හාවාගලින් බැස පහන්තුඩාවේ රැය පහන් කළ අපූරු ගමනක්!


පසුගිය සති අන්තයේ ඈතක යන්නට සිතා සිටියත්, එය වැළකී ගියේ වැසිබර කාලගුණය නිසාවෙනි. “අපි හාවගල යමු ද? එක දවසින් ගිහිං එන්න පුළුවන්“ තනුර යෝජනා කළේ සෙනසුරාදා සවස් යාමයේ ය. බක්මහේ වැසි, මැදින් මහේ ම ඇරඹී ඇති හෙයින් මේ දිනවල සවසට වැස්සෙන් අඩුවක් නැත. “එහෙනම් අපි හෙට පාන්දර ම යමු“ මම කීවෙමි.
 ඉරිදා අළුයම හතරයි තිහ වෙද්දී අපි කොළඹින් පිටත් වුණෙමු. බෙලිහුල්ඔයට ළඟාවත් දී හොඳින් හිරු පායා තිබුණි.
පහන්තුඩාව ඇල්ලට ගමන් කළ යුත්තේ බෙලිහුල්ඔය තානායම අසලින් ඉහළට ඇති මාවතේ ය. හාවගල කඳු මුදුනට වැටෙන එක් මගක් ඇත්තේ ද, ඒ අසලිනි. එනිසා පළමුව ඇල්ලට ගොස් එතැන් සිට කන්ද නැගීමට තීරණය කළෙමු. ඇල්ලට යන මාවතේ ‘පෞද්ගලික පාරක්‘ යනුවෙන් පුවරුවකි. “කමක් නෑ. කෝකටත් ගිහිල්ලම බලමුකො“ පාරේ කෙළවරට ළඟා වුව ද, රථය ගාල් කළ හැකි තැනක් සොයා ගැනීමට නොහැකි ය. එහි වාහන ගාල් කිරීමට හැක්කේ ඒ අසල ඇති හෝටලයේ අමුත්තන්ට පමණි. වාහනය එහි නතර කොට, දිවා ආහාරය ද ඇනවුම් කළේ එය අපට පහසුවක් මෙන්ම වාහනය නවතා තැබීමට ද ඉන් අවසරයක් ලැබෙන බැවිනි.
පහනක තිරයක් සේ දිස් වන ඇල්ල
කුඩා ජලවිදුලි බලාගාරයක් ද ඒ අසල පිහිටා ඇත. බෙලිහුල් ඔය ගලා යන්නේ එතැනින් මදක් පහළට වන්නට ය. එහි ඉහළ ඉසව්වක සිට විදුලිබලාගාරය වෙත ජලධාරාවක් රැගෙන එන්නේ යෝධ නළ පද්ධතියක් මගිනි. එනිසා ඇල්ල සිඳී නොයතත් දිය කඳේ සැලකිය යුතු අඩු වීමක් සිදු වන බව නම් නො රහසකි.
ඇල්ලට ළඟා වීමට මඳ දුරක් ගඟ දිගේ ඉහළට යා යුතු ය. එක් තැනෙක ගඟ හරහා බැඳි නො උස් වේල්ලකි. පානීය ජලය ලබා ගැනීම සඳහා ඒ කොන්ක්‍රීට් වේල්ල සකස් කර ඇත්තේ ගඟේ ජල මට්ටම අඩු වුව ද වැඩි වුව ද නිරතුරු ජල සැපයුමක් ලබා ගැනීම පිණිස ය. වේල්ල උඩින් ජලය බේරී හැලෙන්නේ යාන්තමිනි. මම ඒ ඔස්සේ අනෙක් ඉවුරට සේන්දු වුණෙමි. තනුර, අපේ අනෙක් ගමන් සගයා වන සහීඩ් සමඟ ගං දියට බැස අනෙක් ඉවුරට ගොඩ වූයේ, බැරිවෙලාවත් වේල්ලෙන් ලිස්සුවොත්, ඒ අවදානම මඟහරිනු පිණිස විය යුතු ය. ඉහළට යන විට දෙපසම ඉවුරු උස්ව පිහිටයි. දෙපස ඉවුරු කෙතරම් උස් ද යත්, පොල් ගස් දෙකක් පොව්වන තරම් උස් වූ යෝධ කානුවකට බැස ඇති ලෙසකිනි අපට දැනුණේ. දැඩි දිය රළෙන් හෑරී ගිය වල සහිත ගල් තලය මතින් අපි පියමං කළෙමු.
