ද? තවත් ටික දුරක් යත්දී අපට ‘කෝර්බට් කපොල්ල‘ හමු විය.
කෝර්බට් කපොල්ල අසල
එතැන වාහන නතර කිරීමට සෑහෙන ඉඩකඩක් ඇති හෙයින්, අපි වාහනය නවතා අවට සිරි නැරඹීමට බිමට බැස්සෙමු. යතුරුපැදියක පැමිණි අයෙක් ද, ලහි ලහියේ සිය පැදිය නවතා, ජංගම දුරකථනයක් කනෙහි රුවා ගන්නා අයුරු අපේ සතුටට හේතු වූයේ, මේ ගිරිදුර්ග මාර්ගයේ හොඳින් සංඥා ලැබෙන්නේ මෙතැනට පමණක් වන බව වැටහීමෙනි. මගේ ගමන් සගයන් වන තනුර, මරේස් හා ජෙහාන් ද දැන්, අක්‍රියව තිබූ දුරකථන සක්‍රිය වූ උද්දාමයේ ගිලී සිටිති. වේලාව සවස පහ පසු වී තිබුණ ද සැඳෑ හිරු රැස හොඳින් පතිත වේ. එහෙත් එය වැඩි වේලාවක් නොපවතිනු ඇත. මේ කඳු මුදුනෙන් පසු නැවතත් අප වංගු සහිත පටු මාවත ඔස්සේ නිම්න භූමියකට ඇතුළු විය යුතුය. එහි දී සැඳෑ හිරු රැස් වැළකී යනු නිසැක ය. සිතුවා සේම අප එතැනින් පිටත්ව පල්ලම් බැසීමට පටන් ගත් මොහොතේ ම තුමුල කඳු වළල්ල තුළ හිරු සැඟ වී ගියේ ය. ගොම්මන් අඳුර හාත්පස පැතිරී යයි.
මාවත දැන් තව තවත් අබලන් ය. ගමන් වේගය තවත් අඩාල වේ. හාත්පස අඳුරින් වැසී ගියේ අප සිතුවාටත් වඩා වේගයකිනි. මීමුරේට මෙපිට ගමේ අයෙකුට තනුර පෙර දී කතා කොට අප එන බව දැන්ම් දී තිබුණෙන්, නවාතැන් පිළිබඳ එතරම් ගැටලුවක් වෙතැයි නො සිතුවෙමු. ගම්මැද්දේ දී හමු වූ කිහිපදෙනෙකුගෙන් විමසීමෙන් අනතුරුව ඔහුගේ නිවස සොයා ගැනීම අපහසු වූයේ නැත.
ජෙහාන්ගේ ඉවුම් පිහුම්

“තව ටිකදුරක් ඈතින් මගේ කෑම්ප්සයිට් එකක් තියෙනවා. පුතාල කැමති නම් ඒකෙ කූඩාරමක ඉන්න පුළුවන්“ ඉබ්බා දියේ දාන්නට යන විට ‘ඇන්නෑවේ‘ කියූ සේ අපි ද එකපයින් කැමති වූයෙමු. අපි එතැනට ළගා වූයේ තිත්ත කළුවරේ ය. එම බිමේ සංචාරකයින් සඳහා වූ කටුමැටි ගෙවල් සහ කුඩාරම් බිම් කිහිපයක් ද විය. කටුමැටි ගෙවලවල ඒ වන විටත් සංචාරකයින් ලැගුම් ගෙන සිටි හෙයින් අප එක් කූඩාරම් බිමක් තෝරා ගතිමු. කඳවුරු බිමට නළජලය මෙන්ම විදුලිය ද ඇති හෙයින්, කිසිත් අපහසුවක් නොවී ය. එහි වූ කූඩාරමට අමතරව අප ගෙන ගිය කූඩාරාම ද එහි අටවා සුවපහසු ලෙසින් එදා රැය ගත කිරීමට හැකි විය.
දැන් පිළියෙල කර ගත යුත්තේ ඊළඟ දිනයේ සැලසුමයි. ලකේගල නැගීමට තනුරට උවමනාවක් තිබුණ ද, ඊට නිසි සමය මෙය නොවන බව පැහැදිලි ය. මද වැසි සහිත මේ දිනවල දී දැඩි බෑවුම් සහිත ගල්තලාවේ බඩගෑම නො කළ යුත්තකි. අවට වන පරිසරය ගැන හොඳින් දන්නා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිතුරියකට මම දුරකථනයෙන් ඇමතීමි. ඒ පිළිබඳ සෑහෙන තොරතුරු ඉදිරිපත් කළ ඇය අවධාරණය කර සිටියේ, “දැන් පිටින් එන සංචාරකයින්ට මග පෙන්වන්න, ගමේ අයයි වටේ ගම්වල අයයි ගොඩක් දෙනෙක් ඉන්නවා කණ්ඩායම් හැදිල. මේ ඒ අය අතර පුදුම තරගයක් තියෙන්නෙ. මේ අයගෙන් බේරිලා නිදහසේ ඇවිදල යන්න අමාරුයි.“ කියා ය. ඒ තොරතුරු අපට වැදගත් වූයේ ඊළඟ දිනයේ රාත්‍රිය ද මෙවන් තැනක ගෙවා දමන්නට අපගේ බලාපොරොත්තුවක් නොවූ බැවිනි.

