හොර්ටන් තැන්න 8 - අරුමෙකි පෙනේ සමනොළ ගිර බහිනහිර


රැය පුරා නිදි වරමින් අහස පුරා විසිරි තරු කැට කැමරාවේ සටහන් කර ගැනීමට උත්සහ කළෙමි. ඊට බාධා පැමිණියේ දැඩි මිහිදුම නිසා ය. විටෙක වැරෙන් හමා යන මාරුතයේ දැවටී එන මිහිදුම් පොද සියොළඟ දැවටෙන්නේ හිම කැට  මෙනි. සරුවාංගයම වැසෙන සේ ඇඟළුම් ලා සිටිය ද සීතලෙන් නම් අඩුවක් නැත. අත් මේස්වලින් වැසුනු දෑතින් කැමරාව හැසිරවීම ද නුහුරු ය. මේ සියල්ලටමත් වඩා ගැටලුවක් වූයේ කැමරාව මත තුෂර තැන්පත් වීම ය. තනුර එය ආවරණය කිරීමට වෑයම් දැරුව ද, අනාවරණව තිබූ කාචය පින්නෙන් වැසී ගියෙන් අපි උත්සාහය අත්හැර දැමුවෙමු. හිමිදිරිය වන විට දැඩි මිහිදුම් වලාවක් හාත්පස පැතිරී සියලු තාරකාවෝ සැඟව ගිය හ. කූඩාරම තුළට වැදුණු මම කෙටි නින්දක් ලදිමි.
නෙලු මල්
වටින් ගොඩින් එළිය වත් දී මම අවදි වුණෙමි. සෙස්සන් ද අවදි කළේ කාලගුණය පැහැබර වූ නිසාවෙනි. තවත් මොහොතකින් හිරු උදා වේ. අද නම් වැස්සවලාහක ඉසිඹු ලබා ඇති සේ ය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු ය. ඉවසුම් නොදෙන සීතලේ වුව අප යුහුසුලු වූයේ අද දිනට සැලසුම් කළ ගමන සඳහා පිටත් වීමට ය. අප අඩුමකුඩුම සූදානම් කර ගන්නා අතරේ ඉරේෂා තේ වත්කොට තිබුණා ය. තේ පානයෙන් පසු අප පිටත් වූයේ හෝර්ටන් තැන්න වන මධ්‍යස්ථානය වෙත ය. තොටුපොළ කන්දට යෑමට පට්ටිපොළ දෙසට යන මගේ ටිකදුරක් ගමන් කළ යුතු ය. ඒ දුර මොටෝරියෙන් ගමන් කිරීම පහසුවටත් වඩා කාලය ඉතිරි කරන්නකි. අපගේ අරමුණ වන්නේ හිමිදිරියේ ම කන්ද නැගීම ය. ඊට හේතුවක් ඇත. බොහෝ විට හාත්පස කඳු වළලු සිසාරා දැකියැක්කේ හිමිදිරියේ ගිය තරමට ය. දහවල් කල උදා වත් දී අහස වලාවෙන් බරවන බැවින් ඈත දසුන් දැකිය නොහැකි ය.
 දිවයිනේ බටහිර දෙස ජීවත්වන අපට සුපුරුදු දසුන වන්නේ සමනොළ ගිර දෙසින් හිරු උදාව දැකීම ය. හෝර්ටන් තැන්නේ හිරු උදාව ඊට ඉඳුරා වෙනස් අත්දැකීමකි. මෙහි සමනොළ ගිර දැකියැක්කේ බටහිර දෙසිනි. උදා හිරු කිරණින් ආලෝකවත් වන සමනොළ කඳුවැටිය හෝර්ටන් තැන්නට අපූරුවට දිස් වේ. තැන්නේ එක් තැනක මා රිය නතර කළේ, ඒ දසුන කැමරාවට හසු කර ගැනීමට ය. සංචාරක රථ පෙළ වැල නොකැඩී ඇදී ඒ. එසේ එන ඇතැම් රථ අප අසල සුනංගු වන්නේ මෙතැන කුමක් දිස් වන්නේ දැයි විපරම් කිරීමට ය. එසේ නැවතූ එක් වාහනයක රියැදුරු තැන මා අමතා පැවසූයේ, “මේ වංගුවට එහා පැත්තෙ පල්ලමේ කොටියෙක් දැක්කා” යනුවෙනි. ඉන් කුල්මත් වූ මා ඉක්මනින් රථය පන ගන්වා ඒ දෙසට ගමන් කළේ, දිවි-දසුනක් අපේක්ෂාවෙනි. එහෙත් අප පමා වූවා වැඩි විය යුතු ය. කොටි හපුවෙකු තබා සුලබව දැකියැකි ගෝනෙකුවත් ඒ ඉසව්වේ නැත.
මහ රත්මල්
කොයිහැටි වෙතත් ඉක්මනින් පැමිණිම වාසියක් වූයේ හිරු මුදුන් වීමට මත්තෙන් කඳු මුදුනට නැගීමට එය රුකුලක් වන බැවිනි. හිරු මුදුන් වෙද්දී වටින් ගොඩින් පුළුන් වලාවෝ ද ඉහළ නැගෙති. ඉන් ආවරණය වන්නේ අපේ මනරම් දසුනයි. එබැවින් ඉක්මන් කළ තරමට සොඳුරු දසුනක් දැක ගත හැකි වනු ඇත. තවමත් හිරු කිරණ දිලෙන්නේ රන්වන් පැහැයෙනි. කඳුකර වනාන්තරයේ තුරුලතාතුරින් එල්ලී හැලෙන, කඳන් මත වැඩී ඇති දියසෙවල, අපිශාක, ලයිකන ආදිය මතට රන්වන් හිරු කිරණ පතිත වීමෙන් මැවෙන්නේ අපූරු දසුනකි. එමතුදු නොව තුරුලතාතුර එලා ඇති මකුළු දැල් දිලෙන්නට ගන්නේ ද මේ හෝරාවේ ය. පිනි විසුල රිදී පැහැ දැල් මතට රන්වන් කිරණ වැදීමෙන් වෛවර්ණ රටා මැවේ. තොටුපොළ කන්දේ පිවිසුම අසල අප මොටෝ රිය නතර කර පා ගමනින් කඳු මුදුන දක්වා ගමන් කිරීමට සැරසුනෙමු. පෙරී එන හිරු කිරණ සංයෝජනයෙන් මැවෙන සොඳුරු සොබා දසුන් මෙතෙකැයි කිව නොහැකි ය.
නෙළු මල් පිරි නෙළු යාය එවැනි අපූරු දසුනකි. කඳු නැගීම පසෙක ලා මම එහි චමත්කාරය විඳ ගැනීමට මොහොතක් නැවතුනෙමි. කරල් සේ නැගී දිලෙන නෙළු මල් මත පිණි විසිරී ඇත්තේ, පිණිකැට මත තැවරෙන හිරු කිරණ දේදුනු වර්ණයෙන් ඒවා හැඩ කරයි. මේ විශේෂයේ පැළ වැඩී මල් පිපීමට වසර දහයක් එකොළහක් වැනි දිගු කාලයක් ගත වේ. නෙළු ඇට මදක් මත් වන සුළු ය. ඒවා වළිකුකුළන්ගේ ප්‍රියතම අහරකි.
ඉහළට දිවෙන වන මග දෙපසින් නැවී ඇති අතුරිකිලි ආදිය කපා දමා හෙළි පෙහෙළි කර ඇත. “ආ.. මැක්කල වෙන්නැති මේ පාර සුද්ද කරන්න ඇත්තේ” තනුර පවසන්නේ, වන මගක් හෙළිපෙහෙළි කළ හැකි මැක්කා මොකා දැයි මම සිනාසුනෙමි. ඒ ඔහුගේ සරසවි මිතුරෙකුගේ අන්වර්ථ නාමයකි. ඔහු ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි. පසුගිය දොහේ ඔවුහු ක්ෂේත්‍රචාරිකාවක් සඳහා පැමිණි වගක් මට ද මතක ය.
ආවේණික මල් ගොමුවක ආවේණික කටුස්සෙක්

