හෝර්ටන් තැන්න 3 - සීතලෙන් බේරීමට දියේ ගිලුනෙමි

සෙල්ෆි ගැනම අවධානය යොමු කර සිටි ජෙහාන්ට උන් හිටි තැන් අමතක ය. කඳු ගැට්ටෙන් පය ලිස්සා ගියේ නම්, “පට්ට ෂොට් එකේ” තරම බලා ගන්නට තිබුණි. තනුර කෑ මොර දුන්නේ ඒ ගැන ය. හාත්පස වසාලන මිහිදුම් තීරය වියැකී යන්නේ මොහොතකට පමණි. එවන් විටෙක දිගහැරෙන සොබා රැඟුමෙන් වශීකෘතව සිටි නිසාවෙනි, කාලයේ මානය මනසට නො නැගුණේ.
ජෙහාන් සෙල්ෆි සෙල්ලමේ
ලංකාවේ දෙවැනියට උස ම තැන මෙතැන ය. මීටර් 2,340ක් වූ කිරිගල්පොත්ත මුදුනට වඩා පිඳුරු තලාගල කඳු මුදුන උස් වන්නේ මීටර්185කින් පමණි. එහෙත් මෙහි නැගීමට අපහසු වන්නේ අන්තිම මීටර් සියය පමණි. තැන්නේ විසල්ව වැඩෙන ශාක විශේෂ මෙහි දැකියැක්කේ කුරුමිටි විලසිනි. නිරතුරු හමනා දැඩි සුළං නිසාවෙන් තුරු ලතා එසේ හැඩ ගැසී ඇත. ‘සීත පේර’ ලෙස හඳුන්වන කුඩා ගෙඩි සහිත පඳුරු ඒ සඳහා කදිම උදාහරණයකි. තැන්නේ දී මීටර් තුනක් පමණ උස්ව වැඩෙතත් මෙහි දැකිය හැක්කේ අඩි කිහිපයක් පමණක් වූ නො උස් පඳුරු පමණි.
 ඉදුණු සීතපේර ගෙඩි ඉතා රසවත් ය. ජෙහාන් හා තනුර ඉදුණු ගෙඩි සොයමින් පඳුරු පීරන්නේ තරගයට මෙනි. ඒ තරගයට මා නොවූයෙන්, තනුර කඩා දුන් ගෙඩියකින් දෙකකින් සෑහීමට පත් වූවෙමි. මෙම විශේෂය ආසියාව හරහා ඔස්ටේලියාව දක්වා ම පැතිරී ඇත්තේ, මීටර් 1500ට ඉහළ උස් බිම්වල ය. වරින් වර පහව යන මීදුම අතරින් හෝර්ටන් තැන්න පමණක් නොව, ඇත කඳු මුදුන් ද දිස් වේ. සමනොළ මුදුන (මීටර් 2245), ග්‍රේට් වෙස්ටර්න් (මීටර් 2210), තොටුපොළ කන්ද සහ නමුනුකුළ කඳු පංතිය (මීටර් 2035) ද ඒ අතර වේ.