රාත්‍රියේ අපගේ කෝකියා වූයේ ජෙහාන් ය. කෑම පිළියෙළ කිරීම සඳහා සෙස්සෝ ඔහුට උදව් කළ හ. අතරින්පතර හිරිකඩ වැස්සක් හමා ගියද, ඉන් භාධාවක් නොවූයේ කෑම පිළියෙල කිරීම සඳහා ද වෙනම කූඩාරම් ආවරණයක් වූ බැවිනි.
කඳවුරු බිම ඔබ්බේ දිස්වන්නේ ලකේගල ය
උදාසන අප අවධි වූයේ ලකේගල කඳුමුදුනට පළමු හිරු කිරණ පතිත වත්දී ය. ලහි ලහියේ කූඩාරම් ගලවා අස්පස් කර ගත් අපි එම කූඩාරම් බිමෙන් පිටත්වන්නට සැරසුණෙමු.
“මහත්තයල කැමති නම් මට එන්න පුළුවං පාර පෙන්නන්න. අද මං නිවාඩු. වෙන වැඩකුත් නෑ“ එසේ පැවසුවේ එම කූඩාරම් බිම බලා කියා ගන්නා තැනැත්තා ය. මග පෙන්වන්නෙක් රැගෙන යෑම අපගේ සිරිත නොවූවත්, මෙහි ඇති වාතාවරණය තුළ එය වාසිදායක වනු ඇත. එනිසා අපි ඊට කැමැති වීමු.
එතැන් සිට මීමුරේ ගමට තවත් දුරක් යා යුතු විය. ඒ දක්වා රථය ධාවනය කිරීම එතරම් අපහසුවක් නොවිණි. “අපි මුලින්ම යමු දියකැරැල්ල ඇල්ල බලන්න“ ඒ අපේ මගපෙන්වන්නාගේ යෝජනාව ය. මේ අලුත් අවුරුදු දා ය. ‘මීමුරේ අවුරුද්ද‘ නවමු අත්දැකීමක් වෙතැයි අපි උදක් ම බලාපොරොත්තු වීමු.  එහෙත් මේ නම්, කුමන විපර්යාසයක් ද? අලුත් අවුරුද්දේ, සංඥාවක් ලෙස ඇසෙන්නේ රතිංඤ්ඤා හඬ පමණි. මග තොටේ හමුවන උදවියගෙන් මුවගින් වෑහැහෙන්නේ රා අරක්කු ඟඳ ය. බමන මතින් මත්වූවෙකු දෙන්නෙකු ඉඳහිට අප වෙත ද, කතා දමන්නට උත්සුක වුවත්, අපේ මගපෙන්වන්නා නිසා ආරෝවක් නොවිණි.

“මෙහේ ගොඩක් අය පිට පලාත්වලනෙ වැඩ කරන්නෙ. අවුරුද්දට ගමේ ආවම ඔහොම තමයි“ ඔහු බුලත් කෙළ පහරක් ගසා, රැල්බුරුල් හැර පවසන්නේ ය. සාම්ප්‍රදායික ගැමි අවුරුද්ද, දැන් රූපවාහිනී පෙට්ටියටම පමණක් සීමා වූවක් නොවේ දැයි අපට සිතිණි.
මීමුරේ වෙල්යායේ ඉහළ කොටස
කඩ මණ්ඩිය ද, නිවෙස් මණ්ඩියක් ද පසු කළ අපි මනරම් වෙල් යායක් අසලට සේන්දු වුණෙමු. පසුබිමේ දිස්වන්නේ ලකේගල ය.
“අපි මේ කුඹුර අයිනෙන් ඉහළට යන්න ඕන“ වම් අත දෙසට අත දිගුකරමින් හෙතෙම පවසන්නේ ය. අප කිසිත් කියන්නටත් මත්තෙන් නියරක් උඩට පැනගත් ඔහු එක හැල්මේ ඉහළ නගී. මා ඡායාරූප ගැනීමට සුනංගු වේ. ඒ අවසරයෙන් සෙස්සෝ ද මද ඉසිඹුවක් ලබති. ගාටගාට ගමන් කිරීමට අපේ මගපෙන්වන්නාගේ නම් එතරම් රුචියක් නැත.
වී වගා කළ කුඹුරට ඉහළින් බෝංචි වගාවකි. එතැනින් ඔබ්බේ කලෙක වගා කළේ යැයි සිතියැකි මුඩු ඉඩම් ය. එහි මායිමේ ලී ඳඩුවලින් සකස් කළ කපොල්ලකි. අප ඉන් පැන යා යුතු ය. එය වනයේ මායිම සලකුණු කිරීමට යෙදූවක් වැන්න. වනය තුළ මනා සිසිලසක් දැනුන ද, වේගයෙන් ගමන් ගන්නා නිසා, ඉහින් කණින් දා බිඳු බේරේ. මඟ පෙන්වන්නා පේන දුරකටත් ඔබ්බට ගොසිනි. අප එකිනෙකා, පිටුපසින් ඇදේ. අන්තිමටම ගමන් ගන්නේ මා ය. සෙස්සෝ මගෙන් ඈත්ව නොපෙනෙන දුරකට ගොසිනි.
“අයියෙ අයියෙ පොඩ්ඩක් ඉක්මනට එන්නකො...“ මග නැවතුණු තනුර කලබලයෙන් පවසයි. මම යුහුසුලුව ඔහු වෙත ලඟා වී විපරම් කළෙමි. ඔහුගේ පශ්චාත් භාගය රත් ලෙයින් තෙත් වී ඇත. ඊට වගකිව යුත්තා බඩපුරා රුහුරු බී හැලී ගොස් ඇති බවට නො අනුමාන ය. ලේ නවතා ගැනීමට යමක් කළ යුතු ය. අවස්ථාවේ හැටියට ඊට හොඳම අත් බෙහෙත මකුළුදැල් ය.

