හෝර්ටන් තැන්න 9 - ගෝනා හැරපියා කොටියා කැලෑ පනී!


බෑවුම් පෙදෙස පසු කළ පසු කුඩා තැන්නකි. එතැන මග අයිනේ කරු ඉති කුරුවට වැඩුණු කඳ මහත ගසකි. අවට දසුන වට කොට කුරු ගසේ කඳ දිස් වන්නේ පිංතූර රාමුවක් මෙනි. එතැන හෙවනේ ගිමන් හරිමින් මා මදක් නතර වූයේ සෙස්සන් පැමිණෙන තුරු ය. ඊළඟට පැන යෑමට වූයේ දිය කඩිත්තක් උඩිනි. මෙහි දිය රැඳී ඇත්තේ වැසි සමය නිසාවෙන් විය යුතු ය. එහි උද්දාමය අපට නොව ගෙම්බන්ට ය. නා නා ස්වරයෙන් නැගෙන නද සිහිගන්වන්නේ සංගීත සංධ්වනියකි‍. ගෙඹි නද බසු බිමේ දැන් තීව්රව ඇසෙන්නේ කුරුළු කූජනයකි. මිනිස් හඩින් තොර පාළු වන පෙතේ සොබා සතුන්ගේ මිහිරි නද, පන්සිළුවන්ට නොදෙ වැනි කන්කළු සංගීතයකි.
කුරු ගසේ අතුපතරින් දිස්වන දසුන
“රූං රූං රූං....” වෙසෙස් නදක් කණ වැකුනෙන් මම පහත් වී බැලුවෙමි. තණපත් අතර කුඩා වන මල් වටා කැරකැවෙන්නේ මී මැසි කැලකි. ගුවනේ සිට උන් රොන් උරන්නේ රැඳීමට තරම් මල් කුඩා වැඩි නිසා විය යුතු ය. ඔබ්බෙන් දිස් වන්නේ තොටුපොළ කඳු මුදුන ය. එහි මුදුනේ පිහිටුවා ඇති රේඩි‍යෝ සංඥා කුලුන දැන් යාන්තමට දිස් වේ. කන්දේ මැදක් යන විට හමුවන්නේ නො උස් පඳුරුවලින් පිරි බිමක් වුව ද,  නැවත ඉහළට යත් දී උස් පඳුරු හමු වේ. උස් පඳුරු ඉහළින් අක් වක් අකාරයෙන් පියඹා යන සමනළ රෑන දැකියැකි ය. දෙපස උස් පඳුරු අතරින් වැටී ඇති අඩි පාර ඔස්සේ අපි මුදුන කරා පිය නැගුවෙමු‍.
කඳු මුදුනේ සමනළුන්
කඳු මුදුනේ එක් ස්ථානයක් එළි පෙහෙළි කර ඇත්තේ රේඩියෝ සංඥා කුලුන සවිකිරීම සඳහා ය. එයට බලය සැපයෙන්නේ සූර්ය  පැනලයකිනි. මිටි වේදිකාවක් මත ඒවා ස්ථාන ගත කර තිබිණි. කම්බි දැල්රෝලක් ගෙනැනිවිත් දමා තිබෙන්නේ කුලුන වට කොට වැට බැඳීමට විය යුතු ය. එළිපෙහෙලි කර තිබූ බිමෙහි කුඩා ගල් කුල මත තනුර ඇනතියා ගත්තේ ය. සෙස්සෝ ද එවැනි සුදුසු තැනක් බලා බිමවාඩි ලා ගත්තේ ගිමන් නිවාගෙන යමක් හපා, දැන් හොඳටෝම දැනනෙන දිය පිපාසාව ද සංසිඳුවා ගැනීමට ය.

