හෝර්ටන් තැන්න 7 - දඩයක්කරු සමඟ නිදි නැති රැයක්!


කෙතරම් බලා සිටිය ද මිහිදුම් සළු ලිහෙන්නේ නැතුවා, අපි පිටත් වන්නට සිතුවෙමු. “අයියෝ මුකුත් පේන්නෙ නෑනෙ”, “අම්මෝ ඇවිල්ල හොඳ පන ගියා” ඇතැම්හු මැවිසිලි නගති. කිලෝමීටර් හය හතක දුරක් ගාටමින් පැමිණියේ මෙය දැක ගන්නට දැයි සමහරු විමසති. මහා බලාපොරොත්තුවක් සුන් වූ සෙයකි. එතැන දැක ගන්නට නැත්තේ ලෝකාන්තයේ පල්ල පමණි. හෙළ අද්දර තුරුවියනතුරින් ඈත් මෑත් වෙන මිහිදුම් වලා කෙතරම් අපූරු දසුනක් ද? ඇරත් වන උයනේ මග දෙපස සොඳුරු දසුන් කොතෙක් තිබේ ද? සොබා දහමේ අපූර්වත්වය පවා විඳගත හැක්කේ එහි රස දනවන ‘රසතාවක්’ සිත් තුළ ඇත්තේ නම් පමණි. දකින දසුනින් මුසපත් වන ඇතැමකු හුස්ම ගැනීමට පවා අමතක වූවා සේ බලා සිටිති. එක් එක් අයගේ විඳගැනුම තම තම ණැන පමණට ය.
Rubus indicus ඇතැම් කුරුල්ලන් ප්‍රිය පළතුරකි
“මේ බෙරි ජාතියක් නේද?...” රතු පළ පිරි වැලක් වෙත මාගේ දෑස යොමු කරන්නී ඉරේෂා ය. ඒ බ්ලැක්බෙරි  නොවුව ද ඒ ගණයේ ම පළතුරකි. මිනිසුන් මේවා ආහාරයට නොගත්ත ද ඇතැම් කුරුල්ලන්ගේ ප්‍රිය බොජුනකි. දැන් අප ගමන් කරන්නේ පුංචි ලෝකාන්තය දෙසට ය. උස්ව වැඩුණු වනය මැදිනි ඒ දෙසට පාර වැටී ඇත්තේ. තුරුවියනක් අද්දරින් ගමන් ගන්නා විට කුරුළු කූජනයේ අඩුවක් නම් නොවේ. දැන් වැස්ස තුරල් කර ඇත්තෙන් පොද වැටෙන්නේ ද නැත. මම කැමරාව මල්ලෙන් එළියට ගත්තේ පුංචි ලෝකාන්තය ආසන්නයේ දී ය. එහි සිට පහළ වන පෙත අපූරුවට දිස් වේ. නෙක නෙක පැහැයෙන් දිස් වන තුරු වියනේ විවිධත්වය මෙතැන් සිට අපූරුවට දැක ගත හැකි ය. මේ හෙළ ලෝකාන්තය තරම් ගැඹුරු නොවුව ද, පහළ දිස් වන තුරු මුදුන් නැරඹීමට නම් එය කදිම තැනකි. හාත්පස දසුන පැහැදිලිව තිබුණේ ඉතා සුළු වේලාවකට පමණි. මිහිදුම් පටලක් සෙමින් සෙමින් ඉහළ නැගේ. මිහිදුම් සේලයෙන් සේලය වන වියන වසාලන අයුරු අපූරු ය.
Medinella fuchsioides
 වැසි අවධානම තවමත් පහව ගොස් නැත. අඳුර වැටීමට පෙර නැවත කූඩාරම වෙත යා යුතු ය. කොතෙක් බලා සිටිය ද තිතක් නැති ඒ දසුනට සමු දෙමින් අපි නැවතත් පිවිසියේ උසට වැඩුණු රුක් ගොමු සහිත ඉසව්වට ය. “මේ බලන්නකො හරි ලස්සන මල් ගහක්...” රතු රෝස පැහැයට හුරු මල් කුකුළු රැසක් අත්තක් මත පැත්තක් වසා ඇත්තේ, මම ලං වී බැලුවෙමි. මෙය ගසක් නොවේ. අපිශාකයකි. ඒවා වැඩෙන්නේ තවත් ගසක උදව්වෙනි.
