දුම්බර 12 - අපොයි මෙහෙම නිස්කාරනේ මැරෙන්න බෑ!



ඒ ඔවුහු ය. නිම් ඉම් නැති සතුටක් මා සිත දෝර ගලා යනු දැනිනි. මහා මේරු පරුවතය මෙන් හිස මත වූ බරක් නිදහස් වූ සෙයකි. මම ඔවුන් වැළැඳ ගතිමි. “තනුරගෙ කකුල කොහොම ද?” ඔවුන් අත වූ බඩු පොදිවලින් කිහිපයක් උසුලාගන්නා ගමන් විචාලෙමි. “දැන්නම් එච්චර අවුලක් නෑ. පයින් යන්න පුළුවන්.” මෙන්ඩිස් අමතා මිතුරන් හමු වූ පුවත සැල කළ යුතු ය. මම ගල්කුළ මතට නැග්ගෙමි. එහෙත් සංඥා නැත. හිටිවන ම රශ්මිගේ දුරකථනයට සංඥා හසු වූයේ ය. ඔහු අමතන්නේ නිවසට විය යුතු ය. තවත් මොහොතකින් මගේ දුරකථනයට සංඥා ලද්දෙන් මම මෙන්ඩිස් ඇමතීමි. “දෙන්නම හමු වුණා. දැන් කිසිම අවුලක් නෑ” මම කීවෙමි. “දැන් ඔයාලව හොයන්න ගමේ කට්ටියක් එනවා. මම ඒ ගොල්ලන්ට එන්න කිව්ව. දැන් පිටත් වෙලා ඇත්තෙ” ඔහු කීවේ ය. දැන් ඔවුන් නවතාලීමට පමා වැඩි ය. ‘කමක් නෑ. මගදි හමුවෙයිනෙ. අපි ගමට ගියාම කෝල් එකක් දෙන්නම්’ දුරකථනය විසන්ධි කළ මා ගල්කුළෙන් බිමට පැන්නෙමි. අපි දැන් මොනව හරි කාල හිමිහිට පිටත් වෙමු.
දෙදිනකට පසුව වනයෙන් මතු වූ මොහොත
කන්න කීවාට කන්නට දෙයක් ද නැත. පිස කෑමට ගත හැකි අහර මිතුරන් දෙදෙනාගේ මල්ලේ තවමත් ඉතිරිව ඇති මුත් මේ ඒ සඳහා වේලාව නොවේ. බත්මුල් තුනට අමතරව ලොකුබණ්ඩලාගේ ගෙදරින් අලුවා කැබලි කිහිපයක් කොලයක  ඔතා දී තිබිණි. මම ඒවා පරිස්සමට ඉතිරි කර තිබූයේ මේ අවස්ථාව එළඹෙන තුරු ය. ‘මේ අලුව හරි රසයිනෙ’ රශ්මි පවසන්නේ ය. අලුවා කා, බඩ පිරෙන තුරු ඇල්වතුර බීවෙමු. දැන් වල්පොළමුල්ලට සමු දිය යුතු මොහොතයි. දින දෙකක් තිස්සේ මගේ කලිසමක් වල්පොළමුල්ල පාළු නිවෙසේ වහලේ කොණක එල්ලී තිබේ. ඒ එහි එල්ලී ගත් කුඩා කිනිතුල්ලන් ඉවත් නොකලැකි නිසා ය. මම එය පොලිතින් උරයක දමා හොඳින් ගැට ගැසීමෙන් පසුව ය, මල්ලට ඔබා ගත්තේ.
 මගේ උර මල්ල හිස්ව තිබූ බැවින් අන් දෙදෙනාගේ බරපොදිවලින් සෑහෙන කොටසක් එයට අඩුක් කළ හැකි විය. අපි සෙමින් සෙමින් ඇවිද වල්පොළමුල්ලේ කඳුවලින් වට වූ පිටියට පැමිණුනෙමු. මෙතැන මොහොතක් නොරැඳී යා නොහැකි තරම් ය‍. බර පොදි බිම හෙළූ අපි තණ පළසේ හිඳ ගතිමු.