පහන්තුඩාව ඇල්ල
අහා! අප දෑස් ඉදිරියේ ඇත්තේ, යෝධ මැටි පහනක් සේ දිස් වන පහන්තුඩාව ඇල්ල ය. මෙහි චමත්කාරය ඇත්තේ ඒ අරුම පුදුම හැඩය තුළ ය. ඇල්ල මීටර් පහකට වඩා උස් නොවේ. එය ඇද හැලෙන්නේ, ගල මත හෑරුණු දිය තටාකයකට ය. දිය තටාකය මැටි පහනක් සේ ද, ඇල්ල එහි තුඩගින් ඉහළට එසැවුණු ධවල වර්ණ පහන් තිරයක් සේ ද දිස් වේ. අපේ පැරැන්නන් ඊට පටබැඳි නාමය අපූරුවට ගැලපේ.
අපි වැඩි කාලයක් මිඩංගු නොකර ඇල්ල අසලින් වම්පසට වූ අඩිපාර ඔස්සේ ඉහළට ඇදුනෙමු. ඒ හාවගල කඳු මුදුන දෙසට ය. ඝනට වැඩුණු මාන පඳුරු ඔස්සේ ඉහළට ඇදෙන මග විටෙක තුරු ගොමුවක් ඔස්සේ ඇදී යයි. එවන් තැනෙක අඩි පාර පැහැදිලි නැත. අප යන මග සිතියම්ගත කර ගත්තෙමු. යම් හෙයකින් හෝ මග වැරැදුන හොත් නිවැරැදි දිශාවේ ගමන් කිරීමට එය පිටිවහලක් වනු ඇත. ටික දුරකින් පසු තුරු ගොමු සහිත කැලෑ රොද නිමා වූයේන් ඉදිරියේ ඇත්තේ දැඩි බෑවුම් සහිත තෘණ ගහන බිම් කඩකි. අතරින් පතර තැනින් තැන අඩි තුන හතරකට වඩා නොවුස් වූ තනි තනි කුඩා ශාක දැකියැකි ය. නියං සමයේ දී ගින්නට හසු වූ මේ ඉසව්වේ තෘණ පත්, වැසි සමය එළඹෙත් ම නව දැල්ලෙන් පොහොසත් වී ඇත. මුළු පෙදෙසම බැබලෙන කොළ පැහැයෙන් දිස් වේ. ලැව් ගින්නෙන් දැවී අඟරු වී ගිය කාලවර්ණ ඉපල්වල නෂ්ටාවශේෂ තවමත් තැන තැන දිස් වේ. 
කෙම්බිමක් වැනි දියකඳුරෙන් දිය බොමින් තනුර හා සහීඩි
දැන් හිරු රැස ඉතා දැඩි ය. කන්දේ බෑවුම ද වැඩි ය. එහෙයින් ඉහළ නැගීමේ වේගය ද අඩු ය. ගෙන ආ එක ම දිය බඳුනේ අන්තිම දිය බිඳුව ද පානය කර හමාර ය. අප වැඩිපුර දිය බඳුන් නො ගෙනාවේ, කඳු මුදුනේ සිට ගලා එන දොළ මංවලින් දිය පුරවා ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් දැන් අප ගමන් ගන්නා මගට මදක් ඈතිනි දිය දහරක හඬක් ඇසෙන්නේ. කරන්නට දෙයක් නැත. එහි ගොස් දිය ගෙන ආ යුතු ය. ඒ කාරිය භාර ගත්තේ තනුර ය. අපි ඔහු එන තෙක් ගිමන් හළෙමු.