තවත් මදක් ඉදිරියට එද්දී වම් දෙසින් ගලා යන කුඩා දිය දහරකි. පහළට බැසීමට අඩිපාරක් ද ඇත. දිය පිපාසවක් වූයෙන් එය සංසිඳවා ගැනීමට ද පුළුවන. සැබෑම වෙනසකි. සිංහරාජය හෝ වෙනත් එවැනි වැසි වනයකට ඇතුළු වූවා වැනි ය. වනය තුළට නම් දැන් අඳුර වැටී ඇත. මගට ද අඳුර පැතිරීමට පෙර පය ඉක්මන් කළ යුතු ය. නැවත මගට පිළිපන් අපි දෙපස වැඩිමනත් විපරම් නොකරම ඉදිරියට ඇදුනෙමු. මග පසෙක වූ තුරු මුදුනක සැඟව උන් වඳුරු රැළක් අප දැක්මෙන් දෝ හඬ තලමින් තුරෙන් තුරට පැන යති. ගොම්මන් අඳුරේ දී උන් හරි හැටි දැක ගැනීමට නොහැකි ය. මේ සතා සීපාවා කල එළි බසින යාමයයි. පුංචි ලේනෙකු තුරු කඳක් දිගේ වේගයෙන් පහළ බැස අප එන මග මැදට පැමිණියෙන් අප හිටි වන බලා සිටියෙමු. මේ ඉසව්වේ වන මග මහ මග තරමට පුළුල් ය. ලේනා මග මැදට පැමිණ ඇත්තේ වැසි දිය පිරි වලකින් දිය පොදක් බීමට ය.
කැලෑ රොදේ සැඟවුණු දොළ මග
 වනය පසු කර තැන්නට පැමිණි විටය, තවමත් හිරු එළිය ඉතිරිව ඇති බව දැනුණේ. ඒ වන මග කෙළවර වන්නේ කඳු ගැටයේ තුංමංසලෙනි. තැන්න පුරා පැතිරී ඇත්තේ මලානික එළියකි. පහනක් නිවී යත්දී, දැල්ල වැඩි වන්නේ යම් සේ ද, හිරු රැස ද ගිලී යෑමට පෙර හිටි වනම තීව්ර වූයේ බටහිර අහස ආලෝකවත් කරමිනි. රතුම රතු වලා අතරින් ඉහළට විහිදෙන හිරු රැස් කදම්බය ඇසට ගෙන එන්නේ වදනට නැගිය නොහැකි දසුනකි. හිරු කිරණේ රැඟුම දෙස මම ගල් ගැසී බලා සිටියෙමි. එය කැමරාවේ සටහන් කර ගත යුතු නොවේ දැයි මට සිහි වූයේ ඊ ළඟ මොහොතේ ය.
 අන්තිම හිරු කිරණ ද නිවී ගිය පසු මම කඳු මුදුනෙන් පල්ලම් බැස්සෙමි. පහළ නිම්නයේ කඳවුරු බිමහි ලහි ලහියේ ඒ මේ අත යන තනුර, පුලස්ති හා ඉරේෂාගේ රුව මගේ නෙත ගැටෙන්නේ සෙවනැලි මෙනි. ඔවුන් සූදානම් වන්නේ රෑ අහර සැකසීමට ය. වේලාසනින් උයාපිහා අවසන් කිරීම ණුවනට හුරු ය. රෑ කල වැස්සත් නො වැස්සත් සීතලෙන් නම් ගැලවීමක් නැත. එහෙයින් කරන කාරියක් වේලාසනින් හමාර කිරීම පහසුවකි.
