හෝ්ර්ටන් තැන්න 5 - පල්ලේ හොවා ගෝනුන් මැරූ බේකර්ගේ ඇල්ල




වන රොද මැද මග දෙකට බෙදේ. දකුණු පසට බැස ගියහොත් බේකර්ස් ඇල්ල ය. වම් පස මග දිවෙන්නේ ලෝකාන්තය වෙත ය. අපි පහළට බැස්සෙමු. සිමෙන්ති පඩි මතින් පහළට බැසීම පහසු ය. මේ එන සෙනඟ කන්දරාවේ හැටියට එළෙස පඩි සකසා නො තිබුණේ නම්, සෑහෙන බිම් කොටසක් විනාශ වී යනු ඇත. වැසි සමය නිසා ඇල්ලෙන් ඇද හැලෙන දිය දහර කෙතරම් වැඩි වී ද යත්, හිරිකඩ පහරට ‍නොතෙමී ඇල්ල නැරඹිය නොහැකි තරමි. ඇල්ල අසලට ම තනා ඇති කොන්ක්‍රීට් පාලම ඔස්සේ සෙස්සන් ඉදිරයට යන අතරේ මා මෙපිටට වී සිටියේ, අතැති කැම‍රා ආම්පන්න හිරිකඩයෙන් බේරා ගැනීමට ය.

“මෙතැනත් මේ මිනිස්සු කුණු දාලනෙ” විසිකර දැමූ ප්ලාස්ටික් බෝතලයක් අහුලා ගැනීමට තනුර පල්ලට බැස්සේ ය.
තනුර-සිරස පුරා හිරිකඩ විසිරී
“අප්පටසිරි... මෙතැන තියෙන කුණු ගොඩ” හෙතෙම බෙරිහන්දෙන්නේ, කොන්ක්‍රිට් වේදිකාවෙන් පහළ වූ කුණු කන්දරාව දැකීමෙන් පසුව ය. ඔහු පහළට බැස්සේ විසි කර තිබූ එක් බෝතලයක් අහුලා ගැනීමට ය. එහෙත් එහි ඇති කුණු ගොඩ එකතු කිරීම දැන් කළ නොහැක්කකි. වැඩිපුරම ඇත්තේ හිස් වූ ප්ලාස්ටික් බඳුන් ය. පොලිතීන් රැගෙන යෑම ගේට්ටුවෙන් සීමා කර ඇත්තෙන් එවැනි දෑ අඩු වුව ද, බොනවතුර රැගෙන එන බෝතලය හිස් වූ කල එය මෙහි දමා යන සෙයකි.

 ඇල්ලේ හිරිකඩය කෙතරම් ද යත්, තනුරගේ සිරස පුරා දියබිඳු විසිරී ඇත්තේ, හිම වැස්මක් මෙනි. “මෙන්න හිම වළහෙක්” මරේස් විසුළු කරන්නී ය.
 මම ඇල්ලට මදක් මෙපිටින් පහළට බැස්සෙමි. නිරතුරු පා පහරට ලක්වීමෙන් පස් හෑරී සේදී ගොස් ඇති ඒ අඩි පාර හමාර වන්නේ ජල තටාකයට පහළිනි. ලෝගුවක් මෙන් ඇඳුමක් ඇඳ ඉහළ නගින්නේ චීන ජාතිකයකු විය යුතු ය. මදක් පසෙකට වී ඔහුට ඉඩ දුන්නෙමි. දිය දහරේ ගල් කුළකට ගොඩ වූ විට අපූරුවට ඇල්ල දිස් වේ. හොඳ ඡායාරූපයක් සඳහා ආලෝකවත් බවක් නො වූව ද මා එවැන්නකට උත්සාහ කළේ මන්දාරම් අහස යට ඇල්ලේ සිරි නරඹමිනි. වැසි සමයේ තර වෙමින් ද, පෑවිල්ලේ කෘෂ වෙමින් ද වසර දහස්, දස දහස් ගණනක් තිස්සේ මේ දිය කොමලිය ගලා යන්නී ය. වසර සියයක් දෙසීයක් මතු නොව දශකයක හමාරක දී පවා අප දිවි ගෙවන පරිසරය කෙතරම් වෙනස් වී ඇත් ද? එහෙත් මිනිස් මැදිහත්වීමකින් තොර මෙවැනි තැනක් වෙනස් වන්නේ සොබාවේ රිද්මයට පමණි. ඒ බොහෝ මන්දගාමීව ය. වසර සීයකට දෙසීයකට පෙර පැවැති රුවේ එතරම් වෙනසක් නොවන්නට ඇතැයි සිතමි. එදා බේකර් දකින්නට ඇත්තේ ද මෙවැනි ම දසුනක් විය හැකි ය. ගෝන දඩයමේ ආ බේකර් ගේ විස්තරයක් මට සිහි වේ.

