දුම්බර 13 - චීස් කන්න උෟර ඇවිත් ඌර කන්න කොටිය ඇවිත්!



වල්පොළමුල්ලෙ තණපිටියට ඉහළින් මීදුම් තීරයක් පැතිරේ. පිටිය වට කොට තැනූ පවුරක් මෙන් දිස් වන කඳු පෙළ ඒ මීදුම් පටලයෙන් වැසී යන්නට වැඩි වෙලාවක් ගත වන්නේ නැත. මීදුම ඈත් මෑත් වී කඳු මුදුන් එකිනෙක මතුවෙන විට මැවෙන දසුන මනරම් ය. නෙතින් ඒ සොඳුරු දසුන විඳ ගත්තත ද මගේ දෙසවන යොමුව තිබුණෙ තනුරගේ ලොමුඩැහැගැන්වෙන කතාව දෙසට ය.
වල්පොළමුල්ල ඉහළ අහස
 “අතු කැඩෙන සද්ද සැරින් සැරේ ඇහෙනවා. දැන් ඉතින් එළිවෙනකම් ඇහැරල ඉන්න වෙනවනෙ. මම වෙලාව බලන්න ඕන නිසා ෆෝන් එක ඔන් කළා...වෙලාව දෙකහමාරයි...” තනුර අනවරථ කතාවේ ය.
  නිකං වෙලාව බැලුවම ඔලුව අවුල් වෙනව විතරයි රශ්මිගෙන් දෝස් මුරයක්. දැන් ඇහැරන් ඉන්න විදියකුත් නෑ. නිදිමත බේරෙනවා. ඔන්න එකපාරට ම ගැස්සිලා ඇහැරුණා කියන්නකො. ඒ කියන්නෙ දන්නෙම නැතුව නින්ද ගිහිල්ල. ඇගේ දවටල තිබුණු පටිය නොවෙන්න ගහ පල්ලෙ තමයි. ඒත් එක්කම රශ්මිත් ඇහැරුණා. දැන් ඉතිං ආයෙත් නිදියන්න නම් බෑ. නොනිදා ඉන්න මොකක් හරි උප්පරවැට්ටියක් දාගන්න ඕන. රශ්මි මතක් කළේ හරි අපූරු යෝජනාවක්. “නිදිමත නැති වෙන්න පරණ කෙල්ලො ගැනවත් කියපං” ඒක මරු අදහස. මං කතාව පටන් ගත්තා. ඒව ඉතිං පත්තරේ දාන්න බෑනෙ. මේ ඔක්කොම අහං ඉඳල රශ්මි කියපි “මම නම් ඉතිං යෝජනාවක් තමයි බලාගෙන ඉන්නෙ”. ඒක කිව්වෙ කවදාවත් නැති විදියට හීනියට. ඒත් ඒ කතාවෙ දුකකට වැඩිය තිබුණෙ බලාපොරොත්තුවක්.
දූවිලි ඇල්ල හා අවට වනය ඈතට පෙනෙන අයුරු
 ඔන්න එතකොටම ගහ යටින් ආයෙත් සද්දයක් ඇහෙනවා. සතෙක් ගිරිය යටින් කෑගහන සද්දයක්! මේ මෙතැනම පහළ. අපි දෙන්න හොඳටෝම බය වුණා. සද්දෙ විදියට නම් කොටිය සතෙක් එළාගත්ත වගේ. “හත්තිලව්වයි. අපේ චීස් කෑලි ටික බිමට වැටුණෙ මෙතැන නේද”. ඒක කන්න මොකෙක් හරි එන්න ඇති. ඌරෙක් වෙන්න ඇති. මොකා වුණත් ඌ කෑගහගෙන මැරුණ. ටික වෙලාවක් ගියා. දැන් ලොකු සතෙක් එහා මෙහා ඇවිදිනවා. තිත්ත කළුවරයි. කිසි දෙයක් පේන්නෙ නෑ, සද්දෙ විතරයි. එකත් එකටම කොටිය ඌරෙකුට පනින්න ඇති.