ඈත දිස්වන්නේ ලෝකාන්තය ය
පරිප්පු, සැමන්, සෝයා, වෑංජනවලින් හමා එන පුසුඹ නාස්පුඩු කිතිකවන්නේ, කුසට ද බඩගිනි දැනේ. පිසීමේ කාරිය ඉරේෂා මත පැටවී ඇත. තනුරත්, පුලස්තිත් ඇයට උදපදව් කරති.
“තනුර, නාලම කෑවොත් නරක ද?..” මම කීවෙමි. “හස්.. හස්.. හලි සෝක්...” ඔහුගේ මුවින් වදන් පිටවෙන්නේ නැවතීමට තතනන එන්ජිමකින් පිටවන හොස් හොස් හඬක් මෙනි.
 දුම් දමන බත් පිඩක් කටට ලං කරත් දී, සිසිල් වන තරමට සීතල දැඩි ය. අපි බඩ පුරා ගිල දැමුවෙමු. “සීතලට මාර බඩගිනි වෙනවනෙ..” හැලියේ ඉතිරිව තිබූ ස්වල්පය ද පිඟානට හලා ගනිමින් පුලස්ති පැවසූවෙන් එයට පිළිතුරු දීමට නම් තනුරගේ කට පණ ආවේ ය. “ඔයාගේ කෑම ගැන අපි නොදන්නවායෑ... හෙහ් හෙහ්..” මහ හඬින් සිනාසෙන්නේ ය.
හිරුගේ අවසන් රැස් දහර
පැවැති අඳුර මදකින් දුරලමින් සහන් එළියක් අහසේ පැතිරී යයි. “ෂං තරු පායනව වගේ... පට්ට..” තනුර සතුටින් ඉපිළී යන්නේ ඈත්මෑත්වන මිහිදුම් හිඩැස් අතරින් තරු ඇස් එබිකම් කරන බැවිනි. මේ අසුවල් තරු රටාව යැයි හඳුනා ගැනීමට තරම් තවමත් නොහැක්කේ, මිහිදුම් තිරය ඇරෙන්නේ කඩින් කඩ බැවිනි. තවත් අඩහෝරා අඩක්වත් බලා සිටීමට සිදුවනු ඇත.
 “ආං අර පැත්ත බලන්න. අමුත්තෙක් බලාගන්න පුළුවං වෙයි...” මම කීවෙමි. පුලස්තිගේ හිතේ කුකුසකි. “කවුදබොලේ ඒ අමුත්තා...” මා පෙන්වන දෙස ඔහු බලන්නේ, අඳුරේ වුව ද ඇස් ලොකු වී දිලිසෙන අයුරු පෙනේ. උතුරු අහස දිස් වන්නේ නැගෙනහිරටත්, බටහිරටත් නැඟුණු කඳු ගැටි දෙක අතරින් වූ දොරුව ඔස්සේ ය. 
රෑ අහර සකසමින්
“ආං අර වම් පැත්තෙ කඳු ගැට්ටගාවින් කන්දට ගෑවිලාම තියෙනව වගේ පේන තරුව.. තව පැය බාගෙකින් බලන්නකො” “තව පැය බාගයක් යන කොට ඒක කන්දට වැහිල යයි” ඔහු පවසන්නේ අහසේ සියලු තරු බටහිර දෙසට බැස යන බව නොදන්නවා දැයි අසන්නාක් මෙනි. “මොන තරුව වෙනස් වුණත් ඔය තරුව නම් වෙනස් වෙන්නෙ නෑ” මම කීවෙමි. “නෑ... උතුරු තරුව ද?” ඔහුට කාරණය වැටහුණේ එවිට ය. උතුරු තරුව පිහිටන්නේ අහසේ උතුර ධ්‍රැවයේ ය. භූ විෂමතා භාධක නිසාවෙන් ලංකාවේ බොහෝ තැන්වලට එය නො පෙනුන ද සීත සෘතුවේ හෝර්ටන් තැන්නට එය අපූරුවට දිස් වේ.

 නැගෙනහිර අහසේ ඔරයන් මතු වේ. අහසේ දඩයක්කාරයා ඔහු ය. අපි ද දැන් තරු දඩයමට සැරසෙමු. 
නොසෙල් වී ඇත්තේ උතුරු තරුව ය