 “බල්ලන් කොතැනක සිටියා වුව, උන්ගේ හඬ පරයා ඇල්ලේ මහ හඬ දැන් ඇසෙන්නේ මගේ දකුණු පසින් අඩි කිහිපයක් ඉදිරියෙනි. දිය ඇල්ලේ එක් පසෙක අතිශය අවදානම් බැස්මකට මා අවතීර්ණ වූයේ ගෝනා සහ බල්ලන් ඉදිරියේ කොතැනක වුව සිටිය යුතු බැවිනි. දිය ඇල්ලේ නාදය කෙතරම් ද යත් කාලතුවක්කු හඩක් වුව මගේ සවනත නොවැකෙනු ඇත. දැන් මම අඩි පනහක් පමණ ගැඹුරු දිය ඇල්ලේ තුනෙන් පංගුවක් බැස සිටිමි. ප්‍රපාතයේ පසෙකින් පැනනැඟුණු පැතැලි ගල් තලය අඩි හයහතක චතුරස්‍රයක් නිමවන්නේ, එහි කෙරවලකට වැටෙන දිය කඳ නැවතත් පහළට ඇද හැලේ. මෙතැනට පිවිසිය හැක්කේ ගල් තලයේ පටු වැටිය ඔස්සේ පමණි. අඩි තිහක් පමණ පහළින් දිය ඇල්ල පාමුල බුබුලු දමන තටාකය ය. ගල් තලය මත ගෝනා ආරක්ෂාකාරී  වුව, පටු වැටිය ඔස්සේ එද්දී දැනුණු භීතිය තවමත් ඌ තුළ ඇත. බල්ලකු හෝ මිනිසකු ඌ අසලට ගියේ නම්, එක් පහරකින් ඇල්ල පල්ලේ හොවා යම දණ්ඩනයක් පමුණුවනු ඇත. මේ දත් බලු රැළ කඳු ගැට්ටේ නැවතී සිටියෙන්, ගල් මුගුරු දමා ගසමින් ඌ විතැන් කිරීමට මම උත්සහ කළෙමි.”