“ඉතිං තනුර මොකද වුණේ...” මම විමසුවෙමි.  
“ටික දුරක් යන කොට ඔයා හැරෙනවා දැක්ක. ‘අන්න අයිය කැලේට හැරුණ. අපි ටිකක් ඉඳල යමු’ රශ්මි කිව්ව.” දිග කතාවකට ඔහු මුල පිරුවේ ය. මේ පවසන්නේ සමනළ රැඟුමක් කැමරාවේ සටහන් කර ගැනීමට මා වන මගෙන් ඉවතට ගිය මොහොතකි. “ඉතිං මම ටිකකින් ආයෙ පාරට ආවනෙ” මම බාධා කළෙමි. “ඔව් ඒත් අපි වාඩි වෙලා හිටිය. ටික වෙලාවකට පස්සෙ තමයි අපි යන්න ගත්තෙ. ඔයා එතකොට ඉස්සරහට ගිහිං” නැවතත් මම බාධා කළෙමි. “ඉතිං මම කිව්වෙ මාව පේන දුරින් පිටිපස්සෙන් එන්න කියලනෙ...” “ඔයා හෙමින් හෙමින් යන නිසා එකපාරට ස්පීඩ්කරල ගිහිං ඔයාට කිට්ටු කරන්න තමයි අපි හිතුවෙ. ඒත් ඊට පස්සෙ ඔයාව දැක්කෙ නෑ. අපි නුගතැන්නට ගියා. එතන පේලියට තිබුණ ගල්වල වාඩිවෙලා හිටිය. දොළපාරක් වගේ ඉස්සරහට තියෙනව අයිය යන්න ඇත්තෙ ඒ පැත්තට කියල රශ්මි කිව්ව. ඒ පැත්ත බලල ආයෙ ගහ ගාවට ආව.”
දොළමගේ හමු වූ සමනළයෙක්
 “ඉතිං එතැනින් වමටනෙ හැරෙන්න තිබුණෙ. ගස්වල රතුපාට ගාල තියෙනවා දැක්කෙ නැද්ද?”
“නුගගහ යට තිබුණ ගල්ගෙඩි ටික දැක්ක ගමන් අපි එතෙන්ට ගිහිල්ල වාඩි වුණා. ආපු පාර දිහා බලන්නෙ නැතුව ඉස්සරහ විතරයි බැලුවෙ. පුංචි ගස් දෙකක් කපලා තියෙනවා දැක්ක. නිකං කෝටු හිටවල තියෙනව වගේ. ආපු පාර වගේ අඩි පාරක් ඉස්සරහට තිබුණ හිංදා හිමීට ඒක දිගේ ගියා. ටිකදුරක් යන කොට රශ්මි ළඟ තිබුණ වතුර ඔක්කොම බීල ඉවර කර ගත්තා. ඊට පස්සෙ මගේ වතුර එකත් ඉල්ල ගත්ත. දැන් අපිට වතුර නෑ. ඒ නිසා අපි ඉක්මනට ගියා වතුර සොයා ගන්නත් එක්ක. අපි ආයෙ පොඩි දොලකින් වතුර පුරව ගත්තා. කඳු මුදුනෙ කෙහෙල් තියෙනව දැක්ක.”
“ඒ කැලේ තියෙන ඇටි කෙහෙල් ගාලක් වෙන්න ඇති. ඉතිං මාව මතක් වුණේ නැද්ද”
“අපි හිතුවෙ ඔයා මොනව හරි පිංතූර ගන්න පාරෙන් පිට පනින්න ඇති කියල. ඒ නිසා ඔයා අපිට පිටිපස්සෙන් ඇති කියලයි හිතුණෙ. එනකං කියල එතැන ටික වෙලාවක් හිටිය. ඒත් ඔයා නැති වුණාම අනෙක් අතට අපි හිතුවෙ ඔයා ඉක්මනට යන්න ඇති කියල. ඒ නිසා අපි ඉදිරියට යන්න තීරණය කළා.” මම නිහඬව අසා උන්නෙමි.