කූඩලු ප්‍රතිකාරය සදහා අප පමා වූයෙන්, සෙස්සෝ අප එනතුරු දිය දහරක් අසල ගිමන් හරිමින් සිටිය හ. දැන්නම් බඩගිනියි. උදේ කෑම කාල යන්න අපූරු තැන. මම ගල්තලයේ ඈඳිගෙන දිය දහරේ දෙපා ඔබා ගතිමි. ක්ෂණයකින් දෙපා වටා රොක් වූ ගල්පාඬි රැල ඒ සම්බාහනය කරන්නට විය. ලංකාවට ආවේණික මෙම මත්ස්‍ය විශේෂය, නකල්ස් වනයේ සෑම දියදහරකම පාහේ සුලබව දැකියැකි ය.
දියකැරැල්ල ඇල්ල මීටර් 45ක් පමණ උස ය
ඉසිඹුවෙන් පසු අපි වේගයෙන් ඉහළට ඇදුනෙමු. දැන් අප ඇතුළුව සිටින්නේ නකල්ස් වනයේ නොයිඳුල් පෙතකට ය. සමාවන්න! නොයිඳුල් කීව ද මා දෑස් ඉදිරියේ දැනුදු පිරිසක් එය ඉඳුල් කරමින් සිටිති. සිහිවිකල් වනතුරු රහමෙර පානය කළෝ, දොළ මගේ දිය කෙළින්නෝ ය. ඉවසනු නොහැක්කේ උන්ගේ බෙරිහන් දීම ය. නිසල, නිහඬ වනයේ සොඳුරු බව අඳුරු කරන්නට තවත් දෑ කුමට? එතැන වූ සොඳුරු දසුන, නීලහරිත පාසි රැඳුන ගල්තලා අතරින් ඒ අතටත් මේ අතටත් පැන පැන ඇදී එන සුදෝ සුදු දිය දහර ඡායාරූපයට නැගීමට මට අවසරයක් නැත. ආපසු එන ගමනේ දී, ඊට කල් තබා අපි ඉන් පලා ගියෙමු.

තවත් කිලෝමීටර දෙක තුනක් වනය තුළින් ගමන් කළ අපට එක් වනම ඝෝෂාවක හඬ ඇසේ. දියකැරැල්ල! වනය දෙබෑ වී සුදෝ සුදු සේලයක් දිග හැරෙන්නා සේය. අප දෑස් ඉදිරියේ දියකැරැල්ල ඇල්ල විරාජමාන වේ. එය උසින් මීටර් හතලිස්පහක් පමණ ය. ගලනා ජල කඳ හීන් ගඟට එකතු වී අනතුරුව මහවැලි ගඟ පෝෂණය කිරීමට දායක වේ. අප ඊළඟට යා යුත්තේ මේ ගංගාවේ පහළ ඉසව්වට ය. 

දියකැරැල්ලේ නැගෙන හැලෙන රැලි දෙස කොපමණ වේලාවක් අප නෙත් රැඳී තිබුණේ දැයි හරි හමන් නිච්චියක් නැත්තේ, එහි චමත්කාරයෙන් අප වශීකෘතව සිටි බැවිනි. “මහත්තේලා, දැන් අපි පල්ලම් බැස්සොත් හොඳයි නේද?“ ඒ සිහිකැඳවීම අපේ මගපෙන්වන්නාගෙනි. ඔහුගේ අදහස මදහසින් ගත් මම තවත් ඡායාරූපයක් දෙකක් ‘තලාගැනීමේ‘ ලා උත්සුක වූයෙමි. හ්ම්ම්.. දැන් අපි යමු. අවසානයේ මා පැවසූයේ තවත් සුනංගු වීම, නො කටයුත්තක් කොට සිතා ය.
බේබද්දන් දිය කෙළිමින් සිටියේ මෙවන් සොඳුරු තැනෙක ය
දැන් මගේ අවධානය යොමු වන්නේ ආපසු යන ගමනේ දී වත්, අර අරුමැති දිය දහර කැමරාවේ සටහන් කර ගැනීම ගැන ය. මත් ලොල්ලන් තවමත් එහි දිය කෙළියේ නම්, මගේ සිහිනය ද සුන් වනු ඇත. එතැනට යළි ළඟා වීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. කිසිවෙකුත් එහි දක්නට නැත. ඒ අවසරයෙන් මම, සිත් සේ ඡායාරූප ලබා ගතිමි.
 නීල හරිත පාසි බැඳුන බෝල බෝල ගල්කුළු මතින් පැන පැන පහළට ඇදී එන දිය කොමලිය, තැන තැන සුදෝසුදු පෙනබිඳු නංවන්නේ කන්කළු තානයක් සුළඟට මුසු කරමිනි. එය සිහින් සරින් මිමිණෙන ගීයක් වැන්න. ඊට අත්වැල් ගයන්නෝ, එතැනත් මෙතැනත් ඉහළත් පහළත් දැකියැකි සියොත්හු ය. මද වේලාවකට පෙර මෙහි අරක් ගත් මිනිස් කැල ගේ නො උස් හැසිරීමෙන් තැතිගත් වන අරණ දැන්, නිසසල සිසිලසක ගිලී ඇත. ඒ ශාන්තියෙන් අපි සුවපත් වුණෙමු.

