දුම්බර 9 - අපිට අලි ගැහුවා!



මට වඩා පහසුවෙන් ඌට මෙහි නැගිය හැකි ය. මා තවත් ඉහළට බඩ ගෑ යුතු ද? එවිට මරණයෙන් ගැලවිය හැකි වෙද? දිවියා ගස් නැගීමට රුසියෙකි. ඌ මා ගොදුරක් කොට ගන්නේ නම් ගස් නැගීමෙන් පළක් නැත. මා කෙරේ බිය නිසා මිස මා ගොදුරු කර ගැනීමට නොවේ ඌ පනින්නේ. නොයෙකුත් සිතුවිලි මා මනසේ පහළ විය. ඉහළ නැගීම පසෙක තබා මම ඌ පැමිණි දෙස විපරම් කළෙමි. ඌ පලා ගොසිනි. දැන් තවත් මෙහි ලත වීම නුවණට හුරු නොවේ. මා කෙසේ මෙතැනට නැග ගත්තේ දැයි මට ම පුදුමයකි. මර බිය නිසා නොවන්නට එය කෙසේවත් සිදු නොවන්නකි. පහළ ආගාධය දැක දෙපා වෙව්ලන්නේ දැන් ය. කුහුඹුවන් සියොළඟ වසා සපා කන වේදනාව දෙගුණ තෙගුණ වී දැනෙන්නේ දැන් ය. රඳවා තිබූ කරුවෙන් මිරිවැඩි යුවල ගෙන ගල්තලය වෙත විසි කළෙමි. සීරුවෙන් ගල් තලය වෙත බැස ගතිමි.
තණ මත සමනළයෙක්
 නිසැකයෙන් ම දිවියා පැන යන්නට ඇත්තේ මා ගමන් ගනිමින් සිටි දෙසට ය. එනම්, මගේ සගයන් දෙදෙනා පැමිණෙන ඉසව්වට ය. එහෙත් ඔවුන් ළඟ පාතක නැති බව පැහැදිලි ය. එසේ වුයේ නම් හූ හඬට ප්‍රතිචාරයක් ලැබිය යුතු ය. වනය අන්ධකාරයෙන් වැසී යයි. මා කුමක් කළ යුතු දැයි, මොහොතක් එළැඹි සිහියෙන් කල්පනා කළෙමි. තෝරා බේරා ගැනීම සඳහා හොඳ ම විසඳුමක් මා සතු නොවේ. නරක විසඳුම් ගොන්නක් අතරින් අවම අවධානමක් ඇති විසඳුම තොරා ගැනීම ය, දැන් කළ හැක්කේ. හැඟීමට නොව බුද්ධියට ඉඩ දෙමින් වඩා තාර්කික හා ප්‍රායෝගික තිරණයක් ගැනීමට මට සිදු විය.
උරමල්ල උරලාගෙන, ගඟ අයිනෙන් වැටී ඇති මග ඔස්සේ මම වේගයෙන් ඇවිද ගියෙමි. කඳු ගැට කිහිපයක් නැග බැස අවසනනට පැමිණි දොළ මගට ළඟා වූයෙමි. ඒ අසල ඉවසුන් නොදෙන තරමේ දුඟදකි. මැරුණු සතකුගේ විය යුතු ය. දොළමගෙන් දිය බී, මා සතු වූ එකම දිය බඳුන පුරාවාගෙන මල්ලේ පසෙක වූ සාක්කුවේ රුවා ගතිමි. ජීපීඑස් යන්ත්‍රය ගෙලේ රඳවාගෙන සුරතට විදිලි පන්දම ගතිමි. දීර්ඝ ගමනක් සඳහා දැන් මා සූදානම් ය. මෙය දූවිලි ඇල්ලට ළඟා වන වෙනත් මගක් විය යුතු ය. මම ජීපීඑස් තිරයේ ආ මග සහ මේ මග සැසඳුවෙමි. මෙය සපුරා ම දිව යන්නේ වෙනත් පෙදෙසකට ය. කුමක් වුව ද එය ගම්මානයකට දිවෙන මගක් බව නම් නිසැක ය.