කා බී හමාර වීමෙන් පසු අප නැගී සිටියේ අවට සිරි නැරඹීමට ය. දැන් සෑහෙන වේලාවක සිට අප වටා සමනළ යුවලක් සක්මන් කරයි. උන් තරඟයට මෙන් අප හිස ඉහළින් පියඹා යමින් කරනම් ගසමින් නැවත පැමිණ අසල බිමේ වසාලයි. එසේ බිම වසාලන විටෙක ඡායාරූපයට හසු කර ගැනීමට මම උත්සහ කළෙමි. තවත් සමනළුන් මේ පෙදෙස වෙත ඇදී එති. එහෙත්, මේ කළු පැහැ රටා සහිත තැඹිලි පැහැ සමනළ ජෝඩුවෙන් උන්ට ගැලවීමක් නැත. වෙනත් සමනළයෙකු පැමිණි විගස වහා ඉහළ නැගෙන මේ ජෝඩුව ඌ පන්නා දමා මිසෙක ආපසු එන්නේ නැත. උන් වඩාත් ප්‍රිය කරන්නේ අප සමීපයේ වූ ලී කොටය මත වසා සිටීමට ය.
මෙතැනට මුළු හෝටන් තැන්නම මනා ව දර්ශනය වේ. කිරිගල්පොත්ත, ඉන් ඔබ්බේ පිහිටි කඳු වැටි, සමනොළ කඳු පෙළ,
ශාක මත වැඩුණු අපි ශාක
පිඳුරු තලාගල පමණක් නොව මේ මුදුන වටා අනන්තය තෙක් දිවෙන දසුනම දැකියැකි ය. මම මොහොතකට ලෝකාන්තය දෙස නෙත් යොමු කළෙමි. බලංගොඩ නිම්නයෙන් ඉහළ නැගෙන සුදු වලා කැටිති ලොකාන්තයේ ගැටියෙන් ඉහළට ඇදෙන අයුරු මනරම් ය. එම දසුන මෙතැන් සිට මිස ඒ ආකාරයෙන් දැකිය නොහැකි ය. හිරු උදාවෙන් පසු කාලය ගතවත්ම නිම්නයෙන් ඉහළ නැගෙන වලාවෝ තැන්න වසාලති. වැසි ඇද හැලෙන්නේ ඉන් අනතුරුව ය. අද නම්, සවස් යාමය වන තුරු වැසි වැටීමේ සූදානමක් නැති සේ ය. හෝටර්න් තැන්න වෙත දිවෙන මහ මගත්, තොරතුරු මධ්‍යස්ථානයත් මෙතැනට මනාව දිස් වේ. තොරතුරු මධ්‍යස්ථානය මෙතැනට දිස් වන්නේ පිටියක වැටී ඇති ගිනිපෙට්ටියක් සේ කුඩාවට ය. එතැනින් ඔබ්බේ ‍ලෝකාන්තය දක්වාත්, කිරිගල් පොත්ත දක්වාත් විහිදී යන තැන්නේ තැන තැන වූ වන ගොමු, මුහුද මැද වූ දූපත් වැන්න. මෙවන් දසුනින් මුසපත් වූ අපට එතැනින් පිටත් වීමට සිතක් පහළ වූයේ නැත. එහෙත් දැන් පල්ලම් බැසිය යුතු මොහොත ය.
