හෝර්ටන් තැන්න 2 - හැරමිටියක් ගෙන කිරිගල්පොත්තට




තනුර හඬ ගෑයේ දෙනෙතිය දෙනෙතේ රඳවා ගෙනම ය. පෙනෙන අයුරු ඔහුගේ දෑස යොමු වී ඇත්තේ උස් තුරු මුදුනක් වෙත ය. කලබලයකින් තොරව ඔහු සිටි තැනට කිට්ටු කළෙමි. “මිනී ඔළුවක්! කොහෙද තියෙන්නෙ?.” මම විචාලෙමි. “මේන් මේකෙන් බලන්නකො දැන් නම් හැබැයි මීදුමෙන් වැහීගෙන යන්නෙ ඉක්මන් කරන්න.” දෙනෙතිය දෙනෙතට තබා මම එදෙස බැලුවෙමි. උස් වනස්පතියක අතු බෙදී යන්නේ ඈත සිට බලන විට කිසියම් රූපයක් මැවෙන ආකාරයෙනි. පසුබිමේ ඇති අතු ඉති මීදුමෙන් වැසී ගොසිනි. එවිට එම රටාව පමණෙකි දෑස් මත මැවෙන්නේ. විරූපී මිනිස් මුහුනක සේයාවක් එහි හඳුනාගත හැකි ය. තවත් නිමේෂයකින් එය මුළුමනින්ම වැසී ගියේ ය. පරිසරයේ අපූරු වස්තු, හැඩතල එමට ඇත. ඒවා දුටු විට රටා මැවෙන්නේ අපේ සිත් තුළ ය. කලෙකට ඉහත දී බෝ රුකක් මත බුදු රුවක් මැවුණු පුවතක් තටු නැගී දසත පැතිරුණු අයුරු මට මතක ය. ඒ දැක ගැනීමට මිනිසුන් ගැහැණුන් ඈත ගම් දනව්වලින් පවා වැල නොකැඩී ඇදී ගිය හ. මෙවැනි දෑ අරුමයක් නොවේ.
"මේකෙන් බලන්නකො...."
“ඉක්මන් කරල යමු. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා....” දැඩි මීදුමක් හාත්පස පැතිරී ඇත. ඇතැම් විට මීටර් කිහිපයකට වඩා ඉදිරයට මඟ දිස් නොවන තරමට මීදුම ය. අපි මීදුම අතරින් ගමන් කළෙමු. විටෙක මීදුම පහව ගොස් හිරු කිරණ වැටෙන නමුදු එය වැඩි වෙලාවක් පවතින්නේ නැත. මේ හෝර්ටන් තැන්නේ හැටිය.
 ශ්‍රී ලංකාවේ ඇති කුඩාම ජාතික වනෝද්‍යානය හෝර්ටන් තැන්න ය. එහි වපසරිය වර්ග කිලෝමීටර් තිස් එකකි. එතෙකුදු වුව ජෛවවිවිධත්වය අතින් නම් එය කිසිසේත් ම කුඩා නොවන්නේ, මධ්‍යකඳුකරයේ ලෝක උරුමයේ කොටසක් සේ ද සැලකේ. වන උයන් අතරින් වැඩිම සැරියන් පිරිසක් පැමිණෙන්නේ ද හොර්ටන් තැන්නට ය. මෙහි වසරකට පැමිණෙන දෙස් විදෙස් පිරිස දෙලක්ෂයකටත් අධික ය.
'හැරමිටි පානෙන්' හැරමිටි අරගෙන.. 