 “ගහක් වැටුණු තැනක් තිබුණ එතනින් එහාට පාර පැහැදිලි නෑ. තව ටිකක් ඉදිරයට යද්දී වදුරො කෑගහන්න ගත්ත. මේ හරියෙ පොළොව ටිකක් තෙතයි. දොළපාරකුත් හමු වුණා. අපි හිතුවෙ ඇල්ල මෙතන වෙන්න ඇති කියල. ඒත් තාමත් ඔයා නැති නිසා...එන්නෙ නැතෑ..කමක් නෑ අපි ඇල්ල ලඟට ගිහිං කෑම්ප් කරනව කියල හිතා ගත්තා.” “මෙතැන කඳු දෙකක් වෙන්වන තැනක්.  තාමත් ඉස්සරහට අඩිපාර තියෙනව. හැබැයි හැම තැනම අලි බෙටි. ටිකක් දුර උඩට ඇවිදගෙන ගියාම පාර දෙකට බෙදෙනව. එතැනින් උඩට යන්න හිතුව. ඒත් එතැන එළිමහනක් වගේ තිබුණු තැන පුරාවට ම අලි බෙටි. අලුත් පරණ බෙටි ගොඩාක් තිබුණා. ඒ නිසා අනික් පාරෙ යමු කියල රශ්මි කිව්ව. තව ටික දුරක් යද්දි පිංතූර ගන්න පුළුවන්, වටේ කඳු ටික පේන එළිමහන් තැනක් හමු වුණා. එතැන පිංතූර අරගෙන අපි ඉක්මනට ගියා. ඒ වෙන කොට නම් අපිට දැනිල තිබුණෙ ඔයා මේ හරියට එන්න නැතුව ඇති කියල. ආයෙත් පාරවල් දෙකක්! එකක් වෙන පැත්තකට යන පාරක් වගේ පෙනුණ නිසා සත්තු ගිය පාරක් දිගේ ඉස්සරහට ගියා. හූ කියල බැලුව ඔයාට ඇහේවිද කියල. නැති නිසා අපේ එකම අරමුණ වුණේ දූලි ඇල්ලට යන එක.”
සමනළයෝ අනඟ රැඟුම් රඟති
“සත්තු කියන්නෙ අලි ගිහිං හැදුණු පාරක් වෙන්න ඇති ඒක” මම කීවෙමි.
“වෙන්න ඇති. ටික දුරක් යන කොට දිවියගෙ අඩි සලකුණු හමු වුණා. දැන් කළුවර වැටෙන්නත් පටන් අරන් නිසා දිවි අඩි පිංතූර ගන්න නැවතුනේ නෑ. කැමරාවත් බෑග් එකට දාගෙන ඉක්මනට ගියා. ඉස්සරහින් ගියෙ මම. රශ්මි පිටිපස්සෙන් බිම බල බල ආවෙ දිවි අඩි තියෙනව ද කියල. ඒ හරිය ටිකක් තැන්නක් වගේ. වැඩිදුරක් යන්න ලැබුණෙ නෑ. පාර ඉදිරියෙන් පොඩි කඳු ගැටයක් වගේ. එතැනින් අලියෙක් මතුවෙලා අපේ පැත්තට එනව. රශ්මිට මම අලිය අලිය කියල කිව්ව. ‘අම්මටසිරි දුවමු දුවමු..’ කියල රශ්මිත් මාත් කැලේට පැන්න. පල්ලෙහා පැත්තට. රශ්මි කිව්ව දෙපැත්තට දුවමු කියල. එතකොටම අලිය මහ සද්දෙන් කුංචනාද කළා. මම කෙලින්ම දිව්ව. රශ්මි දකුණු පැත්තට දිව්වා. අලිය මගේ පස්සෙන් ළග ළඟම එනව.”
