දුම්බර 8 - දිවියාගෙන් බේරීමට ගස් නැග්ගෙමි





වල්පොලමුල්ල පුරාණ ගමේ දැන් ඇත්තේ පාළුවට ගිය එක් නිවෙසක් පමණි. වසර ගණනාවක සිට කිසිවෙකුත් එහි නොවෙසේ. ඊට සමීපයෙන් ම පිහිටි මිනිස් වාසය ඇටන්වල ය. එහි සිට කිලෝමීටර් හතරකට වැඩි දුරක් වන මැදින් මෙහි පැමිණිය යුතු ය. නිවෙස ඉදිරියේ කුඩා තණ පළසකි. අපි කූඩාරම් අටවා රැය පහන් කළේ එහි ය. පෙර පැමිණි පිරිසක් මෙළවූ ගිනිමැලයක ලකුණු දුටුවෙන් එහි ගිනිමොළවන්නට භාර වූයේ රශ්මිට ය. ‘මට උදවු කරන්න පුළුවන් ද?’ ඔහු තනුරගෙන් විමසනවා දුටුව ද මා මුවින් නොබැන සිටියේ, මෙයද තවත් නොමෙළ වූ මැලයක් වන්නට ඉඩ තිබූ බැවිනි. තනුර යුහුසුළුව එම කාරියේ නිරත වූයෙන්, මමත් රශ්මිත් දිරා ගිය අතු ඉති, කොට ආදිය සොයා දුන්නෙමු.
කකුලේ එල්ලුණු කිනිතුල්ලන් ගලවමින්
 දර සොයා ගැනීමට හැකි වුව ද, දිය සොයා ගැනීමට නම් නොහැකි විය. දිය කඩිත්තක් සොයා තනුරත්, රශ්මිත් පිටව ගියේ ගොම්මන් අඳුර හාත්පස වසා ගන්නා මොහොතේ ය. විටින් විට වොකිටෝකියෙන් මා අමතිමින් ඔවුන් පැවසූයේ සැම තැන වියළී ඇති බවත් කිසි තැනෙක දිය නැති බවත් ය. ‍රෑ ‍බෝ වූයෙන්, ආපසු එන්නැයි මම කීවෙමි. ඉතිරිව තිබූ එක් දිය බඳුනකින් රැය පිරිමසා ගැනීමටය සිදු වූයේ. අහර පිසීමට එය නොසෑහුනෙන්, අපගේ රෑ වේල ටින් කළ පොළොස් මාලුවකට සහ පාන් පෙති කිහිපයකට සීමා විය.
සිරුරේ තැන තැන කසන්නට වූයෙන් විදිලිපන්දම දල්වා බැලීමි. කලිසමේ පහළ කොටස පුරා කුඩා කිනිතුල්ලෝ රැසකි. අනෙක් දෙදෙනාගේ ද එසේ ය. එම ඇඳුම් උනාදමා අලුත් ඇඳුම් ඇඟලා ගැනීමට සිදු විය. උන් සපා කෑමෙන් සිරුර පුරා පලු මතු වේ. ඇතැම් විට ඒවා සුව වීමට සති ගණනාවක් ගත වන බව මම අත්දැකීමෙන් දනිමි.
කිනිතුල්ලෙකුගේ තරම
රෑ අහස පැහැදිලි නොවූයෙන් තරු කිසිත් දැකිය නො හැකි ය. ගමේ සිට අප සමග පැමිණි බලු කුක්කන් දෙදෙනා ගිනිමැලය අසල සැප නින්දේ ය. එය නිවී ගිය පසු අපි කුඩාරම තුළට වැදුනෙමු.