කෙමෙන් කෙමෙන් වනය තුළ අඳුර පැතිරෙන්නේ වුව, හෝරා යන්ත්‍රය නම් පෙන්නුම් කරන්නේ, බිම් කළුවර වැටීමට තවත් කාලය ඇති බවකි. කෙසේ වුව, අප හැකි ඉක්මනින් වනයෙන් එළියට පැන ගැනීම නුවණට හුරු ය. මන්ද, රෑ බෝ වීමට මත්තෙන් නැවතීමට තැනක් සොයා ගත යුතු ය. ඒ පිළිබඳව අප විමසූයේ අපගේ මග පෙන්වන්නාගෙනි. “මාමෙ අපිට රෑට නවතින්න පුළුවන් කොහෙද?“ “ම්ම්ම්.. නවතින්න තැන් නම් කිහිපයක් ම තියෙනවා.. ඒත්...“ ඔහු පවසන්නේ, නවාතැන්පොළ ගැන ය. එවැනි නවාතැන්පොළ ගොන්නක්ම මීමුරේ අවට ඇත. එහෙත්, අපට අවැසි වන්නේ කැලෑරොදක් තුළ, දිය දහරක් අසල කූඩාරම් අටවා ගනිමින් රැය පහන් කිරීමට බව ඔහුට පැහැදිලි කර දුන්නෙමු. “ඒකෙනම් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ගඟ අයිනෙ කූඩාරම් ගහන්න දෙන්නෙ නෑ“ ඔහු දිගු විස්තරයක් ගෙන හැර පෑවේ ය. “කලින් එහෙම කූඩාරම් ගැහැව්ව. ඒත් එන්න එන්නම ඒකෙ පාලනයක් නැති වෙලා විනාශ වෙන්න පටන් ගත්තා. ඔය සංචාරකයො ගේන කණ්ඩායම් එක්එක්කෙනා අතරෙත් ගැටලු ප්‍රශ්න තියෙනවනෙ. එකඑක්කෙනා කා කොටා ගන්නවා. ඉතිං දැන් ගඟ අයිනෙ කාටවත් කූඩාරම් ගහන්න එපා කියලයි තියෙන්නෙ.“
නියර දිගේ පිය මනිනා පිරිස්
“ඉතිං දැන් අපි මොකද කරන්නෙ?“ මම විපිළිසරව ඇසුවෙමි. “මහත්තේල බය නැතුව ඉන්න. මම තැනක් පෙන්නන්නම්. හැබැයි ගොයියො ටිකක් ඈතට යන්න වෙනවා“ ඔහු කියුවේ ය. මම මුවින් නොබැණ හිස සැලුවෙමි.
අප නැවතත් මීමුරේ ගම්මැද්දට පැමිණියෙමු. අපේ නියමුවා පවසන පරිදි දැන් ගමන් ගත යුත්තේ ගමේ පහළ ඉසව්වට ය. “අපට පාර දිගේ යන්නෙ නැතුව මෙතැනින් කොට පාරක් තියෙනවා“ වෙල් යායකට අත දිගු කරමින් හෙතෙම පවසන්නේ ය. සෑහෙන ඈතකට විහිදෙන ඒ සරුසාර වෙල්යාය පසෙකින් දිස්වන්නේ, මීමුරේ ගම්මානය ඉස්මත්තේ යෝධයෙකු මෙන් නැගී සිටින ලකේගල කන්ද ය. මම අප යා යුතු මග දෙස නෙත් හෙලුවෙමි. අඳෝමැයි මේ කුමන අරුමයක් ද? වයිවාරණ ඇඳුමෙන් සැරසුණු ලොකු කුඩා බාල මහළු සෑහෙන පිරිසක් නියර ඔස්සේ පිය මනින්නේ පෙරහරක් විලසිනි. මේච්චර මේ සෙනග යන්නෙ කොහෙද? මම අන්දුන් කුන්දුන්ව විමසුවෙමි. “දැන් ඉතින් අවුරුදු ඉවරයිනෙ. දැන් දිගටම සෙනග එනවා. නිවාඩු දවස්වල ඔහොම තමයි.“

මේ අය ඉතිං කොහෙට ද ඔය යන්නෙ? “අර චිත්‍රපටිය හදපු තැනටනෙ“ ඔහු පවසන්නේ අවුරුදු ගණනකට කලින් තිරගත වූ ප්‍රසිද්ධියට පත් ළමා සිනමා සිත්තමක නමකි. ඒ ‘අරණ‘ නිසා මේ වන අරණට නම් නිවනක් නැත. නියරේ යා යුත්තේ එකා පසුපස එකා ය. එසේ ගියත් මේ සා පිරිසක් එකවර ගමන් කිරීම, නියරට ඔරොත්තු නො දෙනා සෙයකි. ටික දුරකින් පසු වෙල්යායෙන් යන කෙටි පාර නැවතත් ප්‍රධාන මාවතට එක් වේ. එතැන් සිට ගමන් කළ යුත්තේ ලොරි, ජීප් රථ ආදිය පමණක් ධාවනය කළ හැකි ඒ පුළුල් මාවත ඔස්සේ ය. ඒ අවසරයෙන් අපි අර නඩය පසු කර ගියෙමු.
බුරුතු පිටින් පැමිණ ජල කෙලියේ...
