හෝර්ටන් තැන්න 4 - ඇල්ලේ ගෝසාව පරයා මල්ලෙන් ඇසෙන සංගීතේ..



අද අප සූදානම් වන්නේ බේකර්ස් ඇල්ල දෙසට යෑමට ය. සැමුවෙල් බේකර් ගේ ලිපියක සඳහන් පරිදි ඔවුන් සිය දඩයම් කටයුතු සඳහා අවදි විය යුත්තේ පාන්දර පහට ය. එය සැබෑවකි. ඒ වන විට තැන්න එළිය වේ. එහෙත් අප දඩයම් කරන්නේ ඡායාරූප පමණි. ඒ සඳහා ද පළමු හිරු කිරණ පොළොව සිප ගැනීමට පෙර සූදානම් වීම යෙහෙකි ය. කිටි කිටියට ගත වෙව්ලන සීතලේ වුව, මා සෙස්සන් අවදි කළේ එබැවිනි. තේ වත් කිරීමත් පාතරාසය පිළියෙළ කිරීමත් ඔවුනගේ කාරියක් විය. මා සේයා රූ දඩයමේ ය.
තණ මත පිණි
 කූඩාරම් බිමට හිරු උදාව නොපෙනෙන්නේ, කන්දට මුවා වන බැවිනි. එහෙත් හිරු කිරණින් අනෙක් කන්දේ සිරස එළිය වේ. එළිය හා සෙවනැළි අතර අපූරු සංයෝජනයකි එය. රන් පැහැයෙන් පතිත වන හිරුගේ පළමු රැස් දහර, බෙලිහුල් ඔයේ කුඩා ‘රැස්යුරුවට’ වැටෙත් දී ඇස දිවෙන දසුන් මෙතෙකැයි කිව නොහැකි ය.
 විසල් තණ පඳුරක් මත පිනි පොද දැවටී ඇති අපූරුව! තණ පඳුර පුරා කේතුක හැඩයෙන් මතු වූ මල් පොකුරු ය. එහි කුඩා තුඩු අග වූ පිණි කැට මිණි කැට මෙන් දිලිසේ. හිරු කිරණේ සකල වර්ණයම එහි ගැබ් වූ සෙයකි. දම්, නිල්, කොළ, කහ, තැඹිලි, රතු ඈ වර්ණ වරින් වර පිණි බිඳු තුළින් විහිදේ‍. දිගු තෘණ පත් මත සිය නිවස තනා ඇති, මකුළුවා ගේ රංගනය ඊට නො දෙවැනි ය. මකුළු දැලෙන් දිස්නෙ වැටෙන කිරණ කදම්බය සිහි ගන්වන්නේ සැණකෙළියක නිවි නිවී දිලෙන නියොන් ආලෝක සැරසිල්ලකි.
ගෝස් පඳුරු මත මකුළු දැල්
 “ළමයි තේ බොන්න එන්න..” මරේස් ගේ ඇමතුමෙන් මගේ අවධානය බිඳිණි. “හ්ම්ම්..” තවමත් යන්තමින් වෙව්ලන සිරුර උණුසුම් කර ගැනීමට තේ බඳුනක පහස කදිම ය. එය වැඩි වේලාවක් රස කරමින් තොළ ගෑමට ඉඩ හසර නැත්තේ, කඩිනමින් සිසිල් වන බැවිනි. ඊට පිළියමක් ලෙසය, ලිප මත තැබූ තේ බඳුන දිගටම රත්වෙන්නට හැරියේ. වරින් වර වත්කර ගනිමින් අතැති තේ කෝප්පයේ උණුහුම රඳවා ගැනීමට හැකි ය.
“අපි උදේට කාල ද යන්නෙ?” ජෙහාන් සිය සොයුරියගෙන් විමසන්නේ, ‘නොකා නොබී යන්න නම් බෑ...’ යැයි අදහසිනි. ඈ මදහසක් පා තනුර දෙස හැරුණා ය. “අපි ඉක්මනට හදාගන්න පුළුවං දෙයක් කාල යමු.” මා කීවේ ආපසු එන විට සෑහෙන වේලාවක් ගතවිය හැකි බැවිනි. ඇරත්, දැනටමත් වැහි වලාවන් අහස පුරා පාවී යන්නේ, කොයි වේලේ වැසි වැටේ දැයි කිව නොහැකි ය. පෙර දා වැස්සෙන් වූ හදිය හොඳට ම ඇති ය.