 ඔන්න දැන් එළිය වැටීගෙන එනවා. එතකොට වෙලාව පහමාරට විතර ඇති. ඒ වෙන කොට කොටිය යන්න ගිහිං‍. “කොටිය කාපු කුණ අහල පහළ ඇති. අපි පොඩ්ඩක් බලමු ද?” රශ්මිගෙ අදහසට මම කැමති වුණේ නෑ. “අලිය ආයෙත් ආවොත්” මම කිව්වම රශ්මි අදහස වෙනස් කළා. එයා පහළට බැහැල කිරි පැකට් එකක් අරන් ආව. ඒත් මට පහළට බැහැගන්න බෑ. රශ්මිගෙ  උදව්වෙන් ගහ ගාව තිබ්බ ගල උඩට අමාරුවෙන් බැහැ ගත්තා. රශ්මි ගිහිං සපත්තු දෙක අහුලං එනකං මම කළේ මලුවල තිබුණ බඩු හරියට අඩුක්කර ගන්න එක.
රශ්මි හා තනුර කතාව පවසමින්...
අපි ඇල්ල ගාවට යමු ද මම කිව්වා. අයියා කොහොමත් ඇල්ල ගාවට ඇවිල්ල නෑ. ඒ නිසා අපි ඉස්සරහට යමු. අයියව සමහර විට ඉස්සරහදි හමු වෙයි. එහෙම නැත්තන් ගමට ගිහිං කවුරු හරි එක්කරගෙන එමුකියල රශ්මි කිව්වා‍.
 අපි දැන් හිමිං සීරුවෙ ඉස්සරහට එනවා. ඒක පැහැදිලි පාරක්!. ඒත් ලංවෙලා බැලුවම දැක්කෙ ඒකෙ අලි බෙටි පිරිල. අලිය ගිය පාරක්. ඉතිං ඒ පාරෙන් යන්න බෑනෙ. අපි කටු පඳුරු අතරින්ම ඉස්සරහට යං කියල තීරණය කළාට ඒ විදියට පාර හොයා ගන්න බෑ. හැමතැනම සත්තු ගිය පාරවල්. මම කිවුවා අපි කන්දෙ හැඩයට අනුව, යමු කියල. එහෙම හිතාගෙන අපි කන්දෙ උඩට යන්න ගත්ත. එක තැනක අලිය හරහට තලාගෙන ගිහිල්ල. මෙකෙ තව ගියොත් අපි දෙන්නව උස්සල ඌ පොළොවෙ ගහයිරශ්මි කිව්ව.
ඒ නිසා අපි යන පැත්ත වෙනස් කළා. අපිට ඈත දිය දහරාවක් වගේ පේනවා. ඒක ගඟ නම් ඒ දිගේ යමු කියල රශ්මි කිව්වා.
ඒ වෙන කොට ඔන්න ෆොන් එකට සිග්නල් ආව. මගේ නොවේ උඹේ ‍ ෆෝන් එකරශ්මි කිව්වා. මම බැලුවම ඔයාගෙන් මැසේජ් එකක්. එක පැත්තකින් ඒක ලොකු සතුටක්! ඒත් අනෙක් පැත්තෙන් ලොකු බයක් දැනෙන්න ගත්ත. මොකද ඔයාව කැලේ දී හමුවෙයි කියලයි අපි හිතාගෙන හිටියෙ. රශ්මි කිව්ව ඉක්මනට අපේ තත්ත්වෙ මොකක්ද කියල මැසේජ් කරන්න කියල. පණිවිඩේ ගිය නිසා කතා කරන්නත් පුළුවන් වෙයි කියලයි අපි හිතුවෙ. ඒත් කෝල් එකක් ගන්න බැරි වුණා‍.