ලංකාවේ හැඩයට පිහිටි ගස් බෙනයක්
ගං දෑලේ ගල්තලයක රැය පහන් කිරීමට මට වතාවක සිත් වුව ද එය වඩාත් අවදානම් වූයේ, සගයන් දෙදෙනා හමු නොවුන හොත් මට කිසිදු අහරක් නැති බැවිනි. අප තිදෙනාට ම දින තුන හතරකට ප්‍රමාණවත් ආහාර ඔවුන් දෙදෙනාගේ ගමන් මල්ලේ ය. මා සතුව ලොසින්ජරයක්වත් නැත. මා සතු වූ එකම ‘ආහාරය’ වූයේ ශක්තිජනක බීම ටින් දෙකක් පමණි.
ක්‍රියා විරහිත කර තිබූ ජංගම දුරකථනය පනගැන්වූවෙමි. ඒ හේතු දෙකක් නිසා ය. එකක් වේලාව දැන ගැනීම සඳහා ය. අනෙක, වැරදීමකින් හෝ කිසියම් තැනෙක සංඥා ලද හොත් ඔවුන් ඇමතීමට ඉඩක් ලැබෙන බැවිනි.
මම හැල්මේ පල්ලම් බැසීමි. එය දළ බෑවුමක් නොවේ. වැඩි ආයාසයකින් තොරව ගමන් කළ හැකි විය. නැවතත් නැග්මට ඇත්තේ කුඩා කඳු ගැටයකි. මඩගොහොරුවක් වැනි තැනකින් ගොඩ වීමට ද සිදු විය. විදිලි එළිය නොවූයේ නම් මෙවන් තැනෙක පාර සොයා යෑම කළ නො හැක්කකි. තැන තැන අලි බෙටි විසිරී ඇත.
“බරාස්...” අත්තක් බි‍ඳෙන හඬකි. අලියා ළඟපාතක ඇත් ද, මම විදිලි එළය දැල්වූයේ පරෙස්මිනි. එය වඩාත් ඈතට එල්ල කළේ නම්, ඒ මා යන දෙස මග එළිකර ගැනීම සඳහා පමණි. එහෙත් මෙහි වට පිට විපරම් කළ යුතු ය. මා අසල ම අලියා සිටී ද? දැන් ඇසෙන්නේ පපු කුහරයෙන් නැගෙන ‘ලබ්-ඩබ්’ හඬ පමණි. අවට නිහැඬියාව සමඟ එය තව තවත් වේගවත් වේ. තැන තැන දුටු අලි බෙටි සති කිහිපයක්වත් පැරැණි ය. සිත අස්වසා ගනිමින් මම ඉදිරියට ඇදුනෙමි. නැවතීමක් නැතිව ඉදිරියට ම ඇදුනි. බිය දැනෙන්නේ, තැති ගැනෙන්නේ නැවතුන විට ය. නෙක නෙක හඬ සවනත වැකෙන්නේ ද නැවතුන විට ය. මම නොනැවතීම ගමන් කළෙමි. ‘සරබරස්.. සරබරස්..’ හඩක් ඇසේ මම නොනැවතුනෙමි. එය මගේ උරමල්ලෙන් නිකුත් වන්නක් බව මට වැටහුනේ ටික වේලාවකින් පසුව ය. ‘කිසිවකට කන් නොදී ඉදිරයට ම පලයන්’ යැයි මගේ උඩු සිත කීව ද යටි සිත ඊට අවනත නොවන සෙයකි. වන මග අවසන් වූයේ බෑවුම් සහිත ගල් තලයකිනි. වන මගේ කිසිදු සලකුණක් ගල් තලයේ ඉතිරි වී නැත. උරමල්ල පසෙක ලූ මම මද ඉසිඹුවක් ලද්දෙමි. ගල්තලය මත ද තැන තැන අලි බෙටි දක්නට ඇත. එහෙත් ඒවා පැරැණි වුයෙන් මා සිත අස්වසා ගත්තෙමි. දැන් මට සිදු වන්නේ මෙහි රැය පහන් කිරීමට ද? මට උඩ බැලුනේ නිකමට ය. එකුදු තරුවක් හෝ අහසේ නොපෙනේ. එහෙත් කෑලි කපෙන අඳුරේ ගිලී ඇති මහ වනය හා සැසඳු කල අහස ආලෝකවත් ය. ගල්තලය ඔබ්බේ යෝධ සෙවනැලි සේ නැගී සිටින්නේ කඳු පෙළකි. මිනිස් වාසයක් ළඟ පාතක නොවන බව නම් පැහැදිලි ය. මන්දාරම් අහසෙන් වැහි බිඳු එක දෙක ඇද හැලේ. මග සොයා නොගත හොත් මෙහි රැය පහන් කිරීමට සිදු වනු ඇත. මෙහි දිය සොයා ගැනීමට නොහැකි ය. තවමත් මා සතු දිය බඳුනෙන් බිඳක් හෝ පානය නො කළෙමි. දුෂ්කර තත්ත්ව යටතේ රැය පහන් කිරීමට ඒ දියබඳුන හොඳටම ප්‍රමාණවත් ය. වැසි වැටුණොත් කුමක් කරම් ද? කූඩාරම ද මා සතුව නොමැත. එළිමහන් ගල්තලයේ සැතපීමට ය මට සිදු වන්නේ. මගේ කල්පනාලෝකය මොහොතකට බිඳී ගියේ සමීපයේම කැලය තලාගෙන සතෙකු දිව ගිය බැවිනි. බොහෝ විට ඒ ඌරෙක් විය හැකි ය.