දැඩි බෑවුම් සහිත කඳු මුහුනතේ ඉහළට ඇදීමට අපට තෘණ පඳුරුවල ආධාරය ලැබීමට ද, විටෙක ශේෂව ගිය ඉපලක, මුලක එල්ලීමට ද සිදු විය. දැන් හිරු රශ්මිය ඉතා දැඩි ය. දාහය මෙන් ම පිපාසය ද නොසිඳෙන සෙයකි. ඉහළින් ඇති ගල්තලාවට සේන්දු වන විට පුරවා ගත් දිය බඳුන ද අහවර වී තිබිණි. දැන් තවත් තැනෙකින් දිය සොයා ගත යුතු ය. ඒ ගල්තලයෙන් ඔබ්බේ කුඩා නිම්නයක් බඳු ඉසව්වකි. එහි දියදහරක ලකුණු දිස් වේ. මහන්සිය නොබලා අප සැවොම ඒ වෙත ඇදුනෙමු. එය ක්ෂේම භූමියක් වැන්න. ඉහළින් ඇදෙන දිය කඳුර ගල් තලයේ එක් තැනෙක විලක් තනාලයි. එහි කෙළවරේ බෝ ගසකි. සැබැවි.. එය බෝ ගසක් ම ය. එහි කොළ ද අමුතු ය. කුඩා ය. වඩා අඳුරු පැහැ ය. කුරු බෝ පැළයට මේ අපූරු ස්වභාවය ලැබී ඇත්තේ දිගු කලක් තිස්සේ විඳි පීඩාවේ ප්‍රතිඵලයක් ලෙස ය. නියං සමයේ ජලය ගිඟ ය. ඒ මදිවාට නිරන්තරයෙන් සුළඟේ පීඩාව දරා ගත යුතු ය.
දළ බෑවුමේ ඉහළ නැගෙමින්
දිය බඳුන පුරවා ගනු වෙනුවට අපි වරෙකට එකා බැගින් ගල් තලයේ දිගා වී පොකුණට මුව තබා ඇති තරම් දිය බීවෙමු. “මේ වතුරවල කිසි රහක් නෑනෙ“ සහීඩ්ගෙන් නෝක්කාඩුවකි. එය සැබෑවකි. සාමාන්‍ය දිය උල්පතකින් ලැබෙන ජලයේ ඇති නැවුම් රසය එහි නැත. එය අරුමයක් නොවන්නේ, මේ ගලන්නේ පාෂාණ මත ඇති කුඩා පස්තට්ටුවෙන් කාන්දු වී එන වැසි ජලය නිසාවෙනි.
පාෂාණ මත පස්තට්ටුවේ නැවුම් තෘණ හොඳින් වැඩී ඇත. මම ඒ මතින් ඉහළට පියමං කළෙමි. සහීඩ් හා තනුර ගල්තලාව නිරාවරණය වූ පෙදෙසින් ඉහළට ඇදුනේ, ඉදිරියේ දී අප සැවොම එකම තැනෙකට ගමන් කිරීමේ අටියෙනි. “අන්න කොඩියක්...“ මම උස් හඬින් කෑ ගෑව ද, එය ඔවුනට ඇසුනේ යාන්තමිනි. අප ඉදිරියේ ඈතින් දිස්වන එක් කඳුමුදුනක කොඩියක් වැනි යමක් ලෙල දේ. මම නතර වී විපරම් කළෙමි. නැවත එය ලෙල දෙනු දුටුවෙන්, එය කවුරුන් හෝ සිට වූ කොඩියක් බව ස්ථිර ය. ඒ අපගේ ගමනාන්තයයි. එහෙත් තව බොහෝ ඈත ය. දුරින් නොව, උසින් ය.