අප වල්පොලමුල්ලෙන් පිටත් වන විට හිරු නැගී හොරා කිහිපයක් ම ගතව තිබිණි. විටින් විට වට ‘දුම්බර’ හිරිපොද නිසාය, මෙතරම් පමා වන්නට සිදු වූයේ.  පාළු නිවසේ සිට අඩි දෙතුන් සියයකට වඩා ගමන් කළේ නැත, දිය කඩිත්තකි. ඊයේ මෙතැන සොයා ගත නො හැකි වූයේ මන්දැයි ගැටලුවකි. “අපි මේ පැත්තට ආවෙ නෑ. වෙළ පැත්තෙන් පහළට ගියේ.” තනුර පැවසී ය. හිස්ව තිබූ දිය බඳුන් එතැනින් පුරවා ගත් අප වන මගේ ඉදිරියට ඇදුනෙමු. වන මගේ තැන තැන විවර වූ තැන්වලින් දිස්වන නිල්පැහැ කඳු වළල්ල මනරම් දසුනකි. එකක් පරයා එකක් නැගෙන කඳු පෙළේ එක් තැනක අපේ ගමනාන්තය දිස් වේ. වල්පොළමුල්ල වෙල් යායට දූවිලිඇල්ල දිස් වන්නේ සිහින් රිදී රේඛාවක් මෙනි. මෙනමින් වූ දියඇලි කිහිපයකි. සිංහරාජයේ ද ‘දූවිලිඇල්ලක්’ ඇත. දුම්බර වන පෙතේ දූවිලිඇල්ලට ඇටන්වල ගමේ සිට කිලෝමීටර් දහයක පමණ දුරක් වන මැදින් යා යුතු ය. එය දුෂ්කර ගමන් මගක් වුව ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලිව සලකුණු යෙදූ වන මගක් ඇති හෙයින්, වන සැරියන්ට එය පහසුවකි. ගස්වල ද ගල්වල ද රතු පැහැයෙන් යෙදූ සලකුණු ය. අප ඉදිරියට ඇදුනේ ඒ ඔස්සේ ය.
රෑ අහරට පොළොස් සමග පාන්
 නැවතත් පුරන් වූ වෙලකි. වෙලක් කීවාට මඩ දිය පිරි ගොහොරුවක් නොව, පාත්ති ලෙස සැකසූ තණ පිටියක් සේය එය දිස් වන්නේ. මේ සෑම තැනක ම මී ගවයන්ගේ අඩි දැකිය හැකි ය. උන් කුඩා රංචු ලෙස අසල කැලය පුරා සැරි සැරති. වන මැදින් තවත් පහළට බැස යන විට අපට හමු වූයේ සිඳී ගිය දොළමගකි. පාසි නොබැඳුණු ලොකු කුඩා ගල්කුළුවලින් එය පිරී ඇත. අපි එහි මද ඉසිඹුවක් ලදිමු. 
 මෙය සමනළ පාරාදීසයකි. දොළ මගට නැවුණු තුරු ලතා මල් ගොමුවලට ඉහළින් උන් එක පෙළට පියඹා යති. විටෙක තුරුපතක් මත මොහොතක් රැ‍‍ඳෙන්නේ විඩා නිවා ගැනීමට දැයි සිතේ. එහෙත් ඊළඟ ඇසිල්ලේ අක්වක් ලෙසින් ගැස්සෙන රටාවකට ඉහළ නගිති. උන් පියඹා යන මට්ටම සමනළ විශේෂය අනුව වෙනස් වන සෙයකි. වඩා පහළින් පියඹන්නේ අඳුරු පැහැ සමනළයින් ය. දිලෙන වර්ණ සහිත ලොකු සමනළයෝ ඉහළින් පියඹා යති.
 සමනළ රැඟුම නැරඹුමෙන් පසු අපි විසල් තුරු සහිත මහ වනයකට ඇතුළු වීමු. මද නැග්මක් ඔස්සේ දිවෙන මග ඊ ළඟට අවතීර්ණ වූයේ තැනිතලා ඉසව්වකට ය. දෙපස වනය හොඳින් වැඩී ඇත. වන මගේ වැල්ල මත සටහන් වූ අඩි සලකුණකි. එහි ප්‍රමාණය අනුව, විශාල දිවියකුගේ බව සහතික ය. එහෙත් එය පෙර දා හෝ පැය ගණනාවකට පෙර තැබූ අඩියක් බව සලකුණු අනුව කිව හැකි ය.