උස් ගස් සහිත වන පෙත ඉක්මනින් පසු කළ හැකි වුව ද අපට ඒ සඳහා වැඩි වේලාවක් ගත වූයේ තුරු හිස් මත නද නගමින් සිටි නෙක නෙක කුරුලු රැළ හඳුනා ගැනීමට දෙනෙතියක් ද අතැතිව හුන් තනුර උත්සහ දරමින් සිටි හෙයිනි. මට වුවමනා වූයේ රන්වන් හිරු කිරණ වියැකීමට මත්තෙන් අවට දසුන නැරඹීමට ය. එබැවින් සෙස්සන් පසුකර ඉදිරියට ගොස් පය ඉක්මන් කර ඉහළ නැඟුනෙමි. උස් තුරු සහිත වන බිම පසු කළ පසු එළඹෙන්නේ නොඋස් පඳුරු සහිත බිමකට ය. දැන් නැගීමට ඇත්තේ පෙරට වඩා දළ බෑවුමකි. මහන්සි නොබලා මම ඉහළ නැගුනෙමි.
අහා! කෙතරම් සොඳුරු දසුනක් ද? සමනොළ කඳුවැටිය මොනොවට දිස් වේ. සමනොළ සිරසත් ඉන් මෙපිට පිහිටි කඳු සිරසත් එක පෙළට දිස් වන්නේ, දුර අනුව කඳු පෙළේ පැහැය ද මදක් වෙනස් වන සේ ය. ඊට දකුණු පසින් දිස්වන්නේ පිඳුරු තලාගල කඳු මුදුන ය. වම් පසින් කිරිගල්පොත්ත කඳු මුදුන ය. මා සේයාරූ සටහන් කර ගන්නා අතරේ සෙස්සෝ සෙමින් සෙමින් ලං වූහ. නැවතත් අපි කන්දේ ඉතිරි කොටස නැගීම ඇරඹුවෙමු.

“අන්න බලන්න අර මල් පඳුර උඩ...” බෝවිටියා මල් ගොමුවක් වෙත මගේ අවධානය යොමු වේ. මේ කුමන අරුමයක් ද? මල් ඇතිරූ පලසක් මෙන් පෙනෙන මේ මල් ගොමුව මත හිරු කිරණේ නැහැවෙමින් සිටින්නේ කටුස්සෙකි. මල් ඇතිරූ පළසක් මත අව්ව තපින කටුස්සෙකු සේ බැලූ බැල්මට දිස් වුව ද, ඌ මෙහි සිට කුරුමානම් අල්ලන්නේ මල්වෙත ඇදෙන කෘමි සතුනට බව නොරහසකි. අපගේ පැමිණීම ඉව වැටුණු නිසාදෝ ඌ මල් ගොමුවේ මල් අතර සැඟව ගියේ ය. අපි ඉහළට ගියෙමු. 
තොටුපොළකන්ද වන පෙත