“මොනවද එවෙලෙ හිතුනෙ” මම ඇසූයේ මට දැනුණු මර බිය මොවුනට කෙසේ දැනෙන්නට ඇත්තේ දැයි දැන ගැනීමේ කුහුලෙනි. මගේ පස්සෙන් දිවියා හඹා ආවේ නැත. ඌ ලං වූ විට මා ය පළා ගියේ. එහෙත් මොහු පස්සේ අලියා හඹා එයි, ඊ ළඟ තත්පරයේ මරණය පැමිණේ නම්?
“අනේ අපොයි මේ වගේ නිස්කාරනේ නම් මැරෙන්න බෑ කියල හිතුන. ඉස්සරහ ගැට්ටක්. ඒක කොච්චර ගැඹුර ද කියල මම දන්නෙත් නෑ. හිතුවෙත් නෑ. ස්ලීපිං බෑග් එක පපුවට තියාගෙන පැන්නා. අඩි හය හතක් විතර පහළට වැටුණා. කකුල කොහෙදෝ වැදිල හොඳටම රිදෙනව. ඒ එක්කම ඔලුවට ලොකු බරක් දැනුණ. මම හිතුවෙ අලිය පෑගුව තමයි කියල. ඒත් සෙලවීමක්වත් නෑ. පිටේ තිබුණ බෑග්එකයි ඔලුවට වැටිල තිබුණෙ. මම සෙලවීමක්වත් නැතුව එහෙම ම හිටිය. අලියගෙ සද්දෙ මගෙන් ඈතට යනව තේරුණා. එත් මම හෙළවෙන්නෙවත් නැතුව එහෙමම ටික වෙලාවක් හිටියා. මේ වෙලාවෙ මට මොකුත් කල්පනා වුණේ නෑ. ගමනේ පසුගිය සිදුවීම් පෙළක් චිත්‍ර පටියක තැනින් තැන කොටස් වගේ මගේ මතකයට ආවා. අපි තුන්දෙනා කැලේ මැදින් ආපු හැටි. වල්පොළමුල්ලේ නැවතුණු හැටි, විදිලි කොටනව වගේ පෙනිල නොපෙනී ගියා. ඒවා ගැන කල්පනා කරන්න කල්පනාවක් මට තිබුණෙ නෑ. නැගිට්ට ගමන් දකුණු කකුලේ ලොකු වේදනාවක් දැනුනා. පැන්න කන්ඩියෙන් නගින්න බැරි නිසා මං ටිකක් ඇවිදන් ගිහිං මුලක් අල්ලගෙන උඩට නැග්ගා.”
සමනළුන්ට රොන් සපයන ගඳපාන මල්
“ඉතිං අලියා...” මම විමසුවෙමි.
“මම වැටුණ තැන අඩියක් දෙකක් ඈතින් උගේ අඩි තිබුණා. මම පැන්න වේගෙට ඌත් පනින්න ඇති. නවතින්න බැරුව පල්ලෙහාටම යන්න ඇති. තනුර තනුර කියල රශ්මි කතාකරනව. පණ පිටින් ඉන්නව දැක්කම මට බදාගන්න හිතුනත් කෑ ගහනව ඇහුණම නම් කණට ගහන්න තමයි හිතුනෙ.” තනුර පවසන්නේ ය. සැබෑය. ‘කැලේ ඇතුළෙදි ඔච්චර සද්දෙන් කතා කරන්න එපා..’ මම ද කිහිපවිටක් ම ඔහුට සිහි කැ‍ඳෙව්වා මතක ය.  
“රශ්මි මොකද වුණේ...?”  “මම දුවන කොට ටෙන්ට් එක වැටුණා. තවටිකකින් බෑග්එකේ පටියක් කැඩිල ඒකත් බිම වැටුණා. හැරිල බලන කොට තනුර පස්සෙ අලිය පන්නනවා. මම දුවන එක නවත්තල ගහකට මුවා වෙලා බලං හිටියා.”