The White Four-ring Ypthima ceylonica
 ඉදිරියෙන්ම ගමන් කරන්නේ මා ය. මට පිටුපසින් තනුරත් රශ්මිත් ගමනේ යෙදේ. සේයා රූ සටහන් කර ගැනීමටත් වන සිරි නැරඹිමටත් මම තැන තැන පමා වෙමි. එය පිටුපසින් පැමිණි දෙදෙනාට වදයකි. “අපි ඉස්සරහට යන්න ද?” තනුර විමසූයෙන්, මම ඊට හරස් වීමි. ඔවුන් ඉදිරියෙන් ගිය විට මට සටහන් කර ගැනීමට වන්නේ ගස්ගල්වල සේයා රූ පමණි. “ඕගොල්ලො ටිකක් පිටිපස්සෙන් එන්න” මම කීවෙමි. “අපේ බෑග්ස් බර නිසා හෙමින් යන කොට අමාරුයි. අපි ටිකක් නැවතිලා ඉඳල හයියෙන් එන්නම්. අයිය යන්න.” තනුර පැවසූයෙන් මම සෙමින් ඉදිරියට ගියෙමි.
වන මග පසෙක ස්ථූපයක් මෙන් ගොඩ නැගූ වේ තුඹසකි. මම එය ජායාරූප ගත කළෙමි. අනෙක් දෙදෙනා තවමත් සිටි තැනම විය යුතු ය. දැන් මගේ ඇස් මානයේ ඔවුන් නොපෙනේ. මම සෙමින් ඉදිරියට ඇදුනෙමි. කඳු බෑවුම් නොමැති වන මග කෙළවර මහ නුගයකි. එතැන හැඳින්වෙන්නේ ‘නුගතලාව’ ලෙසිනි. දියඇල්ලට දිවෙන මග ගමන් කරන්නේ වම් පසට ය. අනෙක් දෙදෙනා  නොපෙනුනෙන් මම මදක් පොරොත්තු වීමි. ඔවුන් පෙනෙන මානයක නැත. තුරුකඳන් මත රතු පැහැ තීන්ත තවරා වන මග පැහැදිලිව සටහන් කර ඇති බැවින් ඔවුන් මංමුලා නොවනු ඇත. එතැන් සිට ඇත්තේ දළ බෑවුමකි. මම සෙමෙන් සෙමෙන් පල්ලම් බැස්සෙමි. නොබෝ වේලාවකින් දූවිලිඇල්ල පහළ ගඟ අසලට සේන්දු වූවෙමි. එහි ගං ඉවුරේ පඳුරු සහිත තණපිටියක් වැනි ඉසව්වකි. මී හරකුන් දෙදෙනකු එහි තණ උලාකමින් සිටිති. උන් පසු කර ගිය මා ගං ඉවුරේ වූ ගල්තලය මත හිඳ ගතිමි. ඇල්ල දෙසට යෑමට මෙතැනින් හැරී යා යුතු ය. තනුර හා රශ්මි තවමත් නැත. ගඟ අයිනෙන් පහළට සලකුණු කළ මගක් ඇත. මා ඒ ඔස්සේ පියමැන්නේ ඡායාරූපයකට නිමිත්තක් ඇත්දැයි සෝදිසියෙනි. කඳු පල්ලම් ඔස්සේ ඇදී යන මගේ එක් තැනෙක හරහට දිය දහරක් හමු වේ. ඒ හරහා විසල් දැව කඳක් පතිතව ඇත.