කඳු බෑවුමට නැඹුරු වූ කුරු ශාක
“දැන් නම් හොඳටම පරක්කුයි.. අපි පිටත් වෙමු ද?” කැමැත්තකින් නො වුවද කඳු මුදුනින් සමු ගැනීමට දැන් කල එළැඹ ඇත. ඈත තැන්න අපූරුවට දිස් වන්නේ යැයි තනුර පැවසූ ඉසව්වට දැන් අප ලඟා වී ඇත. ඒ මොහොතේ වලාකුළු ඈත් මෑත් වූයෙන් පහළ තැන්න අපූරුවට දිස් වේ. එහි වෙසෙස් බව වූයේ, තැන්න මැදින් ගලා බසින බෙලිහුල් ඔයේ දිය කඳුරක් හිරු එළියෙන් බැබලීම ය. එය කැමරාවේ සටහන් කර ගැනීමට වටනා දසුනකි. මා ඒ කාරියේ යෙදෙන අතරේ සෙස්සෝ පල්ලම් බැස්සෝ හ. ඉසිඹුවක් නොලබාම අප ගමනේ යෙදුනේ රෑ බෝවීමට මත්තෙන් කඳවුර සමීපයට යා යුතු බැවිනි. කන්දෙන් බැස, ලන්ද ඔස්සේ එන විට අඳුර හාත්පස පැතිර තිබිණි. තැන්නට පිවිසි විට සහන් එළියක් වූයෙන් එය අපේ හිතට සහනයකි. වැහි පොදක් හමා යයි. ඉදිරියේ මහ වැස්සක ලකුණු ඇත. ඊට පෙර කඳවුරු ඉසව්වට පැන ගැනීම අපේ ඒකායන අරමුණ ය. එහෙත් පමා වූවා වැඩි ය. අනෝරා වැස්සක් කඩා හැලුණේ කඳවුරු බිමට කිලෝමීටරයක් හමාරක් තිබිය දී ය. ඒ මදිවාට පාර පේන්නේ ද නැත. කඳවුරු බිමට යන මං පෙත සොයා ගැනීමට ද සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. අයිස් කැට මෙන් දිය බිඳිති සිරුර පුරා වැදෙන්නේ රළ පෙළක් මෙන් හමා යන සුළ‍ඟේ රිද්මයෙනි‍.
පහළ තැන්න ඉහළට පෙනෙන හැටි
 සීතල දැනෙන්නට පටන් ගත්තේ කූඩාරම අසලට පැමිණ නැවතුන විට ය. වැස්ස නවතින සෙයක් නැත. දිය බේරෙන ගතින් යුතු ව කූඩාරමට ගාල් වීමට ද නොහැකිය. පළමුව බඩුබාහිරාදිය තැබූ කූඩාරම තුළට රිංගූ මරේස් සෙස්සන්ගේ අඩුවැඩිය සොයා දුන්නෙන්, තෙත ඇඳුම් උනා දමා ඊළඟට කූඩාරමට රිංගූවේ ජෙහාන් ය. තනුරත් මාත් තවමත් පිටත සිටියේ, යළි පිටතට නො එන සේ කටයුතු සම්පාදනය කොට අහවර කළ යුතු බැවිනි. එහෙත් ඒ සඳහා වැඩි වේලාවක් ගත කළ නොහැක්කේ, සියොළඟ වෙව්ලීමට සීමා නොවී අතැඟිලි අගුළු වැටෙන තරමට සීතල දැඩි වන නිසාවෙනි. අහෝ කුමක් කරම් ද, දෑඟිලි එක්කිරීමට නොහැකි සේ එවා ගල් ගැහී ඇත. අන්තිමට ම කුඩාරමෙන් එළියේ ඉතිරි වූයේ මා පමණි. මම වහා වහා දිව ගොස් වතුරට පැන්නෙමි. සිහි විකලෙන් දැයි අයෙකුට සිතෙනු ඇත. එහෙත් සැබෑව වන්නේ, වැස්සේ තෙමෙනවාට වඩා දියේ ගිලී සිටීම උණුසුම් බව ය. ටික වේලාවකින් මම ද කූඩාරම තුළට රිංගා ගතිමි.
