දුම්බර 11 - දුම්බර වන මැද යමහලක්...?





ලාම්පුවෙන් පෙරී එන මලානික එළිය, හුදෙකලා හැඟුම තව තවත් දැඩි කරන්නකි. වරින් වර වේගයෙන් හමා යන සුළං පොදක්, පෑලදොරින් ගෙට රිංගා ගනී. ලාම්පුවේ දැල්ල එක් අතකට නැවී යයි. නැවත කෙලින් වී ඒ අතටත් මේ අතටත් නැටවී යන්නේ, ඊ ළඟ නිමේෂයේ දී එය නිවී යන්නට බව ගැඟී ගියෙන්, සුළඟ නවතාලනු පිණිස දොර පියන්පත වසා දැමුවෙමි. එහි ‍ඝෝෂාව පමණක් සිහින් මිමිණිල්ලක් සේ ගෙතුළට ඇසේ. ‍ගෙතුළ සරබරය ඇසෙන්නේ දැන් ය. මෙහි වෙසෙන්නේ මා පමණක් නො වන හැඩකි. දිගු කලක් තිස්සේ මෙය මීයන්ගේ ලැගුම් හලක් වන්නට ඇත. දල්වාලූ ලාම්පුව නොවන්නට ‍උන් මාගේ ඉහේ කරේ පවා සක්මන් කරන්නට ඉඩ තිබිණි. එබැවින් එය එළිවන තුරු දල්වාලිය යුතු ය. වහලයේ රඳවා තිබූ මැස්සෙන්, පැදුරක් ඩැහැගත් මා එය බිම එළා සැතපීමට පෙර අතුපතු ගා පිරිසිදු කර ගන්නට ද අමතක නොකළේ, නෙක නෙක කුඩා සතුන් ඒ පාළු ගෙබිමේ සැම තැන සක්මන් කරමින් සිටි නිසා ය.
යමහලක් මෙන් පෙනෙන කළුපහන කඳු මුදුන
 සුළඟ සමග පොද වැස්සක් ද හමා යනු ඇසේ. මගේ සුමිතුරන් දෙදෙනා දැන් කුමක් කරනු ඇත්දැයි නිශ්චයක් මා සතු නොවේ. කෙසේ වතුදු ඔවුන් දැන් මරණයෙන් ගැලවී ඇත. මහ වනයේ රැය පහන් කිරීමට අවැසි අඩුවැඩිය ද ඔවුන් සතු වූයෙන්, කෙසේ හෝ පිළිවෙලක් සකසා ගන්නට ඇති නොවේ දැයි මට සිතුණි. ජීවිතය පුදුමාකාරය. පෙර දා රැයේ දිවිය අනියත මොහොතක පසු වූ මා හුදකලාවේ වුව ද මද සුවයකිනි දැන් පසුවන්නේ. එය කෙතරම් කලෙකට දැයි නිච්චියක් නැත්තේ, එළැඹෙන ඕනෑම මොහොතක නොසිතූ නොපැතූ දෙයක් වීමට ඉඩ ඇති නිසා ය. විසකුරු සපුන් ගැන මගේ මතකයට නැඟුනේ ම නැත. කිසිවක් ගැන නොසිතා මම නින්දට ගියෙමි.
හිමිදිරි දසුන
සුළුදිය බෑමට නොවේ නම්, එතරම් හිමිදිරියේ මා අවදි නොවනු ඇත. දොරට බට ඇසිල්ලේ, අහස් කුස දෙස නෙත් යොමු වූයේ නිතැතිනි. මහ වනස්පති අතුපතරින් විදුලිබුබුලක් මෙන් දිස්වන්නේ?.. නිසැකව ම පහන් තරුව ය. එවැනි දීප්තිමත් අන් වස්තුවක් රෑ අහසේ නොමැති බව මම දනිමි. සිකුරු ග්‍රහයා මෙතරම් දීප්තියෙන් දිස් වන්නේ දුහුවිල්ලෙන් තොර අහසේ පැහැදිලි බව නිසාත්, ආලෝක දූෂණයක් නැති නිසාත් ය. අහස් කුසේ වලාවෝ පාවී යති. ඒ වලාතුර තැනින් තැන අහස පැහැදිලි ය. එවැනි තැනක තරු කැට එබිකම් කරති. සීතල ගණනකට නොගෙන මම අහස දෙස නෙත් යොමා සිටියෙමි. වලා පටලය ඈත් මෑත් වෙත්දී තරු රටා මතු වේ. හොඳින් ම දිස් වන්නේ ‘ඔරයන්’ තරු රැස ය. ඒ අහස මුදුනේ ය. වෘෂභ, මහබල්ලා ආදී අනෙකුත් තරු රටා ද වරින් වර මතුව සැඟ වේ. වෙල් පිටියට ගියහොත් අහස් කුස බාධාවකින් තොරව දැකියැකි වුවත්, මෙවේලේ එහි යෑම අවදානමකි.
 වටින් ගොඩින් එළි වෙත් දී මම වෙල්පිටිය දෙසට පියමැන්නේ තරු බැලීමට නොව හිරු උදාවේ චමත්කාරය විඳ ගැනීමට ය. වනය තුළ තවමත් අඳුර ය. වන සතුන් ගොම්මන් අඳුරේ මෙන්ම හිමිදිරියේ ද සැරිසරති. එබැවින් මා පියවරක් පියවරක් පාසා සෝදිසියෙන් පසු විය. අහස් කුස එළි වී ඇතත් හිරු තවමත් තුමුල කඳු පෙළට පිටුපසිනි. වෑහෙන රන්කිරණ වලා පෙළ තුළින් පෙරී එන්නේ, පිටුපසින් පිහිටි කඳු පෙළ රන්පැහැයෙන් නහවමිනි.