හාවාගල කඳු මුදුන
අප තවත් දිය දහරක් අසලට සේන්දු වුණෙමු. එතැන හොඳින් වැඩුණු ගසකි. ඒ මත ද, ගැටගැසූ කොඩියක නශ්ටාවශේෂ දැකියැකි ය. හ්ම්ම්... මෙතැන පිළිවෙලකට ගල් වැටි දමා බිම් සකස් කර ඇත්තේ කවුරුන් ද? එය කඳවුරු බිමක් බව වටහා ගැනීමට අපට වැඩි වේලාවක් ගත වූයේ නැත. තැනෙක කෝටුවලින් සෑදු මැස්සකි. තවත් තැනෙක පොළොව සමතලා කර තැනූ කඳවුරු බිමකි. ඒ සියල්ල ම කම් නැත. දුක්ඛදායක දසුන වූයේ තැන තැන ලූ ප්ලාස්ටික්, පොලිතීන් කුණු රොඩු ය. මෙවන් කඳු තරණයට පැමිණෙන්නේ නම් රැගෙන එන කිසිවක් මෙහි නො දමා යෑම ඔවුන්ගේ උත්තර වගකීම ය. එහි කිසිදු අපහසුවක් ඇත්තේ නොවේ. මෙවන් කන්දක් තරණය කරන්නෙකුට රැගෙන එන ප්ලාස්ටික් බඳුනක් නැවත රැගෙන යෑම එතරම් දෙයක් නොවේ. වැරැද්ද ඇත්තේ ආකල්පවල ය. සොබා රක්ෂණයට හිතැති ආකල්ප තමා තුළ නොවේ නම්, මෙවන් වූ තැනක් තරණය කරන්නේ අහවල් කෙංගෙඩියට දැයි අසන්නට සිදු වේ.
සමනොළ වැව ජලරැස්යුරුව සහ සබරගමුව සරසවිය කඳු මුදුනේ සිට
දැන් මද්දහන පසු වී ඇත. තවත් නොබෝ වේලාවකින් වැසි ඇද හැලීමේ අවදානමක් වූයෙන් ඊට කලියෙන් කඳු මුදුන තරණය කළ යුතු ය. අප ගෙනා අඩුම කුඩුම සියල්ල මෙහි තබා, කැමරාව පමණක් අතැතිව කඳු මුදුන කරා වේගයෙන් ඇදුනෙමු.
තණකොළ පෙත්තෙක්! වෛවර්ණ කෘමියෙකු තෘණ පතක් මත රැඳී සිටී. මම ඌ ඡායාරූපගත කිරීමට යුහුසුළු වීමි. හැකි උපරිම වේගයෙන් කඳු තරණයට අවධානය යොමු කළ නිසාවෙන්, සතා සිවුපාවා ගැන විපරම් කිරීමට අපට අවස්ථාවක් නොලැබිණි. ඌරන් විසූ බවට සලකුණු නම් නොයෙක තැන දක්නට ලැබිණි. මා ඡායාරූප සඳහා සුනංගු වූ අල්ල පනල්ලේ තනුර හා සහීඩ් කඳු මුදුන වෙත ලංව සිටිය හ.
කඳු මුදුනට හාත්පස අපූරුවට දිස් වේ. එක් පසෙකින් සමනොළ වැව ජල රැස්යුරුව ය. සබරගමුව සරසවියේ ගොඩනැගිලිවල සිට බෙලිහුල් ඔය ගම්මානය දක්වා පැහැදිලි දසුනකි. ඉන් ඔබ්බේ ඇති හෝටන් තැන්න කඳුකරය දැඩි මීදුම් වලාවකින් වැසී ගොසිනි. අනෙක් පසින් මධ්‍ය කඳුකරය දිස් වේ. කඳුමුදුනේ ගල්තලය කඳවුරු ලෑමට අපූරු තැනෙකි. එහෙත් ගැටලුව වන්නේ නියං සමයේ දී දිය ලබා ගැනීම ය. දැන් නම් මෙහි දිය පිරී ගිය කුඩා විල් කිහිපයක් ම දක්නට ඇතත්, පෑවිල්ලත් සමඟ ඒවා අතුරුදන් වනු නිසැක ය.
“මෙන්න මේ පැත්තටත් පාරක් තියෙනවා. ඒක ගමට ළඟයි වගේ“ සහීඩ් කෑමොර දෙන්නේ, මුදුනෙන් බටහිර බෑවුම දෙසට ගමන් කරමිනි. ඒ මගෙන් ගියහොත් කඳුමුදුනෙන් උතුරු දෙසින් වූ ගම්මානයට පහසුවෙන් ළඟා විය හැකි ය.