 අප කඳවුරු බැඳ සිටියේ ‘දූපත් තටාකය’ අසල ය. එතැන් සිට ගං ඉවුර අසලින් වැටී ඇති අපැහැදිලි අඩි මග ඔස්සේ බේකර්ස් ඇල්ලට යන මාවතට පිවිසීමට සිතූයේ ගං දෑල දැක ගනිමින් යා හැකි බැවිනි. මදක් පහළට එන විට දිය දහර කවාකාර වේ. එතැන ද තවත් ජල තලයකි. එය හැඳින්වෙන්නේ ‘ඇතර්ටන්ගේ තටාකය’ ලෙසිනි. මේ පෙදෙසේ ගං ඉවුර ඔස්සේ ම ගමන් කිරීම දුෂ්කර වන්නේ , ‘ගෝස්’ කටුපඳුරු පැතිරී ඇති බැවිනි. යුරෝපය නිජබිම වූ මෙම අහිතකර කටුපඳුරු හෝර්ටන් තැන්නෙන් වඳකර දැමීමට කොතෙක් වෑයම් කළ ද, සියලු උත්සාහයන් ව්‍යයර්ථව ඇති සේ ය. දශක ගණනකින් පසුව පවා මේවායේ බීජ පැළවිය හැකි බැවිනි, තුරන් කර දැමීම මෙතරම් ම දුෂ්කරව ඇත්තේ. දිය දහරෙන් වට වූ බිම් තුඩුවේ තවත් කඳුවුරු බිමකි. එහි කිසිවකුත් කඳවුරු බැඳ නැත. හෝර්ටන් තැන්නේ දැන් කඳවුරු බැඳ සිටින්නේ අප පමණි. මේ වැසි සමය නිසා කඳවුරු තුළ ලැගුම් ගන්නේ එහෙමත් කෙනෙකි.
දූපත් තටාකය
 තවත් මදක් ඉදිරියට ගිය විට ‘චිමිනි තටාකය’ හමු වේ. හෝර්ටන් තැන්න තුළ බෙලිහුල් ඔය ඉහැත්තෑවේ ඉදිකර ඇති තටාකවලින් තවමත් බැම්මක් ඉතිරිව ඇත්තේ මෙහි පමණි. ස්වාභාවික ගල් තලයක් මත ඉදිකළ කළුගල් මුවා බැම්මේ මැද කොටස සොරොව්වක් සිහි ගන්වයි. ඉන් බේරි ඇද හැලෙන දිය දහරින් තවත් පුළුල් දිය තලයක් නිමැ වේ. බේකර්ස් ඇල්ලට යන පාර වැටී ඇත්තේ ඒ අසලිනි. දණක් උසට වැඩුණු තණ පඳුරු අතරින් ගමන් කළ අපි පාරට ගොඩ වුණෙමු. ඒ වන විට සෑහෙන පිරිසක් බේකර්ස් ඇල්ල නැරඹීමට යමින් සිටිති. එමගේ ආපසු එන්නෝ ද වෙති. ඒ ‘කුකුළා අතේ අරං’ පැමිණි පිරිස් ය. හිමිදිරියේ පැමිණෙන්නන්ගෙන් වැඩි දෙනා විදේශිකයන් ය. මනරම් දසුන් දැකිය හැක්කේ හිමිදිරියේ පැමිණි විට ය.
කුරුල්ලකු, කටුස්සකු, වැනි සතෙකු හෝ නුහුරු පැළෑටියක්, වන මලක් දුටු විට මා නැවතෙන්නේ ඡායාරූපයකට නිමිත්තක් දැයි විපරමිනි. එවිට ජෙහාන්, මරේස් හා තනුර මා පසු කර යති. ටික දුරක් ගොස් නැවතී සිටිති. අති විශාල පිරිසකගේ නිරන්තර පා පහරට ලක් වීමෙන් මේ වන මග ‘අබලන්’ වී ඇත්තේ ය. ඇතැම් තැනෙක මග කාණුවක් මෙනි. තවත් තැනෙක මඩ වගුරක් සේ ය. මෙවැනි තැන්වලින් අතුරු මං සෑදී ඇත්තේ, තණබිස්සෙන් යෑමට අයෙකු පෙළඹෙන බැවිනි. පාර කාණුවක් වී ඇති තැනෙක දී ජෙහාන් තණ බිස්සට නැඟ ගත්තේ ය. “ඔතනින් යන්න එපා ලිස්සල යයි” තනුර පැවසුව ද, ජෙහාන් නෑසූ කන්වැ ඉදිරියට ඇදෙන්නේ වේගය තවත් වැඩි කරමිනි. වැඩි දුරක් ගියේ නැත. පස්ස බිම ඇනුණු ඔහු තණ පඳුරු අස්සේ ය. තණ බිස්ස නොවන්නට තවත් අකරතැබ්යකි.