 එහෙත් අද නම්, කිරිගල්පොත්ත වන මගේ කිසිවෙකුත් දක්නට නොවේ. කාලගුණයෙන් බලපෑමක් වී ඇති හැඩකි. වැසි සමයේ දී මේ ගමන් මග මදක් දුෂ්කර වන්නේ දණක් එරෙන මඩෙන් එගොඩවීමට තැන් කිහිපයක දී ම සිදුවන  බැවිනි. අපේ ගමන් මග ඇදී යන්නේ මිටියාවතක් ඔස්සේ ය. විසල් තණ පඳුරු මැදින් ගමන් ගන්නා අපි විටෙක උස් ගස් පිරිණු කැලෑ රොදකට ඇතුළු වේ. එවැන්නක් තුළින් වැඩි වේලාවක් ඇවිද යෑමට නොලැබේ. නැවතත් තණ පඳුරු, කුඩා බට පඳුරු පිරි බිමට වැටේ. වන මගේ කිලෝමීටරයක් දෙකක් ගිය තැන දොළ මගකින් එගොඩ වීමට ඇත්තේ ය. මෙතැනට ‘හැරමිටිපාන’ ලෙසින් අන්වර්ථ නාමයක් ද තබා ඇත්තේ, දොළ අයිනේ තණ පළස මත එක පෙළට සිටුවා ඇති හැරමිටි ගොන්න නිසාවෙනි. ඒ තනුරගේ අදහසකි. මෙතැනින් එහා මඩ වල කිහිපයකින් ම එගොඩ වීමට සිදු වේ. එවන් තැනකින් ගොඩවීමට මෙවන් හැරමිටියක් අගනේ ය. මෙහි පැමිණෙන්නෝ මෙතැනින් හැරමිටියක් ගෙන කිරිගල්පොත්ත දක්වා ගොස් නැවත එන ගමනේ දී මෙතැන ම ඇණ තබා යති. මා හැර අපේ නඩයේ අන් තිදෙනා ද හැරමිටිය බැගින් අතට ගත්තෝ ය.
 නැවතත් මීදුම දැඩි වේ. අපේ ගමන් වේගය ද වැඩි කළේ වැස්සට කලින් කඳු මුදුනට නැගගත හැකි වෙතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් වැඩි දුරක් යෑමට පෙර වැස්ස ආයෙන් අපි තුරු ගොමුවක් අස්සට රිංගුවෙමු. දැන් කැමරා ආම්පන්න එළියේ රැගෙන යා නොහැක්කේ වැටෙන පොද වැස්ස ඉදිරියේ දී මහ වැස්සක් වීමට ඉඩ ඇති බැවිනි. ඇසුරුම්වල බහා මලු තුළට සියලුම ආරක්ෂා කටයුතු දෑ දමා ගැනීමෙන් අනතුරුව අපි නැවතත් ගමන් ගතිමු. වනගොමුවක් තුළින් ගොස් එළඹියේ තණ පිරි තැන්නට ය. දැන් අපේ ගමන් මග වැටී ඇත්තේ තැන්නත් වනයත් අද්දරිනි. ඇතැම් තැනෙක මඩ වගුරකින් එගොඩ වීමට දණක් දක්වා මඩේ බැසීමට සිදු වේ. තණ පඳුරක් මුලට පය තබා, එගොඩ පැනීමෙන් මඩේ නොවැටී යා හැකි ය. එහි අවදානම වන්නේ වැරැදී ගියහොත් මඩ නා ගෙන ගොඩ වීමට සිදු වීම ය.
කිරිගල්පොත්ත මුදුනට පෙනෙන අවට කඳු පෙළ
“ඔන්න මෙතැන ඉඳන් මඩපාර නම් ඉවරයි. දැන් ඉතින් කන්ද තමයි...” අපි වම් අත දෙසින් වූ කැලයට ඇතුළු වුනෙමු. ඒ ඔස්සේ ද කඳු පල්ලම් බසිමින් ගමන් කිරීමට ඇත්තේ ය. දොළපාරක් අද්දර මහත් කුරුළු කූජනයකි. අපි නිසොල්මනේ නතර වී ඒ කුරුළු නද ට කන් දී සිටියෙමු. විවිධ කුරුල්ලන්ගේ නාද එකවර ඇසෙන්නේ, ඒ පිළිබද වෙසෙස් දැනුමක් ඇත්තෙකුට වුව මේ අසුවල් කුරුල්ලාගේ නාදය යැයි නිශ්චිතව පැවසිය නොහැකි පරිද්දෙනි. ජෙහාන් සිය දෙනෙතිය ගෙන කුරුල්ලන් දැක හඳුනා ගැනීමට සැරසේ. ඊට අකුල් හෙලන්නේ තනුර ය. “අපි ඉක්මනට ගියොත් නරක ද? දිගටම වැස්ස වැස්සොත් අපිට අමාරු වේවි.” ඔහුගේ අදහස නිවැරැදි ය. අපි සැවොම සුපුරුදු වේගයෙන් ඉදිරියට ඇදුනෙමු.