දුම්බර වනයේ තුරු ලතා
ඔය අතරෙ අර අතන පේන ගල මට හොඳට මතකයිරශ්මි කිවුව නිසා අපි පල්ලට බහින්නෙ නැතුව ආයෙත් උඩට ගියා. ‍එහෙම ටිකක් දුර යන කොට ඈතින් අතු බි‍ඳෙන හඬ ඇහෙනවා. දැන් ඉතිං මොනව කරන්න ද? අනෙක් පැත්තට විතරයි යන්න පුළුවන්. අපි පාරක් නැතුව කැලේ මැද්දෙන් යන්න පටන් ගත්තා. මගේ අතේ තිබුණ ස්ලීපිං බෑග් එක ගත්ත රශ්මි ඇ‍‍ඟේ වදින කෝටු ගස් එකෙන් ඈත් මෑත් කර කර ඉස්සරහට ගියා.
ඔහොම ටික දුරක් යන කොට කලින් හමුවුණ දොලපාරක් පේන නිසා දොළපාර දිගේ බහින්න කියල හිතාගෙනයි ඒ පැත්තට ගෑටුවෙ.
එකපාරටම පොංකියන සද්දයක්! අලිය අලිය.. රශ්මි කලබල වෙලා බිම වැටිල ස්ලීපිං බෑග් එකත් අතෑරල දුවන්න ගත්ත... මම ටික දුරක් දුවල එක තැනක නැවතුනා. මොකද අපිට දුවන්න වෙන්නෙ කන්ද උඩට...ඒක අවදානම් වැඩක්. අපි වෙන පැත්තකින් යමු කියල මම කිව්ව. වෙනපැත්තකට හැරුණ විතරයි රශ්මි කකුල තිබ්බෙ සර්පයෙක් ළඟට. හොඳ වෙලාවට පෑගුණේ නෑ. මම හිතන්නෙ කුණකටුවෙක් වෙන්න ඇති. කෑවනම් හමාරයි! ටිකක් ඉස්සරහට යද්දි හිඳුණු දොළ පාරක්. එතනින් එහා පැත්ත මට හොදට හුරුයි. ඒත් රශ්මි කිව්වෙ ගඟ දිගේ යං කියල. අකමැත්තෙන් හරි මම කිව්ව පැත්තට අන්තිමේ දී රශ්මිත් ආව.
තුරු වියන යට මෙවැනි සමනළුන් බොහෝ දැකියැකි ය
ඕං අපි හරිපාරට ඇවිල්ල තියෙන්නෙ. ආයෙත් වඳුරන්ගෙ කෑ ගැහිල්ලක්. විපරම් කරන්න අපි ටිකක් නැවතුනා. ඈතින් ඇහුණ අතුබිදෙන සද්දෙ දැන් ළග ළගම ඇහෙනවා. ඒත් අලියෙක් පේන්න නෑ. කොහොම වුනත් අපි ගඟ ළගට ගියා. කැලේ මැද්දෑවෙ අතු බි‍ඳෙන සද්දෙ දිගටම ඇහෙනවා.
මළකෙලියයි! මගේ බඩ දගලනවා. මළ පහ නොකරම බෑ. දැන් මොකක්ද කරන්නෙ? වෙන දෙයක් වෙද්දෙන් කියල මම ගං ඉවුරේ ඇනතියාගත්තා. කෝකටත් සූදානම් සරීරෙ කියල අතු බි‍ඳෙන සද්දෙ එන පැත්තට මූන දාල තමයි වාඩි වුණේ. රශ්මිට අනික්පැත්ත බලන්න කියල මම වැඩේ ඉවර කරගෙන ඉවුරෙන් ගොඩ වුණා. ඒත් ඉස්සරහ අතු බිදෙන සද්දෙ ඇහෙනවා. ඉස්සරහට යනවද නැද්ද? දෙකට දෙවාරෙ ඉන්න කොට අනෙක් පැත්තෙනුත් අලියෙක්ගෙ සද්දයක් ඇහිච්චි. එතකොට නම් ඕන දෙයක් වෙද්දෙන් කියල පාර දිගේ යන්න ගත්ත. ඉස්සරහට යද්දි දොලපාර හරහා වැටිල තියෙන කොටේ හමු වුණා. අපි එතැන පොඩ්ඩක් විවේකයක් ගත්තා. එතැනින් එහාට අලි සද්ද තිබුණෙ නෑ. අපි දිගට ම නුගතැන්න ගාවටම ආවා. එතැන ටිකක් නැවතුනේ දැන් යන්න ඕන පාර මොකක්ද කියල හිතා ගන්න බැරුවයි. ආයෙත් අපේ ඔලුව හැරිල තියෙන්නෙ වැරදි පාරට. අපි වල්පොළමුල්ලට යන පාරෙ යන්නෙ නැතුව ආයෙත් දූවිලි ඇල්ල පාරෙ ගිහිං. මග දිගට ගස්වල සලකුණු තිබුණ විදිය අනුව රශ්මිගෙ අදහස වුණේ පාර මේක වෙන්න බෑ කියලයි.