හිමිදිරියේ අවදි වී
හෝර්ටන් තැන්නට එනම ලැබී ඇත්තේ, ඉංගිරිසි ආණ්ඩුකාරවරයකු වූ රොබර්ට් විල්මට් හෝර්ටන් වෙනුවෙනි. එක්දහස් පන්සිය ගණන්වල සිට පරදෙස්සන් ලංකා මුහුදු තීරයේ අරක්ගෙන සියද, 1815 දී ඉංගිරිසින් කන්ද උඩරට ආක්‍රමණය කරන තුරු මේ පෙදෙස් පරදෙස්සන්ගෙන් වසන් වී තිබිණි. උඩරට රජවරුන් විසින් කඳුකර වනාන්තර ආරක්ෂා කැරුණේ, ආක්‍රමණවලින් ගැලවීමට එය මනා පිටිවහලක් වූ බැවිනි. එකල විදෙස් රාජදූතයෙකුට පවා රජුගේ අවසරයකින් තොරව, සමනොළ මුදුනට පවා ළඟා විය නොහැකි විය. කෙසේ වුව ද, ඉංගිරිසින් උඩරට අල්ලා දශකයක් ඉක්ම යෑමට මත්තෙන් නුවරඑළිය පෙදෙස එළිපෙහෙළි කිරීම ඇරඹූයේ, කොළඹ දාහයෙන් මිදී, යුරෝපයේ දී විඳිය හැකි සිසිල් සුවයක් එහි ලැබිය හැකි බැවිණි. ඔවුන් පැතූ සකල සුඛවිහරණය එහි දී ලද හැකි විය. මාරාන්තික මදුරුවන්ගෙන් ගැල වී දර, දිය, පිරි සිසිල් සුවදායක පරිසරයක් පමණක් නොව, විනෝදය පිණිස සතුන් දඩයම් කිරීමට අවස්ථාවක් ද එමගින් ලැබිණි. ඉංගිරිසීන් දෙදෙනකු වූ ලුතිනන් ඇල්බර්ට් වොට්සන් සහ පහළ හමුදා නිලධාරියකු වූ විලියම් ෆිෂර් 1834 දී පිඳුරුතලාගල කඳු මුදුනට නැග්ගේ මේ අතරේ ය. ඔවුනට එහි දී කිලෝමීටර් 20ක් පමණ දුරින් වූ තොටුපොළ කන්දත්, කිරිගල්පොත්තත් අතර සමබිම දක්නට ලැබිණි.  ඔවුහු ඒ වෙත යෑමට ගවේෂණයක් කඩිනමින් සැලසුම් කළෝ, 1834 මාර්තු 28 වැනි දා හෝර්ටන් තැන්නට ළඟාවෙමින් ඒ වෙත පැමිණි පළමු යුරෝපියයන් වූහ.
 එවක පටන් විසිවැනි සියවස වන තෙක් ම ත්‍රාසජනක දඩයම් ක්‍රියාවන්ට හා ගවේෂණවලට කැමැති ටික දෙනකු හැර එතරම් පිරිසක් මෙහි පැමිණියේ  නැත. 1846 දී පැමිණි සැමුවෙල් බේකර් ද එවැනි දඩයක්කරුවෙකි. බේකර්ස් ඇල්ල නම් කොට ඇත්තේ ඔහු සිහිවීම පිණිස ය.
කඳවුරු නිමිනයට හිරු එළිය ගලා එමින්..
නිදන මල්ලක් තුළ ගුලි වී සිටි මා හදිසියේ ම අවදි වූයෙන්, වටින් ගොඩින් එළිය වී ඇති සෙයක් දිටිමි. වැස්සක සේයාවක් හෝ නැත. මම වහා කූඩාරමෙන් එළියට පැමිණියෙමි. තුනී වලා පටලයක් පමණක් අහසේ පැතිරී ඇත. ඒ අතරින් අහසේ තරු එක දෙක දිලි සේ. එක් පසෙකින් අහස එළිය වන්නේ, ඒ නැගෙනහිර විය යුතු ය. බෙලිහුල් ඔය ඉහැත්තෑවේ පිහිටි මේ නිම්නයේ මොහොතින් මොහොත මැවෙන, දිවමය දසුනින් මම මුසපත් වුණෙමි. නිම්නය ඔස්සේ පාවී එන මිහිදුම් පටලය, ජල තලයට ඔබ්බේ වූ පඳුරු රැසත් කඳු වැටියත් වරින් වර වසාලන්නේ සේලයක් පොරවන්නාක් මෙනි. හිරුගේ පළමු රැස් දහර පොළොව සිප ගන්නා විට මැවෙන දසුන වදනින් පැවසිය නොහැකි තරමි. දැන් අද දවසේ සැලසුම සඳහා සූදානම් විය යුතු ය. මම සෙස්සන් අවදි කළෙමි.