“මෙතැන තමයි බොන්න හොඳ වතුර හමුවෙන අන්තිම තැන. මෙතැනින් වතුර පුරෝගෙන යමු.” මේ කන්ද නැගීමෙන් පසු නැවතත් පල්ලමක් බැසීමට සිදුවේ. ඉන් ඔබ්බේ ඇත්තේ කිරිගල්පොත්ත කඳු මුදුනය. කඳු දෙක මැදින් කුඩා දොළ මගක් වැටී ඇතත් එතැනින් බීමට සුදුසු වතුර පුරවා ගත නොහැක්කේ මිනිසුන්ගේත් සතුන්ගේත් නිරන්තර පා පහසින් එහි දිය බොර වී ඇති බැවිනි.
මෙතෙක් දුරක් තැන්නේ ඇවිද ඒම එතරම් ගැහැටක් නොවුවත්, එක එල්ලේ කන්දේ ඉහළ නැගීම දැඩි වෙහෙස ගෙන දෙන්නකි. “අපි තව ටිකක් උඩට නැගලම ‍මොනව හරි බඩට දා ගමු” දැන් මහන්සියට වඩා බඩගිනි දැනේ. එහෙත් තවත් මදක් ඉවසිය යුතු ය.
කඳු මුදු‍නේ ඉසිඹු ලබමින්..
“මෙන්න මෙතැනට ඈත තැන්න ලස්සනට පේනවා.” මීට සතියකට දෙකකට පෙර මෙහි පැමිණි තනුර පවසන්නේ ය. එහෙත් මට නම් කිසිවක් නො පෙනේ. දැන් ඒ සියල්ල මීදුමෙන් වැසී ගොසිනි. “සමහර විට අපි පහළ බහින වෙලාවට පෑදිලා තියෙයි” මම කීවෙමි. තෙත බරිත තුරුපත් ඇඟ දැවටීමෙන්, ඇඟළුම්වලින් දිය බේරේ. එය ගණනකට නො ගෙන දිගමට කඳු මුදුන බලා පියමං කළෙමු.
“හුරේ... අපි දැන් ඇවිත් ඉන්නේ දෙවැනි මුදුනට..” ඉදිරයෙන් ගිය තනුර උද්දාමයෙන් පවසන්නේ, මම ද ලහි ලහි යේ එදෙසට ගියේ, හති හලමිනි. කන්දේ එක් මුහුණතකට අප පැමිණ තිබේ. සියල්ලෝම බරපොදි ගලවා දමා එතැන වූ ගල් තලය මත ගිමන් නිවීමට සැරසෙති.
‘බීප් බීප්’ දුරකථනවලට සංඥා ලැබේ. “ආ පොඩ්ඩක් ඉන්න මම ගෙදරට කෝල් එකක් ගන්නම්” මරේස් පවසන්නී, සිය දුරකථනය කනේ රුවා ගත්තා ය. “අපි දැං ඉන්නෙ කිරිගල්පොත්තෙ.” “මොකක්! හෝර්ටන් ප්ලේන්ස් නේද යනවා කිව්වෙ. දැන් කොහෙද ගියෙ?” අන් අන්තයෙන් දෝස් මුරයකි. කිරිගල්පොත්ත කඳුමුදුන ඇත්තේ, හොර්ටන් තැන්නේ ම යැයි පහදා දීමට ඇය ගන්නා වෙහෙස දැක සැමගේ මුවගට නැගුනේ සිනහවකි.
 කෙමෙන් කෙමෙන් මිහිදුම පහව යන්නේ, හාත්පස නිම්නයේ චමත්කාරයෙන් අප මුසපත් කරවමිනි. කෑම පසෙක ලූ ජෙහාන් ‘සෙල්ෆි’ සෙල්ලමේ ය. “ඒයි.... බලාගෙන.... හපොයි” තනුරගේ කෑ මොරදීමෙන් මා සලිත විණි.