 පහළට පැමිණි අප කා බී විවේකීව ගත කොට, නැවත කඳවරු බිම කරා ගමන් ගන්නා විට සැඳෑ යාමය එළැඹ තිබිණි. සැඳෑ හිරුගේ රන්වන් කිරණ තැන්න පුරා විසිරී අමුතු සිරියක් ගෙන තිබිණි. ඒ කිරණේ නැහැවෙමින් තණ උලා කන ගෝනෙකි. මම මොටෝරිය මදක් අයින් කොට නතර කළෙමි. “අපි පොඩ්ඩක් මෙතැන නැවතිලා
“අන්න අන්න කොටියා පැන්නා..“
යමු ද?” පුලස්තිගේ යෝජනාවට මගේ අකමැත්තැක් නොවිණි. ඒ වන විටත් ගෝනාගේ විවිධ ඉරියව් ඡායාරූපගත කරමිනි ඔහු සිටියේ. හිටි වනම ඌ කන් කෙලින් කර හඬක් නැගුවේ කිසියම් අනතුරක් ඉව වැටීමෙන් දෝයි අප සිත කුකුසකි. අප මෙහි පැමිණි මො‍හොතේ ඌ සිටියේ වගේ වගක් නැතුව ය. එසේ නම් මේ කුලප්පුව අප නිසා වීමට නම් බැරි ය. “ටන්...ටන්..” නැවතත් කන් බිහිරිකරවන තරමේ හඬක් නැගූ ගෝනා උගේ වල්ගය ද උස් කොට මද දුරක් දිව ගොස් නතර වී, ආපසු හැරී බලන්නේ ඇස් ගෙඩි ලොකු කරමිනි.
“අන්න අන්න කොටියා... පැන්නා...” පුලස්ති සිහින් හඬින් මුත් කලබලයෙන් පවසන්නේ මම විදිලි වේගයෙන් එදෙස බැලීමි. කොටියා පැන්නේ ගෝනාට නොවේ. ගෝනා පසුපස පැමිණි උගේ කුරුමානම වැරදුනා සේ ය. ඌ පැන්නේ කැලයට ය. ඒ අපේ ඇස් මානයෙන් ඉතා ඈතිනි. එහෙත් උගේ සේයාරුවක් සටහන් කර ගැනීමට මම උත්සහ කළෙමි.
“ෂා.. මාර චාන්ස් එක... මිස් වුණානෙ..” පුලස්ති පවසන්නේ කොටියාගේ කුරුමානම ගැන දැයි මම වික්ෂිප්ත වුණෙමි. නැත. ඔහු මේ කියන්නේ කොටි-ගෝන දඩයමේ අනගි දසුනක් මඟ හැරී ගිය දුකෙන් විය යුතු ය. දඩයම මගහැරුණු කොටියාට පවා එවන් දුකක් දැනෙන්නට නැත. කොටියා පැන ගිය ද අපි දෑස් මොහොතකට හෝ මෑත් නො කළෙමු. තවත් කුමක් හෝ සිදුවිය හැකි ය. ගෝනා තවමත් නො සන්සුන් ය. උගේ වම් පස ද කැලෑ රොදකි. දකුණු පස ද කැලෑ රොදකි. ඌ තණ උලාකමින් සිටින්නේ ඒ මැද වූ තණ පලසේ ය. මද දුරක් දිව ගොස් නැවතුණු නියාවෙන් ම ඌ ගල් ගැසී සිටින්නේ දැඩි විපරෙමිනි.
බිය වී ගල් ගැසුණු  ගෝනා

“අන්න අන්න කොටිය ආයෙත්...ඉරේෂා රහසක් මෙන් පවසන්නී, අප සියල්ලන්ගේ දෑස් ඒ වෙත යොමු විය. මගේ දෑසට පෙර කැමරාව එදෙස යොමු වූවා යැයි සිතේ. සෑහෙන ඈතකින් වුව කුරුමානම වැරදුණු කොටි හපුවා කරබාගෙන කැලෑ වදින අයුරු අපට මොනොවට දිස් වේ. ඌ අපට නොපෙනෙන සේ ඒ කැලයෙන් මේ කැලයට මාරු වූ සෙයකි.  කිසිවක් සිදු නොවුණා සේ ඌ සෙමින් සෙමින් කැලේ තුළට ගමන් කළේ ය. යාල, විල්පත්තු වනෝද්‍යාන තුළ මෙන් නොව, හෝර්ටන් තැන්නේ දී කොටියකු දැක ගත හැක්කේ කලාතුරකිනි. අපි කඳවුරු බිම වෙත ළඟා වූයේ ඒ සතුට ද හදෙහි දරාගෙන ය.
හිමින් සීරුවේ කැලයට මාරුවන කොටියා