චූලරත්නගේ පුතා
 රුදුරු වන සතුන් ගහන මහ වන මැද ගල්තලාවක හුදෙකලා වීම, හරි අපූරු අත්දැකීමකි. එය තිත්ත, කහට, ඇඹුල පැණි රස ආදී නොයෙක රස එකවර දනවන පලතුරක් වැන්න. දුක, සතුට, බිය, සැක, මිහිර ආදී නොයෙක හැඟුම් එකවර දැනවූ මෙවැනි මොහොතක් මාගේ මතකයේ නැත. ඉදිරි තත්පරයේ දී කුමක් වේ දැයි කිව නොහැකි ය. කුමක් වුව ද, මෙහි නො නැවතී ගමන් කළ යුතු යැයි මම තීරණය කළෙන්, වන මග යළි සොයා ගැනීම සඳහා වෙහෙසුනෙමි. ගල්තලය වටා යමින්, විදුලිපන්දමේ ආලෝකයෙන් පාර සොයා ගැනීමට ය මා වෙහෙසෙන්නේ. වන මං යැයි සිතිය හැකි මං බොහෝ ය. එහෙත් ඒවා වනසතුන් ගමන් කළ මං විනා මිනිසුන් ගිය මං නොවේ. මේවායෙන් නිවැරැදි මග තොරා ගැනීම අතිශය වැදගති. වැරදිලා හෝ වැරැදි මග ගියහොත්, මා කබලෙන් ලිපට වැටෙනු ඇත. අවසනේ දී නිවැරැදි මග සොයා ගැනීමට මට හැකි විය.
මග දිවෙන්නේ බෑවුමක් ඔස්සේ ය. එය මට පහසුවකි. දැන් ගමන් කරන්නේ විසල් තුරු මැද මහ වනයක ය. වන මග පැහැදිලිව ඇත. මම තවත් පය ඉක්මන් කළෙමි. ගමන් කළ දුර කොපමණ දැයි සිහි නොකොට, ඉසිඹුවක් නො ලබා ම ගමනේ යෙදීමි. දිය බිඳක් හෝ පානය කිරීමට නො නැවතුනෙමි. වරක් දෙවරක් පමණක්, මොහොතකට නැවතුනේ වනයේ අතු ඉති බි‍‍‍‍ඳෙන හඬ විපරම් කිරීමට ය.
 දැන් ගමන් කරන්නේ තැනිතලා මගක ය. දකුණු පස දොළ පහරක හඬ ඇසේ. මේ ඉසව්වේ වන මග එළි පෙහෙළි කර කොළ රොඩු අතුගා ඉවත් කර ඇත. දැන් ගම්මානයකට ලඟා වී වත් ද? එසේ සිතීමට අවකාශ නොමැත්තේ සෑම තැනම මහ වනය ම දක්නට ඇති නිසා ය. “පර්යේෂක කණ්ඩායමක් වත් ඇවිල්ලා ද?” නිසැකව ම මෙය මිනිස් ක්‍රියාවකි. ඒ ගැන වැඩිදුර සිතා බැලීමට නොවෙහෙසී මම ඉදිරියට ගමන් කළෙමි. කොළරොඩු අතු ගා පිරිසිදු කළ වන මග අවසන් වූයෙන්, ඉදිරි මග ඔස්සේ මම දිගටම ගමන් කළෙමි. එහෙත් ගම්මානයක ලක්ෂණ තවමත් දක්නට නැත. දැන් දැන් පාර පුළුල්ව පැතිරේ. ගම්මානයක් කිට්ටුවෙන් විය යුතු ය.
