දුම්බර 14 - මත් ලොල්ලන්ට සොබා සිරි කුමට?



“ගෙරෙව්වෙ කවුද? රශ්මි ද” මම විහිළුවක් කළෙමි. සිනාව මදකට නවතාලූ තනුර මුහුනට බැරෑරුම් විලාසයක් ආරූඩ කර ගත්තේ ය. “නින්දගියාම රශ්මිත් ගොරවනව තමයි. ඒත් මේ ගෙරෙව්වෙ රශ්මි නොවෙයි. දිවිය. ඌ අපේ ටෙන්ට් එක වටේ කැරකෙනවා. මට හොඳට දැනෙනවා.”
වැද්දාපිනි ඇල්ල
“බයක් දැනුනෙ නැද්ද” මම විමසුවෙමි.
“බය නො දැනුණා නොවෙයි. ඒත් මෙන්ඩිස් අයියා කලින්ම අපිට මොකක් ද කරන්න ඕන කියල උපදෙස් දීල තිබුණ නිසා අපි නිසොල්මනේ හිටියා. එයා කිව්වෙ දිවියා කොයි විදියකින්වත් ටෙන්ට් එක ඇතුළට පනින්නෙ නෑ කියලයි. ඒත් ටෙන්ට් එක ඉරාගෙන එන්න හැදුවොත් ‍පොලු ටිකත් ළඟ තියාගෙන පුළුවන් තරම් හයියෙන් කෑ ගහන්න කීවා.”
“ඉතිං මොකද කළේ” මගේ කුතුහලය අවසන් නැත.
“අපි මොකුත් කළේ නැහැ. රශ්මි නම් හොඳටම නින්දෙ හිටියෙ. මම සද්ද නැතුව ඇතුළට වෙලා හිටියා. දිවියත් අපට කිසි හානියක් කළේ නෑ. ටෙන්ට් එකට පිටින් ඌ කැරකි කැරකි ඉඳල එළිවෙන කොට යන්න ගිහිල්ල. සද්දෙ නැතිවෙලා ටික වෙලාවක් යන්න ඇරල මම එළියට ඇවිත් බැලුවා. දැන් හොඳට එළිය වැටිල. මම රශ්මිවත් ඇහැරෙව්වා...ආ.. ඊටපස්සෙ තමයි මතක් වුණේ ඊයෙ රෑට කෑවෙ නෑ නේද කියල. කෑම ටින් එකක් කඩාගෙන ඒක ඉවරවෙනකං දෙන්නත් එක්ක කාල වතුර බිව්වා.” 
අප සොයා පැමිණි සරත් හා සගයා
“වතුර බොන්න ආයෙ දොළට ගියා ද?
“නෑ නෑ.. ඊයෙ රෑ පුරවන් ආපු වතුර බෝතලයක් තිබුණා. අපිට ඕන වුණේ එතැනින් ඉක්මනට චුත වෙන්න. ටෙන්ට් එකත් හරිහමන් විදියට අකුල ගත්තෙ නෑ. එක කෑල්ලක් මගේ බෑග් එකට ඔබා ගත්තා. අනිත් කෑලි ටික ටෙන්ට් බෑග් එකට ඔබාගෙන අපි ඉක්මනට පිටත් වුණා.”
“ඒ වෙලාවෙ පාර හරියට හොයා ගත්ත ද?”
“ඔව්නෙ.. ටෙන්ට් එක ගලෝල එතැනින් පිටත් වෙන කොටම දොළ අයිනෙ තිබුණ ලොකු කළුගලේ රතුපාටින් ලොකු ඊතලයක් ඇඳල තියෙනවා. මේක අපි ඊයෙ දැක්කෙ නැත්තෙ ඇයි කියල අපිටම පුදුමයි. ඒකෙ හිස තිබුණෙ දූවිලි ඇල්ල දිහාවට. ඉතිං අපි යන්න ඕන අනෙක් පැත්තටනෙ. තව ඉස්සරහට යන කොට දිගටම සලකුණු හමුවෙන්න ගත්ත. ඔන්න දැන් අපිට කන්දත් හමුවෙලා කන්ද දිගේ යන්නෙ. ටික වෙලාවකින් අතහැර දාපු කුඹුරු කෑල්ල තියෙන තැනට එන්න පුළුවන් වුණා. දැන් නම් පාර ‍හොඳට මතකයි. එතැන ටිකක් ගිමං හැරල අපි හෙමින් හෙමින් උඩට ආව.”