 නැවතත් තනුර දොඩමළු වූවේ ය. “රශ්මි ගිහිං වැටිල තිබුණ බෑග් එකයි ටෙන්ට් එකයි අරගෙන ආවා. මගේ ළඟ තිබුණ ස්ලීපිං බෑග් එකත් රශ්මිගෙ අතට ගත්තා. දෙන්නත් එක්ක පාරට ආව. දැන් මොකද කරන්නෙ?.. වෙලාව හයටත් කිට්ටුයි. රශ්මි කිව්ව ඉස්සරහට ගිහිං ආරක්ෂිත තැනක කෑම්ප් කරමු කියල. මම කිව්වෙ අපි ගහක ඉමු කියල. ආයෙත් මම කිව්ව ඇල්ලගාවට යමු කියල. ඒත් රශ්මි ඒකට තදින් විරුද්ධ වුණා.”
 “ඈතින් ආයෙත් කුංචනාදයක් ඇහුණා විතරයි ගහ උඩට නැග ගත්තෙ කොහොම ද කියලවත් මතක නෑ. මම බිමට බැස්සෙම නෑ. ගහ ලඟ ලොකු කළු ගලක් තිබුණා. අපේ බෑග්ස් තිබුණෙ එතැන. රශ්මි ගල උඩට බැහැල චීස් පෙට්ටියකුයි බිස්කට් පෙට්ටියකුයි අරගෙන ආයෙ ගහ උඩට නගින්න කලිං සපත්තු දෙක ගැලෙව්වා. හපොයි ඒකෙ තියෙන ගඳ.. මම කිව්වා ඕක ටිකක් ඈතට විසි කරල වරෙන් කියල. රශ්මි සපත්තු දෙක ටිකක් ඈතට විසි කරල බෑග් එකෙන් සරමකුයි. බැන්ඩේජ් එකකුයි අරගෙන ජර්සිය අස්සෙ දාගෙන උඩට නැග්ගා.”
“සරම මොකට ද?” මම විමසීමි.
“ඒක ඉරල කඹයක් හදාගෙන ඇ‍ඟේ බැඳගත්තා. ගහෙන් වැටෙන්නෙ නැති වෙන්න.” “ඇයි බැක්පැක් එකේ තිබුණු කඹේ” මම මතක් කර දුන්නෙමි.
“ඒක තියෙනවයි කියල මතකෙට ආවෙ නෑ. දැන් කට්ට කරුවලයි මොකුත් පේන්නෙ නෑ..රශ්මිගෙ ෆෝන් එක ඔන් එකේ තියල මගේ එක ඕෆ් කළා. වීස් පෙට්ටිය ඇරල මම කෑලි හතරක් අරගෙන කමිස සාක්කුවට දාගත්තා. රශ්මි චීස් එකකුයි බිස්කටුයි කන්න ගත්තා. මම හිටිය තැන සුවපහසු නැති නිසා, පහසු විදියක් හදා ගන්න උත්සහ ගන්න අතරේ රශ්මිත් හිටිය අත්තෙන් නැගිටල මට උදව් කරන්න හැදුව.. “අම්මට සිරි චීස් පෙට්ටිය වැටුණ” රශ්මි කිව්වා. හොඳ වෙලාවට මගේ ළඟ ඉතිරි වෙලා තිබුණ චීස් ටික බෙදාගෙන බිස්කට් එක්ක වේල පිරිමහගත්තා. ඔන්න ටිකක් වෙලා යන කොට පහළ සතෙක් එන සද්දයක්! ඒ සද්දෙට අපි දෙන්නම බය වෙලා. රශ්මි මගේ අත මිරිකගෙන... කතාවක් බහක් නැතිව එකිනෙකාගෙ අත් මිරිකගෙන අපි සෑහෙන වෙලාවක් හිටියා. ඌරෙක් වෙන්න ඇති. ටිකකින් සද්දෙ නැති වෙලා ගියා. සැරින් සැරේ පොඩි සත්තු පහළ ගමන් කරනවා අපිට ඇහෙනවා ඒත් මොකුත් පේන්නෙ නෑ...”
 ‘බරාස්...’ අතු කැඩෙන සද්දයක්. අලියා ඇවිල්ල ද?