මෙවැනි සොඳුරු ස්වාභාවික තැන් එක් පිරිසකට පමණක් සීමා විය යුතු බවක් නොවේ අප පවසන්නේ. එය යම් කළමනාකරණයකට ලක් විය යුතු බවකි. මෙහි පැමිණෙන බොහෝ පිරිසකට ඇත්තේ සොබා හිතැති ආකල්ප නොවේ. ඇතැමෙකුගේ හැසිරීම දුටු කල්හී දැනෙන්නේ අපුලකි. කුමන සිරිත් විරිත් අප රැකගෙන තිබුණ ද, පරිසර හිතැති සිරිත් විරිත් නම් අපට උරුමව නැති බව, ඕනෑම තැනෙක දී ප්‍රකටව පෙනෙන තිත්ත ඇත්තකි.
සෑහෙන දුරක් මාර්ගයේ ගමන් කළ අපට එක පොදියට සෙනග රොක් වූ තැනක් දිස් වේ. ඇතැමෙකු තුරු වියනෙන් එල්ලී ගත්  විසල් පුස්වැල්වල එල්ලී ඒ අතටත් මේ අතටත් පැද්දෙති. ඒ අර සිනමා සිත්තමේ දසුනක් අනුකරණය කරන්නාක් මෙනි. මෙහි තිබූ වැලිවලින් දැන් ඉතිරිව ඇත්තේ ස්වල්පයක් පමණක් බව අනුමාන කළ හැකි ය. මිනිසුන් තුන්හතර දෙනා එක පොදියට එල්ලීමෙන් ඇතැම් වැල් කැඩී ගොසිනි. කුඩා ළමයින්, කාන්තාවන් මතු නොව වැඩිහිටියන් පවා දියකඳුරේ ගල් තලය ඔස්සේ පස්ස තබා ලිස්සා යන්නේ මහත් වින්දනයකිනි. ඇතැමෙකු, උස් ගල්තලයේ සිට පහළින් වූ ගැඹුරු දිය වලට පනිති.

ඒ විසූක දස්සන බැලීම පසෙක ලා අපි ඉදිරියට ඇදුනෙමු, තව ටිකදුරක් යන යන විට තුම්මෝදරකි. දෙපසකින් එන ගංගාවෝ හමු වන්නේ එතැන දී ය. එතැනින්, ගංගාවේ එක් අත්තක් ඔස්සේ අපි ඉහළට ගියෙමු. අප ගමනාන්තයට ලඟා වූයේ අඳුර වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. “ඔන්න දැන් මගේ රාජකාරිය ඉවරයි. මම දැන් ගොහිං එන්නම්“ අපේ මග පෙන්වන්නා පැවසූයෙන් අපි ඔහුට සමු දී, කූඩාරම් ලෑමට බිමක් පරීක්ෂා කළෙමු.
ගඟ අසබඩ කූඩාරම
මේ ඉසව්වේ ගඟ පුළුල් ය. ඉවුරු දෑලේ විසල් කුඹුක් ගස් ය. විසල් ගල් කුළු ය. ඉන් ඔබ්මේ එක් පසෙක ළඳු කැලෑවකි. අනෙක් පස මහ වනයකි. කූඩාරම් ලෑමට බිම්කඩක් සෙවීම පහසු නැත. ලඳු කැලෑවේ සමතලා බිමක් වුවත් කටුකොහොල් ඉවත් කර එළිපෙහෙළි කර ගැනීම දැන් කළ නොහැක්කකි. වෙනත් විසඳුමක් නොවූයෙන් අපට කූඩාරම් ලෑමට සිදු වූයේ ගං ඉවුරේ, ගං දියට ඉතාම සමීපයේ ය. එය සෑහෙන අවදානම් සහගත වැඩකි. ඒත් දැන් වෙන විකල්පයක් නැත.
මාත් තනුරත් යුහුසුළුව කූඩාරම් ඇටෙව්වෙමු. ඒ අතර මරේස් හා ජෙහාන් රෑ අහර පිළියෙළ කිරීමේ යෙදුන හ. ගං දියට බැස හිතේ හැටියට නා ගත්තතේ ඉන් මත්තේ ය. වලා අතරින් මතු වූ සඳකැන් දහරින් ගං තලය නැහැ වී ඇත. මෙතරම් මනරම් දසුනක්!

“අයියෝ.. මෙන්න මෙන්න සතෙක්“ මරේස් ගේ බෙරිහන් දීමෙන් මා වහා දියෙන් ගොඩ වූයෙමි. වැල්ලේ කඩිමුඩියේ දිව යන කකුළුවෙකි. ඌ එක්තැනෙක නැවතුණේ ය. කකුළුවෙක් ලෙස දිස් වුව ද, ඌ මකුළුවෙකි. මින් පෙර දැක නැති මේ මකුළුවාගේ ඡායාරූප ගැනීමට ය, මා යුහුසුළු වූයේ. ඒ වන විට මරේස්ගේ ද බිය පහව ගොස් තිබූ බැවින් සියල්ලෝම මේ අමුතු සතා නිරීක්ෂණය කරන්නට වූ හ.
