හෝර්ටන් තැන්න 6 - තණබිම් වනබිම් හරහා පාදාන්තයවත් නොපෙනෙන ලෝකාන්තයට


සිරිපොද වැස්සක් හමා යයි. පොළොව සිප ගන්නේ තුරුවියනතුරින් බේරි එන දිය පොදක් පමණක් නිසාවෙන් එය වන රොද තුළට එතරම් නොදැනේ. කෝකටත් කියා මා කැමරාව වසා ගත්තෙමි. කැලෑ ලේනෙකු අප අසලින්ම පැන ගියේ ය. එහෙත් දැන් පමා වැඩි ය. පොද වැස්ස තුරන්වන තුරු, මා නොවේ කැමරාව එළියට ගත්තේ. දැන් අප ගමන් කරන්නේ බේකර්ස් ඇල්ල වන රොදෙන් ලෝකාන්තය දෙසට ය. ඒ වන වැස්ම ඔස්සේ එතරම් දුරක් යෑමට නැත. නැවතත් පිළිපන්නේ පතන් බිමට ය. වම්පසින් කිසි‍වෙකුගේ කටහඬක් ඇසේ.
තැන්න මැද්දෙන් ගලා යන බෙලිහුල් ඔය
 “වයිල්ඩ් ලයිෆ් කට්ටියක්” තනුර කීවේ ය. “එහෙනම් පොඩ්ඩක් ඉඳල යමු. ගලගම ඇල්ලට යන පාරක් තියෙනව ද කියල ඒ අය දන්නව ඇති.” මම කීවෙමි.
ඔවුන් එනම අසා නැති සේය. “මේ පාර තියෙන්නෙ නම් ලෝකාන්තෙට... ඇල්ලක් ම්ම්ම්...”
“කමක් නෑ.. කමක් නෑ.. ඒකට පාරක් තියෙනව ද කියල දැනගන්නයි ඕන වුණේ. අපි යන්නෙ ලෝකාන්තෙට” අපි ඔවුනට සමුදුන්නෙමු. බෙලිහුල් ඔය ඔස්සේ පහළට ගමන් කිරීමෙන් ඒ වෙත පිවිසිය හැකි වුව ද ඒ වෙත වනමගක් නැති සෙයකි. ඇල්ල සොයා යෑම දැන් අපේ අරමුණ නොවේ. බෑවුමක් බැස නැවතත් කඳුගැටයක් වෙත මග දිවේ. දකුණු පසින් බෙලිහුල් ඔය ගලා යන්නේ නිම්නයේ ඒ මේ අතට අක් වක් වෙමිනි. ඔය දෙපස පතන් බිම ද, තැන්තැන්හි මතුව පෙනෙන වනගොමු ද දැකිය හැකි ය. එය දක්ෂ උයන් පල්ලෙකුගේ දෑතින් නිම වූ උයනක් සේ වරෙක දිස් වුව ද, මේ සා විසල් උයනක් නිමවිය හැකි සමතෙකු සිටී ද?
වැස්සත් මීදුමත් මැද ලෝකාන්තයේ ඇමතුමක
 තණ බිමේ තැන තැන මතු වූ වන බිම් අපූරු හැඩතලයක් නිමවන්නේ, තණ බිමේ හා වන බිමේ කැපී පෙනෙන වෙනස නිසා ය. මේවා මෙතරම් පැහැදිලි ලෙස එකිනෙකෙන් වෙන්ව පිහිටන්නේ කෙසේ ද? අතීතයේ දී පටන් වනබිම් වනබිම් මෙන්, තණ බිම් තණබිම් මෙන් වෙන්වැ පැවතියේ ද?  සෙමින් සෙමින් වන බිම් තණ බිම් වෙත පැතිරී යා නො හැකි ද? මේවායේ කිනම් හෝ සොබා සමතුලිතයක් පවතී ද?