වේ තුඹසක්
හාත්පස අඳුර පැතිරුනෙන් මම වහා ජංගම දුරකථනය පනගන්වා වෙලාව බැලීමි. වෙලාව සවස පහට ආසන්න ය. අඳුර වැටීමට තවත් වැඩි වේලාවක් නැත. එබැවින් දැන් අනෙක් දෙදෙනා සොයා යා යුතු ය. කැමරා කාචය ගලවා, කැමරාවත් කාචයත් උරපොදියේ අසුරා ගනිමින් දෑත් සැහැල්ලුවෙන් තබා ගතිමි. පැමිණි මග ඔස්සේ ම මා වේගයෙන් ගමන් කළෙමි. පෙර ගිමන් හළ ගඟ අද්දර ගල් තලය වෙත ලං වන විට හොඳට ම විඩා වී සිටියෙන්, උරපොදිය ගල්තලය මත ගලවා දමා එහි වාඩිගතිමි. සගයන් දෙදෙනා තවමත් නොමැත්තේ මන්දැයි මහත් ගැටලුවකි. ‘මොකක්හරි කරදරයක් වෙලා ද? එක්කො පාර වැරදිලා ද?’ කුමක් වුව ද, ඔවුන් සොයා යනවා විනා අන් විකල්පයක් නැත. ‘ළඟ පාතක ඇත්නම් ඇහේවිනෙ. හූවක් දෙකක් කියල බලන්න ඕන’ මම සිතුවෙන්, ඊ ළඟ මොහොතේ මගේ හූ හඬ ග‍ඟේ ඝෝෂාව පරයා කඳු අතර රැව් දෙන හඬට මම සවන් දුනිමි. කිසිදු ප්‍රතිචාරයක් නැත.
නුගතලාව
 තවත් මොහොකත් මා එලෙසම සිටියේ මග දෙසට නෙත් යොමාගෙන ය. මෑත පඳුරු අතරින් කිසිවෙකු මෙදෙසට එනු පෙනේ. මිනිසකු විය නොහැකි ය. මම දෑස් දල්වා නිසොල්මනේ සිටියෙමි. මා දෙසට පියමනින්නේ දැවැන්ත දිවියෙකි. ඌ මා දෙසට සෙමෙන් සෙමෙන් ලං වේ. අහෝ! මා දැන් කුමක් කරම් ද? සිතුවිලි දහසක් එකවර සිතට දැනේ. රන්වන් පසුබිමේ වඩාත් අඳුරු පුල්ලි සහිත ඌ කෙතරම් තේජාන්විත ද? ‘ෂිට්! කැමරාව ගැලෙව්වනෙ’ ‘මේ ෂොට් එක නැතුව ඉඳල වැඩක් නෑ’ දිවියාට මගේ මනස් අරගලය ගැනවත්, මා ගැනවත් වගේ වගක් නැත. ඌ මා නොදුටුවාක් මෙන් ඒ අතටත් මේ අතටත් ඉව කරමින් මා අසලට ඇදේ. මරණ බියේ උච්චතම මොහොතේ මා නැගී සිටියේ කෙසේ දැයි මම නොදනිමි. ගං ඉවුරේ වූ විසල් ගස මතට මා පැන ගතිමි. මිරිවැඩිය තවමත් මා දෙපාවල රැඳී ඇත. එය ගෙන මෑත කරුවක රැඳ වූ මම දෑතින් බැදිය නොහැකි තරම් වූ දැව කඳ ඔස්සේ ඉහළට ගොඩ වීමි. කූඹි රැළක් මා සිරුර වසා පැතිරී සපාකන්නට විය. ‘කොටියා කනවාට වඩා’ මෙය සැපයෙකැයි මම ඉවසුවෙමි. මට ‘මරණ තුනක්’ සිහි වේ. සුළු පමාවකින් ඇදවැටිය හැක්කේ අඩි සියයක් තරම් වූ ප්‍රපාතයකට ය.

වල්පොළමුල්ලේ තණ පිටිය