චූලරත්නගේ පියා වල්පොළමුල්ලේ පදිංචිව සිටි අයෙකි
දොළමගකින් එගොඩ විය යුතු ය. ඒ හරහා යෙදූ ගල්වැටියකි. මම ඊට ගොඩ වී ඒ ඔස්සේ ගියෙමි. අහා!.. කවුරුන් හෝ දැන් මෙතැන දියෙන් ගොඩ වී තිබේ. ගල්වැටිය මත පයෙන් ගිලිහුණු දිය පහර දක්නට ලැබේ. මිනිසෙකු නම් මිනිස් අඩි තිබිය යුතු ය. විදිලි ආලෝකය එල්ල කොට මම විපරම් කළෙමි. හපොයි තවත් කොටි හපුවෙකුගේ අඩි සලකුණු ය. ඌ මා එන විටම දියෙහි සිට පැනගොස් තිබේ. මම ඒ ගණනකට නො ගෙන ගමන් කළෙමි. මට යා හැකි වූයේ තවත් ටික දුරකි. “හූස් හූස්... හූස් හූස්...” අමුතු හඬකි. කොයිකටත් මම සූදානම් ශරීරයෙන් ඉදිරියට ගියෙමි. බිය වන්නට කාරියක් නැත. ඒ හඬ ඇසෙන්නේ ජල නලයකිනි. විශ්කම්භය අඟල් තුන හතරක් පමණ වන විශාල ජල නලයකි එය. ලොකු ජල ටැංකියක් ඒ අසල ම වේ. මේ ගම්මානයට ජලය ගෙන යන ජල ව්‍යාපෘතියක් විය යුතු ය. මහත් අස්වැසිල්ලකි. දැන් නම් මිනිස් වාසයකට සේන්දු වී ඇති සේ ය. කෙතරම් විඩා බර වුව ද මගේ ගමන් වේගය තව තවත් වැඩි විය. එක් පසෙක හේන්වගාවට යෙදූ වැට දක්නට ලැබේ. එහෙත් තවමත් මිනිස් පුළුටක් හෝ දැක ගැනීමට නැත. කුඩා කඳුගැටයක් නැග බැසීමෙන් අනතුරුව නිවි නිවී දිලෙන වර්ණවත් විදිලි බුබුළු රැසක් දක්නට ලැබිණි. ඒ පාරේ දකුණු පස ය. මම පය ඉක්මන් කර ඒ දෙසට ගියෙමි. පුදුමයකි.! එය පාසලකි. මට මෙහි රෑ ගත කළ හැකි ය. ඊට නුදුරේම නිවෙසක විදිලි ආලෝකය දිස් වේ. ගමේ කිසිවෙකුට කතා කළ යුතු ය. අසල වූ නිවෙසේ කඩුල්ල පැන ගොස් දොරට තට්ටු කළෙමි. නිවෙස් හිමියා දොර හැර එළියට ආවේ සිය කුඩා පුතු ද සමග ය. මගේ කතාව අසා ඔහු පුදුමයට පත් වූයෙන්, මට කරුණාවෙන් සැලකුවේ ය. ඒ චූලරත්න ගොවිමහතා ය. මා පැමිණ ඇත්තේ රඹුක්ඔළුව ගම්මානයට ය. එතැන් සිට පිටවලට තෙසක රියකින් යා හැකි ය. තම ඥාති පුතෙකුගේ රියක් කතා කරදුන් චූලරත්න මහතා සිය පුතු ද සමග ඊට ගොඩ වූයේ මා අරලවාලීමට ය.
තෙසක රිය ලෙඩ දෙමින්. විදුලිපන්දම දල්වන්නේ චූලරත්නය
ටිකදුරක් යන විට තෙසක රියේ විදිලි ලාම්පු නිවිණි. එතැන් සිට බොහෝ දුරක් ගමන් කළේ මාගේ විදිලිපන්දම් එළියෙනි. කරදර මැද මා පිටවලට ළඟා වූයේ මැදියම් රැයේ ය. ලොකුබණ්ඩා මහතා මම එනතුරු මගබලා සිටියේ ය. තනුරගේත්, රශ්මිගේත් දුරකථනවලට මම කෙටි පණිවිඩයක් තැබුවේ, සංඥා ලද විටෙක දී ලැබෙන නිසා ය.
උදෑසන හත වන විට මට පිළිතුරක් ලැබිණි.
“අපිට අලි ගැහුවා. කැලේ අතරමං වුණා.”...