රෑ පානේ ආ අමුත්තා
රාත්‍රී අහර ගෙන අහවර වන විට සඳ හොඳින් මෝදු වී තිබිණි. සඳ එළියෙන් නැහැවෙන හාත්පස දසුනේ චමත්කාරය විඳිමින් අප අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ගං ඉවුරේ ගල්කුළු මත වාඩිගෙන ය. රෑ බෝ වෙත්ම, අහස් කුස වලාවෙන් වැසී යන්නට විය. සඳවතිය සැඟවී ගියා ය. අප කූඩාරම් තුළට ගුලි වුව ද, නින්දක් නම් නොයේ. සිත මහත් දෙගිඩියාවකින් පෙළේ. වැසි ඇද හැළුනොත් කුමක් වේ ද? ගං දිය දොගොඩ තලා යනු ඇත. එවිට අපේ කූඩාරම්වලට ඉහළින් ජල කඳ නැගෙනු ඇත. මෙහි වැසි නොවැස්ස ද, ගං ඉහැත්තෑවේ වැසි ඇද හැලුණොත්, ඒ ඊටත් වඩා භයංකර ය. ක්ෂණික ගැල්මකින් අප වැනසී යනු ඇත. හීං පොදයක් කූඩාරම් රෙද්ද මත පතිත වන සර සර නාදය, අපේ හදවත් තුළ ජනිත කරන්නේ හෙනපතක් ඉහේ කඩා වැටෙන්නාක් වන් භීතියකි.

රෑ පුරා වරින් වර අවදි වූයේ, ගං දිය නැඟේ දෝ යන බිය නිසා ම නොවේ, කූඩාරම ඇතුළේ ඉවසා ගත නො හැකි තරම් වූ දාහය නිසාවෙනි. හාත්පස අඳුර පැතිරී ඇති හෙයින්, අහස වලාවෙන් බරව ඇති බව පැහැදිලි ය. නැතිනම් සඳ එළියෙන් මුළු පෙදෙසම නැහැවී යා යුතු ය. මෙතරම් වූ රස්නයක් ඇත්තේ එබැවිනි. අහස වලාවෙන් බර වූ විට උණුසුම වැඩි වන්නේ ඇයි? හරතාගාර ආචරණය නිසා ය. පොළොවෙන් පරාවර්තනය වන තරංග වලාකුළු නිසා වැළකී සිර වේ. එවිට පරිසර උෂ්ණත්වය ඉහළ යයි. මම විදිලිපන්දම දල්වා එය ජල තලය දෙසට එල්ල කළෙමි. ජල මට්ටමේ පැහැදිලි වෙනසක් දැක ගත නො හැකි ය. නැවතත් නින්දට යෑමට පෙර කූඩාරමේ ඉදිරි විවරය, විවරව තැබූවේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට ඇති දැල සහිත ද්වාරය පමණක් වසා දමමිනි. එයින් ඇතුළත රස්නය අඩු වී ගිය හෙයින් සුවසේ නිදන්නට හැකි විය.
මරේස් හා ජෙහාන් අහර පිසිමින්
වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී, මම වහා අවදි වූයෙමි. වෙන කිසිත් නිරීක්ෂණය කිරීමට පෙර මගේ අවධානය යොමු වූයේ දිය මට්ටම වෙත ය. රැයෙහි දිය මට්ටටම මදක් ඉහළ ගොස් ඇති බව පසක් වන්නේ ගඟ මැද වූ ගල්කුළුවල එය සටහන්ව ඇති නියාවෙනි. “හ්ම්ම්.. යන්තම් ඇති“ තනුර සැනසුම් සුසුමක් හෙළුවේ ය. “දැන්නම් ටිකක් සීතල දැනෙනවා“ කූඩාරමෙන් එළියට බට හෙතෙම පවසන්නේ ය. ගංගා නිම්නය මිහිදුම් පටලයකින් වැසී ගොසිනි. ගං දෑල වසා ගත් යෝධ කුඹුක් පෙළ සිය අතුපතර මිහිදුම් සළු පොරවාගෙන ය. පැහැදිලිව පෙනෙන්නේ මෑත තුරුරැස පමණි. ඈතින් ඈතට යද්දී, කළු සුදු සෙවනැලි පමණක් ඉතිරි කර තුරුරැස මිහිදුමේ ගිලී යති. වර්ණවත් තුරු පත් අතරට සිනිදු මිහිදුම් සේලය දැවටූ කල, ඒ දසුනේ මැවෙන සිසුමැලි බව අප සිතට මතු නොව ගතට ද දැනෙන්නා සේ ය.