වෛවර්ණ කෘමියා
“එහෙන් යන්න බෑ. ආපු පාරෙන්ම යං“ තනුරගේ විරෝධය කුමක් දැයි මට සිතා ගත හැකි ය. කටු පඳුරක පටලැවුණු ඔහුගේ කලිසමේ එක් පාදයක් සම්පූර්ණයෙන් ම ඉරී ගොසිනි. වාහනයට ළඟා වන තුරු වෙනත් ඇඳුමක් නැත.
“අර ඒ පැත්තට හයියෙන් වහිනවා.. “ ඒ මගේ නොයන්නට ඔහුට හේතු රැසකි.
අපි පැමිණි මගහි ම නැවත බසින්නට තීරණය කොට ගමන ඇරඹුවා පමණි, ධාරාණිපාත වර්ෂාවක් කඩා හැලේ. කරන්නට කිසිත් නැත. අපි වැස්සේ ම සෙමෙන් සෙමින් පහළට බැස්සෙමු.
‘දරාං ඩිං...‘ මහා හෙණ හඬක් පුපුරා ගියේ ය. අපි සැවොම බිම මුනින්තලා වූයේ කෙසේ දැයි කිසිවෙකුට නිච්චියක් නැත. අප සිටින්නේ උස් කඳු මුදුනක ය. ඒ මදිවාට එහි උස් ගස්කොළන් ද නැත. ඇත්තේ තෘණ පමණි. විදිලි සරයක් වදින්නේ නම්, එය පහසුවෙන් ම අපගේ ශරීර කූඩු හරහා භූ ගත වනු ඇත. අකුණු ආරක්ෂණය පිළිබඳ සියලු කාරණා විදිලියටත් වැඩි වේගයකිනි සිතට ආයේ. තනුර හා සහීඩ් හිස දෙපරැන්දේ ගසා ගනිමින් හතරගාත් බිම ඔබාගෙන ගුලි වී සිටිති. ඇලුමිනිම් තෙපාදය මා අතහි ය. එය විසිකර දමා යමු යැයි දෙදෙනා ම එකහෙළා කියා සිටිති. විදිලි කෙටීම් නවතින සෙයක් ද නැත. කෙසේ වුව ද අවදානම අවම වන අයුරින් අන්තරාකාරී පෙදෙසින් බැහැර වීමට අප සමත් වීමු.
බෙලිහුල් ඔය දෙගොඩතලා යන අයුරු..
වර්ෂාවේ සියලු ගැහැට විඳ දරා ගනිමින් අප ගඟ අසලට සේන්දු වූයේ අඳුර වැටෙන්නට මොහොතකට පෙර ය. හත්වලාමේ.. දැන් කුමක් කරන්න ද, බෙලිහුල්ඔය රැළි නගමින් දොගොඩතලා යයි. මෙතැනින් එගොඩවනවා තබා ඒ ගැන සිතන්නටවත් නොහැකි ය. ඒ අසල වූ හෝටලයේ සේවයකයෙකු වෙත දුරකථන ඇමතුමක් ගත්තේ තනුර ය. “ගඟේ වතුර අඩු වෙනකං ඉන්නව ඇර කරන්න දෙයක් නෑ“ ධනපාලගේ පිළිතුර විය. එතෙකින් නොනැවතුණු ඔහු තවත් කිහිප දෙනෙකු සමගින් එගොඩ ඉවුරට පැමිණ අප ගැන සොයා බලන්නට තරම් කාරුණික වූයේ ය.

ගං ඉවුරේ ගල්තලය මත රැය පහන් කළ අපට මෙගොඩට පැමිණීමට හැකි වූයේ පාන්දර යාමයේ ය. සීතලේ ගැහෙමින් ගලක් උඩ රැයක් ගෙවීම කටුක අත්දැකීමක් වුව, දැන් නම් එය මිහිරි සුන්දර මතකයක් පමණි.