“හ්ම්ම්..” මට සුසුමක් පිට වූයේ ‘ඔයින් ගියා මදැයි’ කියන්නාක් මෙනි. එතැන් සිට අඩහෝරාවක් වැනි කාලයකිනි ඔවුන් මට හමු වන්නට ඇත්තේ. තනුර හා රශ්මිගේ වන වික්‍රමය අසමින් සෑහෙන කාලයක් වල්පොළමුල්ල තණපිටියේ ගත කෙරිණි. දැන් නැවතත් ගමන් ඇරඹිය යුතු ය. නැවත බර පොදි පිටමත පැටවිණි. පිටියෙන් පසු මග දිවෙන්නේ කන්දකට ය. ඒ ඔස්සේ අපට වැඩිදුරක් යෑමට ලැබුණේ නැත. මිනිස් කටහඬක් ඇසේ. අපි නැවතී බලා සිටියෙමු. දෙදෙනෙකු අප දෙසට පැමිණේ. ඉදිරියෙන් පැමිණෙන මැදිවියේ මිනිසා අත කිසිවක් දැමූ පොලිතීන් මල්ලකි. සරම කැහැපොට ගසාගෙන, බුලත්විටකුත් සපමින් පැමිණි ඔහු අප දෙස බලා විමසූයේ, “මහත්තයල ද කැලේ අතරමං වුණේ.” යනුවෙනි. පිටුපසින් පැමිණි හීන්දෑරි තරුණයා කිසිත් නොකියා විමසිල්ලෙන් පසු විය.
පොළොවට සමීපව සිටින්නේ දුඹුරු පැහැ සමනළුන් ය
“මෙන්ඩිස් මහත්තය ද එන්න කිව්වෙ” මම ඇසුවෙමි. “නෑ. ජගත් මහත්තයා” එනම මට හුරුපුරුදු ය. මම මොහොතක් කල්පනා කළෙමි. “ජගත් කණහැරආරච්චි ද” මම විමසීමි. “ඔව් ඔව්... එයා අපේ දුම්බර සුරකින්නෝ සංවිධානෙ උපදේශකයෙක්නෙ” හැබෑ නේන්නම්. මට ඒ ගැන කල්පනාවට ආවේ දැන් ය. මේ කියන්නේ පරිසර මාධ්‍යවේදී ජගත් කණහැරආරච්චි ගැන ය. මේ ඉසව්වට දැන් දුරකථන සංඥා ඇති සේ ය. ගැමියා දුරථනයෙන් කිසිවකු අමතා එය මා අත පත් කළේ ය. “අයියෝ උඹල යන කොට පොඩ්ඩක් කියල යන්න එපෑයැ...” ඒ නෝක්කාඩුව ජගාගෙනි. මුව නොසෑහෙන සේ ඔහුට ස්තුති කළ මම දුරකථනය විසන්දි කළෙමි.
අප කැටුව යෑමට පැමිණි ගැමියා සරත් කුමාර ය. ඔහු පැමිණ සිටියේ සිය ඥාති තරුණයෙකු ද සමඟිනි. ඔවුන් අපට බත්මුල් තුනක් ද බැඳගෙන පැමිණ තිබිණි. “මහත්තයල යද්දි කොළ අත්තක්කත් කඩල එල්ලුවෙ නැද්ද.” මා ගත් කටටම කීවේ නෑ කියා ය. එය සරත්ට එතරම් රිස්සුවේ නැති සේ ය. “එහෙම කළා නම් ඔය කරදර මොකුත් වෙන්නෙ නෑනෙ.” හෙතෙම පවසන්නේ අප කිසියම් වරදක් කර ඇති නියාවෙනි. එය ගණනකට නො ගෙන මා විමසුවේ ‘ඔය කොළ අතු එල්ලන්නේ කාට ද?’ යනුවෙනි. “අයියනායක දෙයියන්ට.” පෙර දිනක දී මහ රෑ මා රඹුක්ඔලුවේ සිට තෙසක රියෙන් ගමන් කරද්දී, එහි රියැදුරු කොලුගැටයා ද මග අයිනේ රිය නවතා කොළ අත්තක් කඩා එල්ලූ අයුරු මට සිහි විණි. “අපි ඉතිං කැලේ ගියාට කැලේට කිසිම හානියක් වැරැද්දක් කරන්නෙ නෑනෙ” මම කීවෙමි. “ඒ වුණාට ඕනෑම කෙනෙක් කැලේ යනව නම් කොළ අත්තක් එල්ලනව ම තමයි.” ඔහු පසුබාන්නට සූදානම් නැත. වන සතුන් දඩයම් කිරීමට කැලෑ වදින්නන් පවා කොළ අත්තක් එල්ලා යන්නේ මේ න්‍යායෙනි.