 බේකර් ‘ද රයිෆල් ඇන්ඩ් හවුන්ඩ් ඉන් සිලෝන්’හි සිය අත්දැකීම විස්තර කරන්නේ එසේ ය. ඒ 1854 තරම් ඈත දී ය. සතා සීපාවා ගැන සොබා සංරක්ෂණ සංකල්පයක් එදා තිබුණේ නැත. එවැනි සංකල්ප බටහිරයන් තුළ ඇති වූයේ මෑතක දී ය. වසර දහස් ගණනක් තිස්සේ එවැනි සංකල්ප දැරූ අපගේ කෙරුවාව දැන් නම් ගැටලුවකි. දැන් කැලෑ කපන්නේ, සතුන් මරන්නේ, කුණු දමන්නේ සුද්දන් නොව අපේ ම ඇත්තන් ය.
බේකර් විස්තර කරන්නේ මේ ඉවුර ගැන විය යුතු ය
 “දැන් අපි ගියොත් හොඳයි නේද?” තනුරගේ විමසීමෙනි, මා පියවියට පැමිණියේ. එතෙක් වෙලාවක් මා ඡායාරූප ගනිමින් කල්පනාවේ නිමග්නව සිටියේ බේකර්ස් ඇල්ලට පහළින් වූ ගල් කුළක් මත ය. මම කුළෙන් කුළට පනිමින් ඉහළට පැමි‍ණියෙමි. අපි සැවොම දිය දහරෙන් ඉවත්ව ඉහළට නැග ගත්තෙමු. ඇල්ලෙන් එන හිරිකඩ මුසු සුළඟින් ඒ මේ අත වැනෙන මල් කැකුළකි. මම එය විපරම් කළෙමි. තනුර නැවත ඇවිටිලි කරන්නේ, විගසින් යා යුතු බවට ය. “ඔයාල ගිහිං ටෙන්ට් අකුලල, කෑම හදල තියන්න. මම පිංතූර ටිකකුත් අරගෙන හෙමීට එන්නම්” මම කීවේ, වඩා කාර්යක්ෂම වන්නේ ඒ විකල්පය බැවිනි. අප අද කූඩාරම් ගලවා කූඩාරම් බිම හිස් කොට දිය යුතු ය. සාමාන්‍යයෙන් ඉර මැදියමට කලින් එය කළ යුතු වන්නේ, වෙනත් පිරිසක් පැමිණියහොත් ඔවුනට එතැන භාර දිය යුතු බැවිනි.
ලංකාවට ආවේණික Impatiens leptopoda
ඔවුන් පිටත්ව ගිය බැවින් මම නැවතත් මල් කැකුළ දෙසට හැරුණෙමි. රෝස පැහැති කුඩා මල් සහිත පඳුරු රැස වැවී ඇත්තේ බේකර්ස් ඇල්ලට පසෙකින් වූ ඉවුරු කොණක ය. ඒවා සෙන්ටි මීටර් හැට හැත්තෑවකට වඩා නො උස් වේ. සාමාන්‍යයෙන් තෙත් පස් සහිත ඉවුරු දෑල වැවෙන මේ මල් පඳුර ලංකාවට ආවේනික වූවකි.
 පඩිපෙළ නැග කන්ද මුදුනට පැමිණි කල, දකුණට ඇත්තේ ලෝකාන්තය දෙසට දිවෙන මග ය. වම් දෙසට අප ආ මග ය. මම එදෙසට කඩිමුඩියකින් තොරව ගෑටුවෙමි. නරඹන්නන් වැඩි පිරිසක් බේකර්ස් ඇල්ල අසල වන මගේ හමු වුව ද ආපසු එන ගමනේ දී එතරම් පිරිසක් නොවිනි. නිස්කාංසුවේ පරිසරය විඳීමට එය මනා පිටිවහලකි. මග අයිනේ වූ කුඩා පඳුරකින් ‘සරස්...’ යන හඩක් නැඟුනෙන්, ලං වී බැලුවෙමි. පඳුරක් මත සිටි කටුස්සෙකු මා දුටු නිසාදෝ පඳුර තුළට ඇදේ. කොළපැහැති කැලෝටස් විශේෂයේ කටුස්සෙකි. ලංකාවේ දක්නට ලැබෙන කැලෝටස් විශේෂ හතක් අතුරින් හෝටන් තැන්නේ දැකිය හැක්කේ මූ පමණෙකි. දීප්තිමත් කොළපැහැයෙන් යුත් මේ කටුස්සා වනයේ තුරු හිස් අතර මෙන්ම තැන්නේ පඳුරු මත ද දැකියැකි ය. මල්පොකුරුවල පැණි බීමට එන කුඩා කෘමි සතුන් ඩැහැ ගැනීමට රැකසිටිනු සුලබ දසුනකි. පිරමි සතුන්ගේ කම්මුල්වල කාලවර්ණ රේඛාවක් ද දැකියැකි ය.
Calotes nigrilabris
මා කූඩාරම් බිම අසලට ළඟා වන විට සෑහෙන වේලාවක් ගතව තිබිණි. ඒ බව හැඟී ගියේ, කූඩාරම් ගලවා ගමන්මළු පොදි බැඳ මා එනතුරු සෙස්සන් බලා සිටි බැවිනි. ඔවුන් දිවා ආහාරය ද සකසා තිබූයෙන් ඉක්මනින් සප්පායම් වී පිටත් වීමට සැරසුනේ, වලාබර අහසෙන් ඒ වන විටත් පොදයක් දෙකක් වැටෙමින් තිබූ බැවිනි. මහ වැසි ඇදහැලීමට පෙර මොටෝරිය වෙත ළඟා වීමට හැකි විය. එය මහත් සහනයකි. නැරඹිය යුතු බොහෝ දෑ, ගමන් කළ යතු බොහෝ මං තවත් ඉතිරිව තිබේ. ඒ සඳහා නැවත පැමිණෙන අටියෙන් අපි හෝර්ටන් තැන්නෙන් පිට වූයේ අනෝරා වැස්සේ ය.