 මේ අතරෙ තමයි ඔයාගෙන් කෝල් එකක් ආවෙ. අපිට වුණ දේ කිව්වා. අපි දැන් ඉන්නෙ කොහෙද කියල ඇහුවම රශ්මි ගත් කටටම කිව්වෙ සමනල්ලු හමු වුණ තැන කියල. ඔයා අපෙන් ඇහුවනෙ මගට එන්න ද කියල. අපි එපා කිව්වෙ දැන් පාර හොයාගෙන එන්න පුළුවන් වෙයි කියල. ඔයාගෙ ඇමතුම ඉවරවෙනවත් එක්කම මෙන්ඩිස් අයියා කතා කළා. එයා මහා ලොකු උපදෙස් මාලාවක් දුන්න. අලිය ආවොත් කොහොමද බේරෙන්නෙ. කොටිය ආවොත් කොහොම ද බේරෙන්නෙ. අපිට කිව්වා ලොකු පොලු දෙකක් කඩා ගන්න කියල. ඒක තවත් කරදරයක්. නිකං යන්න බැරුව කොහොමද පොල්ලකුත් අරං යන්නෙ. අපි ඒ වෙලාවෙ පොලු ගත්තෙ නෑ. අපි පහළටම ගියා. තණපිටිය ගාවට යන කොට කොටියකුගෙ ගෙරවිල්ලක්! ඒක මට එච්චර දැනුනෙ නෑ. රශ්මි මාව නවත්තල ඇහුව කොටිය නේද කියල. අධෝවාතයක් යන්න ඇති කියල රශ්මිට පොඩි සමච්චලයකුත් දාල පොඩ්ඩ දුරයි ඉස්සරහට ගියෙ. බිම කළුපාට ගාබේජ් බෑග් එකක් වැටිල. එතකොටයි ඔයා කියපු කොටි කතාව මතක් වුණේ. “තාරක අයියට මෙතන වෙන්න ඇති කොටිය හමුවෙන්න ඇත්තෙ”
තනුරගේ කතාව හරියට හරි ය. පෙර දිනයේ දී මා දෙසට කොටියා එනු දුටුවේ මේ ඉසව්වෙනි.
“පොලු දෙකක් කඩා ගමු” රශ්මි තදින්ම කිව්ව නිසා පොලු දෙකකුත් කඩා ගෙන අපි ආයෙත් නුගතැන්න ගාවට යන්න ගත්තා. රශ්මිට මහන්සි වැඩියි. දිගටම ග්ලූකෝස් වතුර ඉල්ලනවා‍. “පොඩ්ඩක් ඉවසපන්” මම ටිකක් පස්ස ගැහුවා. ඒත් බේරෙන්නම බැරි තැන ග්ලූකෝස් දාල වතුර ටිකක් දුන්නා. ඊට පස්සෙ ඔන්න අලුත් ගැම්මකින් අපි නුගතැන්නට ආව. දැන්නම් වල්පොළමුල්ලට යන හරිපාර පේනවා.