නෙක වර්ණ සමනළුන් දැකිය හැක්කේ වඩා ඉහළිනි
දැන් අප ගම කිට්ටුවට ම සේන්දු වී තිබේ. ගැමියන් දෙදෙනා හා රශ්මි පය ඉක්මන් කොට ගමන් කළ හ. මාත් තනුරත් මදක් සුනංගු වී පා නැගුවේ, තනුරගේ පාදයේ ආබාධය නිසාම නොවේ, අවට විපරමින් සැහැල්ලුවෙන් යෑමට ය. සරත් අපව ඇටන්වල නිවෙසකට කැටුව ගියෙන්, එහි විසූ ආත්තම්මා අපට තේ සාදා පිළිගැන්වූවා ය. තේ බොමින් අප සෑහෙන වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියෙමු. අනතුරුව සරත් දුන් බත්මුල් තුනත් රැගෙන අප පල්ලම් බැස්සේ, වැද්දාපිණි ඇල්ලට ගොස් හොඳින් නාකියාගෙන එය බුදීම සඳහා ය.
 ඒ අසලට සේන්දුවන විට නෙත ගැටුණේ ඉහිං කනින් දහදිය පෙරමින් මොනවාදෝ හිසමතින් ගෙන ග‍ඟෙන් මෙගොඩවන ගැහැනුන් මිනිසුන් පිරිසකි. ගැහැනුන් හිසින් ද, පිරිමින් කරින් ද ගෙන එන්නේ කැබැලි කළ කළුගල් ය. ඒ ඇටන්වලට යන පාර සකසා ගැනීම සඳහා ය. පාර සකසා ගත්තද ගඟ හරහා පාලමක් නම් නැත. එතැන ඉවුරේ පසෙක දක්නට ඇත්තේ ඉදිවෙමින් පවතින ලැගුම්හලක සලකුණු ය.
ගං ඉවුරේ ඉදිවෙන ලැගුම් හලක්
“මහත්තයො මෙතැන මේ ගඟ අයිනෙ හෝටලයක් හදන්නයි යන්නෙ. ගමේ මිනිස්සු මේකට විරුද්ධයි. පත්තරේටවත් ලියල මේක නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්.” ගැමියෙකු අප හා පැවසී ය.
මේ ඉදිකිරීමට ගං ඉවුරේ සිට අඩි විස්සක්කත් නැති තරම් ය. එහි ඉදිකිරීම් කිසියම් හේතුවක් නිසා අතරමග නවතා දමා ඇති සැටියෙකි.
ඒ වන විට ගං දියේ බොහෝ පිරිසක් දිය නාමින් සිටි බැවින් දිය පිරි තැනක් සොයමින් අපි උඩුගං දෙසට ගියෙමු.
දියා නා ගෙන යන ගැමි ලියන්
දින ගණනක් තිස්සේ ඇඟ තැවරුණු මඩ කුණු ආදිය සෝදා හැරීම එතරම් කාරියක් නොවුණත්, එල්ලිගත් කිණිතුල්ලන් ගලවා දැමීම නම් මහත් දුෂ්කර විය. සෑහෙන වේලාවක් ඒ සඳහා මිඩංගු කිරීමට සිදු වූයේ, උන්ගේ ආදීනව මීට පෙර අත්දැක ඇති නිසාවෙනි.
 හිතේ හැටියට නා ගත් අපි කුමාරගේ බත්මුල් ලිහා කෑවෙමු. එහි වූයේ කැකුළු හාලේ බතුත් සම්බෝලත් පමණි. එතෙකුදු එය අපට දිව බොජුනක් ම විය.
ඉන්පසු අප ගලින් ගලට පනිමින් පහළට ගියේ වැද්දාපිණි ඇල්ල දෙසට ය. ගල් තලාවේ තැන තැන මත්ලෝලීහු පිරිසකි. මත්වතුරෙන් සැනහීමට මෙවන් සොඳුරු තැන්වලට ම ගාටන්නේ කුමක් නිසා දැයි ගැටලුවකි. සිහිවිකල් වූවෙකුට සොබා සිරි විඳීමේ සංයමයක් තිබිය නොහේ. බෝතල කුඩු කර දමමින් කසල විසුරුවමින් කන තැන කැත කරනා මොවුනනට මෙවන් තැනක දී දැනෙන උත්තේජය කුමක් දැයි විමසිය යුත්තකි.
අපගේ මොටෝ රිය නවතා ඇත්තේ පිටවල ය. එතැන දක්වා පයින් යෑමට මැලි වූයෙන්, අපි තෙසක රියක් ගෙන්වා ගතිමු. කුටු කුටුවේ වකුටුවෙමින් දුම්බර වන පෙතින් අප සමු ගත්තේ, සොඳුරු, බිහිසුණු අත්දැකීම් පොදියක් ද සමගිනි.
දූවිලි ඇල්ල ඇත්තේ මානිගල හා ඉන් ඔබ්බේ පෙනෙන කළුපහන කඳු වැටිය අතර නිම්නයේ ය