කැලෑ ගිනි නිසා මේ වෙනසට යම් බලපෑමක් වෙන්නට ඇත. සිය බීජ තණබිම් මත සරු කර ගැනීමට නොහැකි වීම උස් ගස් තණ බිම් මත නොවැඩීමට තවත් හේතුවකි. බිම් මට්ටමේදී තණ හා තරගවැදීමට ඒ අපොහොසත් වේ. ඒ මදිවාට හෝර්ටන් තැන්නේ තුෂරවලින් බේරී දළු ඉති ලෑම අමාරුම කාරියකි. බඩේ තුළින් මතු වන තණපත්වලට නම් මෙය ගැටලුවක් නොවන්නා සේ ය. හෝටන් තැන්නේ තණබිම් මත අමාරුවෙන් හෝ පණගසා සිටින එකම ශාකය වන්නේ මහරත්මල් ය. එහෙත් ඒවායේ නැගීම ද බොහෝ මන්දගාමී ය. තණබිම් මත දක්නට ලැබෙන එවැනි වන පඳුරක් ඇතැම් විට වසර සිය ගණනක් වුව පැරැණි විය හැකි ය.
රැවුළු මෙන් වැවුණු ලයිකන
 හිරිපොද වැස්ස තව තවත් වැඩි වුව ද, මේ ඉසව්වේ සේයාරුවක් නැතිව යෑමට සිත් නොදේ. අප සතු වූ එකම කුඩය ඉහළා ඒ සඳහා උදව් කළේ ඉරේෂා ය. ළඟ ළඟ ම ඇසෙන මහා හූ හඬකි. දහ පහළොස් දෙනෙකු මහ හයියෙන් බෙරිහන් දෙන්නේ කුමක් අරභයා දැයි පැහැදිලි නැත. දමිල බසින් ඇසෙන කෑකොස්සන් ගැසීමේ අරුතක් නොවැටහෙන්නේ අපි විමතියෙන් බලා සිටියෙමු. ටික වේලාවකින් ඒ නඩය අප පසු කර යන්නේ කිසිවක් සිදු නොවූ ගානට ය. මෙවන් චර්යාවක් වන උයනකට නොහොඹී. වැල්ලට යා යුත්තන් කන්දට නැග ඇති සේ ය. මුවින් නො බැණ අපි ඉදිරියට ගියෙමු. සිඟිත්තන් ද රැගෙන පවුල් පිටින් පැමිණි නඩ කිහිපයක් ම අපට හමු විය. තරුණ තරුණියෝ යුවල මෙන්ම විශාල පිරිස් ලෙස ද හමු වෙති. වෙහෙසුනු ගතින් යුතු වුව ද සිනා වතින් සැරසී යෑමට ඇතැම්හු පසුබට ‍නොවෙති.
හෙළ අද්දර මිහිදුම් සළු පෙරවූ රුක් කඳක්
 වැස්ස තුරල් නොවූයෙන් මග නො රැඳී ලෝකාන්තය වෙත ම එක හැල්මේ ගිය අප අසල ගල්තලය මත නැවතුනේ ගිමන් නිවා ගැනීමට ය. ලෝකාන්තය පිළිබඳව කියැවෙන සටහන් පුවරු දෙකක් එහි ඇත. මේ මොහොතේ අප හැර කිසිවෙකුත් මෙහි නැත. ලෝකාන්තය තබා පාදාන්තයවත් නොපෙනෙන තරමට මීදුම දැඩි ය. ටික වේලාවකින් තවත් නඩයක් පැමිණියෙන්, අප එතැනින් මදක් ඉදිරියට ගියේ සොඳුරු දසුනක් දඩයම් කර ගැනීමේ සිතුවිල්ලෙනි.

මිනිස් පා පහසින් එළිපෙහෙළි වූ පටු වන මග දිවෙන්නේ ආගාධයේ ගැටිය ඔස්සේ ය. වම්පස තෙරක් නොපෙනෙන හෙළ ය. දකුණු පස කැලෑවෙන් මතු වන්නේ කොළ අතු ඉති නැති විසල් රුක් කඳන් ගොන්නකි. කාලවර්ණයෙන් උසට විහිදෙන ඒ දැවැන්ත දැව කඳන්වල තේජවන්ත බව තවත් වැඩි වන්නේ සුදෝසුදු සේලයක් මෙන් පසුබිමේ ගලා යන මිහිදුම් පටලය නිසාවෙනි. අතු ඉති නැති ඇතැම් වනස්පතියෙකු ලයිකනවලින් පිරී ඇත. කහ පැහැයට හුරු ලා කොළ පැහැයෙන් රැල් රැල් එල්ලෙන ලයිකන වැල් ඈතට දිස් වන්නේ දහසක් රැවුළු රඳවා ඇති ලෙසිනි.