දැන් වෙලාව කීයට විතර ඇති ද?මගෙන් හරස් පැනයකි.
දවල් එකට විතර ඇති. ඒ වෙනකොට අපි සමනල්ලු දුටු තැනට ආව. එතැන පහළින් හොදට වතුර බීව. රශ්මිගෙ බෑග් එකේ ඉතිරිවෙලා තිබුණ බිස්කට් එකත් කාල හොදට මූන අතපය හෝදා ගෙන අපි එතන සෑහෙන වෙලාවක් ගත කළා. මොකද මගේ කකුල හොදටම ඉදිමිලා.
මේ තියෙන්නෙ පාර අපි යමු කියල රශ්මි කිව්වා. යනවා යනවා ඒත් කන්දකට යන පාරක් නෑ. කෝ ‍මේ පාරෙ සලකුණු නෑනෙ. එත් ටිකදුරක් යන කොට කහපාටින් සලකුණු කරල තියෙනවා දැක්ක. ඒ නිසා මේක තමයි පාර කියල හිතා ගත්තා. රශ්මි දිගටම කිව්වෙ මේක නම් නියම පාර වෙන්න බෑ කියලයි. ඒත් මම දැරුවෙ වෙනස් මතයක්. මට මතක මේ පාරෙ අපි ගියා වගේ...
 අපි ආපු දුර වැඩි නිසා ඔයාට කෝල් කරමු කියල රශ්මි කිව්ව. ඒත් ඔයාගෙ ෆෝන් එක වැඩ කළේ නෑ. මම මෙන්ඩිස් අයියට කෝල් කළා. පාරවල් දන්න කෙනෙක් ඉන්නව කියල එයාගෙ නොම්බරේ අපිට දුන්න. කොහේවත් යන්න එපා සිග්නල් තියෙන තැනකට වෙලා ඉන්න කියලත් කිව්වා. ඒ අංකෙට කතා කළාට පිළිතුරක් නෑ.. අපි ඉස්සරහට යන්න ගත්තා. ඔන්න එතකොට ම අපිට කෝල් එකක් ආව. නුගතැන්නෙ ඉදන් අපි ආපු විදිය ගැන අහපු එයා, විස්තරේ අනුව අපි ඉන්නෙ රඹුක්ඔලුව පාරෙ කියල කියපි. ඒකෙන් ගියොත් තව කි.මි 10ක් වත් යන්න තියෙනවා. අපි ඒ නිසා ආපසු හැරුණ. ඔයාට කතා කරල සමනල්ලු හමු වුණ තැනට එන්න කීවෙ ඊට පස්සෙයි.
 ආපස්සට එනකොට තමයි තේරුණේ අපි කොච්චර දුරක් වැරැදි පාරෙ ගිහිං ද කියල. දැන් හයට විතර ඇති වෙලාව. අපි සමනල්ලු හමුවුන තැනට ආව. ඒත් ඔයා එතන නෑ. අලිය ආවොත් කියල ටෙන්ට් එක ගහන්නෙ නැතුව ළග තිබ්බ ගහකට නැගින්න හැදුවත් මට  නැගගන්න බැරි නිසා ආපහු බැස්ස. ඊට පස්සෙ කඵවරේම කූඩාරම ඇටෙව්වා.
මගේ කලිසමේ හොදටම ලේ. මම ඒක ගලවල වතුරෙ ඔබල එන්න කියල රශ්මිට දුන්න. රශ්මි ගිය පයින්ම ආපස්සට ආවෙ දොලේ කොටි අඩි තියෙනව කියල. අපි ඇතුළට වෙලා රෑ කෑම ගන්න හිතා හිටියත් දන්නෙම නැතුව දෙන්නට ම නින්ද ගියා. උදේ පාන්දර කණ ගාවින් ගොරවන හඩක්! මම උඩ ගිහිං ඇහැරුණා‍. 

තනුර හා රශ්මි අතරමං වූයේ මේ වනපෙත තුළ ය