තවමත් ගුලි වී නිදන මරේස් අවදි කර ගැනීමටය, තනුර තතනන්නේ. සෙස්සන්ට ලක ලෑස්තිවීමට කල් තබා, මම කැමරාවත් රැගෙන ගං ඉවුරේ ගලින් ගලට පනිමින් පහළට ගියෙමි. ගඟ මැද්දේ ඩෙල්ටාවක් වැනි වන රොදකි. එය උස්ව පිහිටයි. දැන් ගඟ ගලා යන්නේ ඊට එක් පසෙකින් වුව, දිය වැඩි වූ කල්හි මේ කැලෑරොද මැදි කරමින් දෙපසින් ගලා යන බවට සාක්ෂි එහි බැලූ බැල්මට ම දිස් වේ. මම කැලෑ රොද තුළට වැදුනෙමි, එහි කුඩා ක්ෂීරපායීන්ගේ සිට සමනළුන්, විහඟුන් ඈ නොයෙක සතුන් ගහන ය. මෙය මිනිස් වාසයට නොදුරු තැනක් වුව දුම්බර වනයේ පොදුවේ හමුවන සතා සීපාවා තවමත් මෙහි දැකියැකි ය. ලෝක සංරක්ෂණ සංගමයෙන් 1991-1996 කාලය ඇතැළත කරන ලද සංගණනයකින් කියැවෙන්නේ, දුම්බර වන පද්ධතියේ විහඟුන්, උභයජීවීන්, සමනළයින්, මොලස්කාවන්, ක්ෂීරපායීන්, උරගයින් ඈ විශේෂ 122ක් වාර්ථා වී ඇති බවකි. ඉන් 40ක් ම අප රටට ආවේණික ය. මේ සියල්ලෙන් විශේෂ 32ක් වඳ වී යෑමේ තර්ජනයට ද ලක්ව ඇත. කිසියම් සතෙකු කැලෑව අතරින් දිව යන හඬ සවනත වැකුණු කල මම වහා එදෙසට යොමු වීමි. එහෙත් පමා වැඩි ය, කිසිවෙකුත් දැන් දැක ගන්නට නැත. කැලෑරොදෙන් පහළට බැස ගත් මා ගං තලාවේ වූ ගල් කුළු අතරින් කඳවුර දෙසට ගෑටුවෙමි. උදාසන රන්කිරණින් දිලෙන ජල තලය යටින්, පිහිනා යන මින් කැල හරි අපූරු දසුනකි. මේ වන පෙතේ මසුන් විශේෂ 15ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ආවේණික විශේෂ ගණන 8කි. විශේෂ 3ක් දුම්බරට ම පමණක් සීමා වී ඇත.
මේ ගඟ අයිනටත් හෝටලයක් එන ලකුණු
පාතරාසයෙන් පසු, ගං ඉවුරෙන් අප නික්මෙන විට හොඳින් හිරු පායා තිබිණි. ඉවුරේ සිට පාරට මීටර් 50ක් වත් නැති තරම් ය. “මේ කැලේට මෙච්චර ලොකු පාරක් මොකට ද? “ අප සිත වෙලා ගත් කුකුසට පෙරදා ම පිළිතුරක් ලැබිණි. ඒ අපේ මගපෙන්වන්නාගෙනි. “ඔය ගඟ අයිනෙ ඉඩම ප්‍රාදේශීය සභාවෙ ලොක්කෙක් අරගෙන තියෙන්නෙ. එතන හෝටලයක් හදන්නයි මිනිහගෙ කල්පනාව. ඒකට තමයි මේ පාර කපල තියෙන්නෙ.“ “මෙහේ ගොවියන්ගෙ ඉඩම් තියෙන බව ඇත්තයි. ඒත් පැල් කොටයක් දෙකක් ඇරෙන්න මේ ඉසව්වෙ ගෙවල් නෑ. කොහොම වුණත් ප්‍රාදේශීය සභාව ගානෙ රජයේ සල්ලිවලින් තමයි පාර කැපුවෙ“ සිදු වී ඇති සංගෙදිය තේරුම් ගැනීමට අපහසු නැත.
මද දුරකින් පසු නැවතත් අප පැමිණෙන්නේ මීමුරේ ගම්මානය මැදිනි. “මීමුරේ කියන නම හැදිල තියෙන්නෙ කොහොම ද?“ එවර පැනය මරේස්ගෙනි. ඒ ගැන කතන්දර රැසකි. පුරාණ සිංහල ගමක් වන මෙහි හෙළ රජ දවස ප්‍රධාන මුර පොළක් තිබී ඇතැයි පැවසේ. එය මහ මුරය ලෙස හැඳින් වී පසුව මීමුරය, මීමුරේ වූ බවට මතයකි. තවත් කතාවක පැවසෙන්නේ මීගස් බොහෝ වූ බැවින් ‘මීමුරේ‘ ලෙස හැඳින් වූ බවකි. රජවාසලට මී පැණි සැපයූ ගමක් නිසා මේ නම පටබැඳුණු බව ද, අතීතයේ දී මැණික් බහුලව හමු වූ නිසා ‘මිණිමුරේ‘ ලෙස හැඳින් වී පසුව එය මීමුරේ වූ බවට ද කතා පවතී. කෙසේ වුව මීමුරේ යනු රජදවස සිට පැවතෙන ඓතිහාසික ගමකි. එය එකල රාජද්‍රෝහීන් පිටුවහල් කොට හළ ගමක් බවට ද විශ්වාස කෙරේ.
කොළපත් පදින ලක්මාල් පුතු
ගම්මැද්දේ මග දෙපස ගෙවතු ය. ඒවා බොහෝමයක් අප දැක පුරුදු ගෙවතුවලට වඩා වෙනස් ය. විටෙක එය වනයක සිරි ගන්නේ යැයි පැවසීම ද අතිශෝක්තියක් නොවේ. උස්ගස්වල සිට කුඩා පැළ දක්වා විවිධ ශාක වර්ග, ඖෂධ පැළෑටි ආදිය එහි දැකියැකි ය. මගෙහි එක් පසෙක ඇත්තේ කුඹුරු යායකි. එහි එක් ලියැද්දක හුදෙකලාව වල් පැළ ඉවත් කරන අත්තම්මා කෙනෙකි. වල්නාශක භාවිත නොකර පරිසරහිතකාමී මෙවන් ක්‍රමයක් භාවිත වනු දැකීම සතුට දනවන්නකි. එහෙත් ඒ සතුට වැඩි වේලා පැවතුණේ නොවේ. වෙල මැද්දෙන් පිය මනින ගොවි යුවලකි. ගොවියාගේ පිටෙහි ඇත්තේ දියර ඉසිනයකි. ඉන් ඉසින්නේ ස්වාභාවික කෘමිනාශක හෝ වල්නාශක විය නොහැකි ය. වෙසෙසින් ම, බෝංචි ඉරිඟු ඈ අතුරු බෝග රැසක් මෙහි වගා කෙරේ. මේවා වගා කරන්නේ එදිනෙදා පරිභෝජනයට නොව වෙළෙඳාම පිණිස ය. එහි ලාභය වැඩි කර ගැනීම සඳහා රසායන ද්‍රව්‍ය යෙදීමට, මේ හද්දාපිටිසර, සම්ප්‍රදායික ගමේ ගොවියෝ ද පුරුදුව ඇති සෙයකි.