පිටියේ හමු වූ කෘමියෙක්
යමහල් කන්දකින් දුම්රොටු නැගෙන්නේ යම් සේද, එවන් දසුනකි මගේ දෑස් ඉදිරියේ මැවෙන්නේ. දුම්රොටු ඉහළ නැගෙන්නේ කිරිගොටුවක් මුනින් නැමුවාක් වැනි හැඩයිකින් දිස්වන කළුපහන කඳු මුදුනෙනි. මම දෑස් දල්වා බලා සිටියෙමි. ඇසිපිය නො හෙළා බලා සිටින්නට තරම් වූ සොබා රැඟුමකි එය. කඳු මුහුනට අනෙක් පසින් පාවී එන වළා පටලය කන්දේ වක්‍ර හැඩය ඔස්සේ ඉහළ නැග කඳු තුඩගින් අහසට විදෙන්නේ, යමහලකින් දුම් පිට වන්නා සේ ය. මම පියගැට පෙළක් වන් ලියැදි පෙළ ඔස්සේ පහළට ගියෙමි. වෙළ පහළ කෑලෑ අද්දරට වී මා දෙස නෙත් යොමා බලා සිටින්නේ පෙර දා මා දැක පළා ගිය මී ගව රැළ ය. පිනි විසුළ නැවුම් තණ පළස, අමුත්තා පරයා උන්ගේ අවධානය දිනා ඇති සෙයකි. උන් නැවත කරබාගෙන තණ උලා කන්නට වූහ. මෙකී නොකී දසුන් කැමරාවේ සටහන් වෙත් දී මගේ අවධානය යොමු වූයේ තණ පළසෙන් මතුවන කුඩා සතුනට ය. ගෙම්බන්, තණකොළ පෙත්තන්, කුඩා සමණළයින්, කුරුමිණියන් ඈ බොහෝ සතුන් ඒ අතර වේ. කුරුළු කූජනය ඇසෙන්නේ අසල වනයේ ය. මා එදෙසට නොගියෙමි.
තණ පතක් මත සමනළයෙක්
හිරු නැගීමෙන් පසු නැවත පාළු නිවෙස වෙත පැමිණියේ ඉතිරි වී ඇති එකම බත්පත බුදීම සඳහා ය. තවමත් කුසගිනි නොදැණුන ද, හැකි විගසින් එය අහවර කළ යුත්තේ, හිරු නැගී පරිසරය උණුසුම් වන විට ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ද උත්තේජනය වී එය අපතේ යා හැකි බැවිනි. දෙපා දෙපසට දමා ලී කඳක් මත හිඳගත් මා බත් මුල දිගහැර ගත්තෙමි. පෙර දා හිමිදිරියේ පිසූවක් වුව ද සෙවල ගතියක් දැනෙන්නේ අලතෙල් බැදුමේ පමණි. එය පසෙක ලා ඉතිරිය ගිල දැමුවෙමි.
දැන් හැකි විගසින් මිතුරන් සොයා යා යුතු ය. පළමුව කළ යුත්තේ මෙන්ඩිස් සම්බන්ධ කර ගැනීම ය. කැමරාවත් දුරකථනයත් ගෙන මම දියකඩිත්ත අසල ගල්කුළ මතට නැගගතිමි. පෙර දා මෙතැනට සංඥා ලැබුණ ද දැන් කිසිදු සංඥාවක් නොලැබේ. කුමක් කරම් ද? උභතෝකෝටිකයකි. නිසි තොරතුරක් නොලැබ, වනයේ අහඹු ලෙස මිතුරන් සොයා යෑම නුණුවන ය. මෙතැන තැග්ගැහීමෙන් ඇති වන සෙතක් ද නැත. හිරු නැගී පරිසරය උණුසුම් වන්නා සේම මගේ හදවත ද උණුසුම් වනු දැනෙන්නේ දෙගිඩියාව ද වැඩිවන බැවිනි.
අම්බලන්පාළුවා
කටුස්සා
ඇතුළාන්තයේ නොසන්සුන් බව, පිටත සන්සුන් බවෙන් නිවාලනු පිණිස මම පිරිසරයට කන් දුනිමි. කුඩා ගල්කුළ මත මා සිටිනුයේ නිසොල්මනේ ය. ‘සර  සර’ හඬින් අසල කොළ රොඩු මත කටුස්සකු ඇදී යයි. මා ගල් කුළින් බිමට බට කම්පනය දිය දහර අසල ගල්තලයේ ලැග සිටි ගෙඹි රොත්තට මහ හඬක් වී ඇත. උන් සිය ගණනක් එකා පිට එකා දියට පැන්නේ ඊට වඩා හඬක් නගමිනි. පිරිසක් ජල තලය මත ය. අනෙකුන් දිය යටට ම පිහිනා ගොසිනි. අඩියක්වත් නොගැඹුරු ගල්තලය මත දියකඩිත්තට මා හිස නැඹුරු කළේ එහි වෙසෙන සතුන් ගැන විපරමට ය. ගෙඹි කලබලයෙන් කැළැඹුණු ජල තලය කෙමෙන් කෙම නිසල වන විට ඉන් මගේ සේයාව සෙලවි සෙලවී මතු වනු පෙනිණි. විසුළු රූපයක් සේය එය දිස් වූයේ. තනුරගේත් රශ්මිගේත් මුහුණු ඊට පිටුපසින් මට මැවී පෙනෙන්නට විය. ඒ අපැහැදිලි ඡායාවෙන් කුමක් පවසන්නේ දැයි මට නො දැනුණි. කිසිවෙකුගේ පියවර හඬ ඇසේ. මම තිගැස්සී හැරී බැලීමි.  
දුරකථන සංඥා ලැබුණේ දියකඩිත්ත අසල තැනකට ය