ලංකාවට ආවේණික පුංචි ලේනා
 බොහෝ අය ලෝකාන්තය දැක ගැනීමට පැමිණෙන්නේ, හෙළ අද්දරින් කර පොවා බැලීම අපූරු ත්‍රාසජනක අත්දැකීමක් නිසා ය. එහෙත් අද දිනයේ එය අත් විඳීමට හැකි වේ දැයි සැක සහිත ය. එක් වලාවක් පරයා තව වලාවක් සේ අනවරථයෙන් මිහිදුම් වලාවෝ ඉහළ නැගෙති. හෙළ අද්දර ඇති තුරු හිස් එයින් වැසී යන්නේ සළුවක් පොරවන්නාක් මෙනි. එය වැඩි වේලා නො දරන්නේ, ඊ ළඟ මොහොතේ සළු උනා දමා වන පියස නග්න වේ. ඒ නොයිවසන මන්ද මාරුතය තවත් සළුවක් රැගෙන ඒ. මේ ‘සළුපාලිය’ අවසන් නො වන සෙයකි.
“අපි ‍මොනව හරි කාල ඉමු ද?” තනුර අසන්නේ ලෝකාන්තය බැලීමේ නොයිවසිල්ල අන්තයටම ගිය විට ය. මම ඔලුව වැනුවෙමි. ඒ වන විටත් ඔහු මල්ලෙන් බිස්කට් පැකැට්ටුවක් එළියට ගෙන හමාර ය.
“අන්න අන්න අර ග‍හේ....” මම එදෙස බලන්නටත් පෙර මා අත වූ කැමරාව එදෙස එල්ල වී හමාර ය. කැලෑ ලේනෙකි.  ඩස්කි ස්ට්‍රිප්ඩ් ජන්ගල් ස්කුයිරල් ලෙසින් හඳුන්වන ලංකාවට ආවේණික සතෙකි. හෝර්ටන් තැන්නේ වන රොද කිහිපයක දී ම දක්නට ලැබුණ ද ඡායාරූපයක් සටහන් කර ගැනීමට නොහැකි විය. දැන් ඒ අවස්ථාව එළැඹ ඇත. මෙතරම් සමීපයට පැමිණ මූ කුරුමානම් අල්ලන්නේ කුමකට ද? ඒ කිමදැයි පසක් වීමට වැඩි වේලාවක් ගියේ නැත. උ‍ගේ දැඟලිල්ල බිස්කට් පැකැට්ටුවේ සුවඳ නිසාවෙනි. මෙහි පැමිණෙන්නවුන් හලා දමා යන ආහාර කෑමට උන් පුරුදු වී ඇති සෙයකි. මෙවැනි දෑ නිසා වනසතුනට සිදුවන්නේ මහත් හානියකි. ආහාර සොයා ගැනීමේ දස්කම් ගිලිහී යෑම ද, ස්වභාවික හැසිරීම් රටාවල වෙනස්කම් ද මේ නිසා සිදු විය හැකි ය. එබැවින් වන සතුනට කෑම දීම නො හොඹිනා ක්‍රියාවකි.

 වරින් වර මෑත් වන මිහිදුම අතරින් ඈත කඳු මුදුනක් මතු වී නැති වී යයි. අනන්තය තෙක් විහිදී යන සුදෝ සුදු වලාකුළු දෙස අනිමිසලෝචනයෙන් පෙම් සුව විඳින යුවලකි. මිහිදුම මෙන් ඔවුන් ද ඈත්මෑත් වන සෙයක් නැත. අපි එතැනින් ඈත් වුණෙමු.