අප නැවතත් පිළිපන්නේ වෙල අද්දරින් වැටී ඇති කෙටි මගට ය. එහි එක් තැනෙක හුදෙකලා නිවස්නෙකි. අම්මා කෙනෙකුත් කුඩා අක්කා මලෝ දෙදෙනෙකුත් එහි වූහ. අක්කණ්ඩිය සිය කුඩා මලනුවන් සනසන්නේ, කොලපතක තබා ඇදගෙන යෑමෙනි. කුඩා ළමයින්ගේ මෙවන් ක්‍රීඩාවක් දැන් දැක ගැනීමත් දුලබ දසුනකි.

නැවතත් ගම්මැද්දේ කඩමන්ඩියට පැමිණි අපි වාහනය නවතා තිබූ විසල් මී ගස ළඟට ගියෙමු. තවමත් මෙහි මීගස් ඉතිරිව ඇති බවට මෙය කදිම සාක්ෂියකි. මීමුරේ ගමේ පැරැණි ගෙයක් දැකබලා ගැනීමේ දොලක් පහළ වූයෙන් ඒ සඳහා සහාය විය හැකි ගැමියෙකු සොයා මම ගෙවල් අතරින් ඉදිරියට ගියෙමි. මගේ සහයට පැමිණියේ, සුරංග ය. ඔහු මීමුරේ ගමේ වෙසෙන ගොවි තරුණයෙකි. “දැන් නම් මෙහේ පරණ ගෙවල් හොයන්න හම්බවෙන්නෙ නෑ. තිබුණ පරණ ගෙවල් කඩල දාල අලුනෙත් හදපුව තමයි තියෙන්නෙ“ ඔහු පැවසූයේ, මගේ බලාපොරොත්තුව සුන් කරනා කතාවකි. “අඩු ගානෙ අර පරණ තාලෙ වී බිස්සක්කත් තියෙන තැනක් බලා ගන්න බැරි වෙයිද“ මගේ ඇවිටිල්ල නිසාම ඔහු එක් තැනෙකට මා රැගෙන යෑමට ඉදිරිපත් විය.
ඉතිරිව ඇති පැරැණි නිවස
උස්ව නැඟුණු ගල්වැටි අතරින් වූ ගල්පඩි පෙළක් මතිනි, අප ගමන් කළේ. මෙවන් ගල් වැටි හා ගල් පඩි දුම්බර වනය ආශ්‍රිත ගම්මානවල දැකියැකි විශේෂ ලක්ෂණයකි. “මෙන්න මේක තමයි ඉතිරි වෙලා තියෙන එකම පරණ ගේ. ඒත් මේකටත් දැන් ටකරං හෙවිල්ලල තියෙන්නෙ“ ඔහු පවසන්නේ ය. ඒ මොහොතේ නිවැසියන් කිසිවෙකුත් එහි සිටියේ නැත. දොර ජනෙල් වසා දමා ඔහුන් කොහේ හෝ ගොසිනි. “මේකෙ ඇතුළ කොහොම ද“, මම විමසීමි. “ඇතුළෙ මැද මිදුලක් තියෙන විදියට තමයි හදල තියෙන්නෙ. දොර වහල නිසා බලන්න බෑ“ ඡායාරූප කිහිපයක් සටහන් කර ගත් මා සුරංගට ස්තුති කොට නැවත අපේ සගයන් හා එක් වීමි. “දැන් මද්දහනත් පහුවෙලා අපි පිටත් වුණොත් හොඳයි නේද?“ ඒ සිහිකැඳවීම තනුරගෙනි. මීමුරේ ගමට සමු දී අපි පිටත් වුණෙමු.
 නැවත හුන්නස්ගිරිය දක්වා එන මාර්ගය ලෙහෙසි පහසු නැත. අබලන් පාරේ කලබලෙන් ආ නොහැක. අපි
මීමුරේ වටවී ඇත්තේ මෙවන් කඳු වලල්ලකිනි.

සෙමින් සෙමින් ඉදිරියට ඇදුනෙමු. වැඩි දුරක් අපට එසේ එන්නට ලැබුණේ නැත. එක පෙළට එන රථ පෙළකි. වාහන දෙකකට අසීරුවෙන් මාරුවිය හැකි පාරේ, මෙවන් රථ පෙරහරක්! මේ සියල්ලන් මීමුරේ එන සංචාරකයින් ය. මෙවන් නඩයක් එක විටෙක එනවිට සිදුවන අවැඩ මැඩීම සඳහා ද යමක් කළ යුතු නොවේ දැයි අපට සිතුණි. අප හුන්නස්ගිරියට ලඟා වන විට අඳුර බෝ වී තිබිණි.