කුරුල්ලාට වැඩි වේලාවක් මෙසේ සිටීමට නොහැකි විය

 දකුණු පසින් ඇදී යන බෙලිහුල් ඔයේ ඇතැම් තැනෙක දිය කඳ පුළුල් ලෙස පැතිරේ. ඒවා මසුන් ඇති කිරීමට යොදා ගත් තැන් ය. දැන් අප දකුණු පසින් දිස් වන්නේ ද එවැනි තැනකි. ‘අටේ තටාකය’ ලෙස එය හඳුන්වමු‍. මේ ඉසව්වේ, සතා සීපාවා දැක ගැනීම උගහට වන්නේ නිරන්තරයෙන් ඇදී එන සැරි ගඟ නිසාවෙනි.
වේගරිද්ම සංගීතයට පා තබමින්
 “හායි..” “හලෝ..” අප පසු කර යන විදෙස් සැරියෝ මදහස පාති. දෙස් සැරියෝ වැඩි දෙනා බුම්මාගෙන යති. නිරතම හිනැහෙන මිනිසුන් ඇති රට ලෙස අප විරුධාවලි ලැබ ඇත්තේ අතීතයේ ය. දැන් එය වලංගු නොවන සෙයකි.

“ඉක්මනට එන්න. මෙතැන කුරුල්ලෙක්...” තනුර කීයෙන් මම ඔහු සිටි ඉසව්වට ලහි ලහියේ ගියෙමි. එකදු තුරුපතක් හෝ නැති තුරු හිසක් මත ඌ වසා සිටී. ඌට වැඩි වේලාවක් එසේ සිටීමට ඉඩ නොලැබිණි. වේග රිද්ම සංගීතයක් දෙසවන වැකේ. ජාතික වනෝද්‍යානයක් මැද්දේ සංගීතයක් ඇසෙන්නේ කොයිබෙන් දැයි මම වික්ෂිප්ත වීමි. ඒ හඬ දැන් තීව්රව ඇසෙන්නේ, ආසියාතික විදෙස් තරුණ පිරිසක් මා පසු කර යති. එකෙකු ඉනෙහි දවටා ඇත්තේ ජංගම ස්පීකර යුගලයකි. ඔවුන් කිසිවෙකුත් උඩු කය වසා නැත්තේ, දාහය නිසා නොව සිරුර පුරා කෙටූ පච්ච පෙන්වීමට දැයි සිතේ. 
ලෙග් ඔෆ් මට්න් පූල්
මෙතැනින් පහළට දිය දහරේ තවත් නැම්මකි. එහි ඇති විසල් ජල තටාකය හැඳින්වෙන්නේ ‘ලෙග් ඔෆ් මට්න් පූල්’ ලෙසිනි. එළු ගාතයක් මෙන් දිස් වන හැඩය නිසා එනම ලැබෙන්නට ඇත. මෙතැන් පටන් බේකර්ස් ඇල්ල දක්වා වූ මග දිගට දිය දහර දිස් නොවන්නේ, කුඩා කඳු ගැට කිහිපයක් ඔබ්බෙන් එය ගලා යන බැවිනි. ඇල්ල දක්වා වූ නොපෙන මානයේ ද, තවත් ජල තටාක දෙකක් ඇත්තෙන්, ‘ගිලුණු-ගල තටාකය’ සහ ‘ධීවරයාගේ තටාකය’ ලෙස ඒවා නම් කර ඇත. සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම ජල තටාක යොදා ගැනුණේ මිරිදිය මසුන් බෝ කිරීමට ය. ඒ, විනෝදය පිණිස මැරීමට ය. රේන්බෝ ට්‍රවුට් එලෙස බෝ කළ මත්‍ස්‍යයෙකි. බිලී පිත්ත කෙළවර දී උගේ දැඟලිල්ල වැඩි ය. මාලු බාන්නන්ගේ ආශ්වාදය වැඩි වන්නේ ද මාලුවා දඟලන තරමට ය. දහනවවන සියවස අග භාගයේ පටන් උන් මෙහි බෝ කෙරුණෙන් එය මුළුමනින් නවතා දැමුණේ අසූව දශකයේ අග භාගය තරම් මෑතක දී ය. මින් දශකයකට පමණ ඉහත දී සිදු කෙරුණු අධ්‍යයනයකින් හෙළි වූයේ ලොකු කුඩා ස්ට්‍රවුට් මසුන් දහසක් පමණ හෝර්ටන් තැන්නේ බෙලිහුල් ඔය ආශ්‍රයේ වෙසෙන බවකි.

 ඇස් මානය තෙක් තණ පඳුරුවලින් වැසී ගිය තැන්න පසුකර ගිය අප කුඩා වන රොදකට ඇතුළු වූයෙමු. දැන් අප සිටින්නේ බේකර්ස් ඇල්ලේ ඝෝෂාව ඇසෙන මානයේ ය.