දුම්බර 7 - දුම්බර වනයේ සමනොළ අඩවිය



මග දෙපසම අඩි තිහ හතලිහක් තරමට උසට වැඩුණු ශාක දැකියැකි ය. ඒවායේ තුරු වියන ආරුක්කුවක් විලසින් අප හිස ඉහළින් පිහිටා ඇත්තෙන්, අහස දිස්වන්නේ අතුපතර සෑදුණු කුඩා විවරවලින් පමණි. හිරු බැස යෑමට තවත් හෝරා කිහිපයක්ම තිබුණත් මෙහි අඳුර පැතිරී ඇත. “මෙතැන මුදුන වෙන්නැති” තනුර කීවේ, දෑස්මානයේ දිස්වන ඉහළ ම ස්ථානය පෙන්වමිනි. ඉන් ඉදිරයට මග දිවෙන්නේ බැස්මකට ය. එසේ නම් මුදුන විය යුත්තේ මෙතැන ය. “කෝකටත් අපි මෙතැන ජීපීඑස් පොයින්ට් එකක් දා ගමු.” මම පැවසූයේ, සැබෑ මුදුන මෙතැන දැයි කුකුසක් වූ බැවිනි. මුදුන එතැන නොවන බව පසක් වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඒ තුරු පිරි මග පසු කළ අපට නැවත හමු වූයේ උස්තුරු නැති තණ පිටියක් වැනි බිමකි. එහි තැන තැන නොයෙක පඳුරු ය. නෙක නෙක පැහැ මලින් හැඩ වූ බෝවිටියා, ගඳපානා වැනි පඳුරු අතරින් අප යන මග නැවතත් යොමු වන්නේ ඉහළට ය. ඒ අනුව මානිගල මුදුන ඇත්තේ තවත් ඉදිරියෙන් බව පැහැදිලි ය.
අනග රැඟුම් රඟන සමනළයන්
 නොබෝ වේලාවකින් ම අපට ඒ ඉසව්වට ලං වීමට හැකි විය. දැඩි සුළං හමා ගිය ද මෙහි තුරු ගොමුව නිසා එය එතරම් නො දැනුනේ, ගතට ය. කණට එය හොඳින් දැනිණි. හෝ හෝ හඬ නංවමින් සුළ‍‍ඟේ මිමිණුම මහා ඝෝෂාවක් බවට පත් වන්නේ මෙහි දී ය. විටෙක උස්ව නැ‍‍‍ඟෙන හඬ විටෙක වියැකී යන්නේ මුහුදේ රළ හඬ මෙනි. හමා යන සුළ‍ඟේ ආයාසයෙන් පියඹා යන සමනළ රෑනකි. උන් වැඩි වේලා අහසේ නොරැඳී ඉක්මනින් තුරු පතක් මත වසන්නේ සුළං පහර දරා ගැනීමට අපහසු නිසාවෙන් විය යුතු ය. දෙදෙනෙකු අනඟ රැඟුමක ය. උන්ට නම් සුළඟ වගේ වගක් නැති සේ ය. තුරු පතක් මත වසා සිටි සමනළ යුවලට මා කෙතරම් සමීප වී සේයා රූ සටහන් කර ගත්ත ද උන් නොවේ මදක්වත් සෙලවුණේ.  වල්කොල්ලන් කොළයක් මත වසා සිටි තවත් සමනළයෙකි. උගේ තටු සිඳී ගොසිනි. “මූ නම් මැරිල වගේ..” තනුර සමීප වත්ම බිඳුණු අත්තටු සලමින් ඌ ඉගිලී ගියේ ය. අත්තටු සි‍‍ඳෙන්නට ඇත්තේ විලෝපියෙකු ගේ ප්‍රහාරයකට ලක්වීමෙන් විය හැකි ය.  දුඹුරු පැහැ සමනළයින් වැඩිපුර දැකිය හැක්කේ පොළොවට සමීපයෙනි. නෙක වර්ණ අනෙකුත් සමනළයින් තුරු වියනේ වෙනත් ස්ථරවල දැකියැකි ය. නකල්ස් රක්ෂිතය සහ අවට පෙදෙසේ සමනළ විශේෂ හැටක් පමණ ගැවසේ. ආවේණික විශේෂ පහක් ද, තර්ජනයයට ලක් වූ විශේෂ 8ක් ද ඊට ඇතුළත් ය.
තටු සිඳුණු සමනළයෙක්
 මානිගල ‘සමනළ අඩවිය’ පසු කර පල්ලම් බසිමින් සිටි අපට වම්පස නිම්නයෙන් ඔබ්බේ ඈතින් ඈත දිස් වූයේ සැබෑ සමනොළ අඩවියයි. සමනොළ කන්දේ විශේෂිත හැඩය නොවන්නට එය හඳුනාගත නොහැකි වනු ඇත. වලාපටලයකින් එය වැසී ගියෙන් නැවත එය දැක ගැනීමට අපට අවස්ථාවක් නො ලැබිණි. විටින් විට වැටෙන හිරිපොද නොතකා ම අපි පල්ලන් බැසීමු. ඒ ඉසව්වේ මග දෙපස කැලයේ වැවෙන කරපිංචා පඳුරු රැසක් ම දැකගත හැකි ය. ඒවායෙන් බොහෝමයක් ගස් ලෙස නොව නො උස් පඳුරු ලෙස සැකසී ඇත්තේ, මිනිසුන් අතු ඉති කඩාලන හෙයිනි. පල්ලම් බසින විට, විටින් විට තුරු ගොමුව නො උස් තැනෙක දී  පහළ නිම්නය දිස් වේ. එක් පසෙකින් තෙළිගමු ඔයේ වැද්දාපිනි ඇල්ලෙන් පහළ කොටස දිස් වේ.
Otocryptis nigristigma
තවත් පසෙකින් වියළි කලාපයේ ලොකු කුඩා වැව් දිස් වන්නේ රිදී පැහැ පළසක් ලෙසිනි. තැන තැන මතුව පෙනෙන ශේෂ කඳු රිදී පළසට විසිතුරු රටාවක් මෙනි. අප පහළ බසින්නේ දළ බෑවුමක් ඔස්සේ ය. වන මගේ කොළ රොඩු විසිර ඇති හෙයින් ලිස්සනසුලු ය. අඳුර වැටීමට පෙර පල්ලම් බැසිය යුතු බැවින් අපි ගමන් කළේ මදක් වේගයෙනි. එනිසා ලිස්සා යෑමට තිබූ ඉඩකඩ ද වැඩි ය. එහෙත් අප නොවේ පමා වූයේ. “මෙන්න කටුස්සෙක්!” කොළ රොඩු ගොඩේ දිරා ගිය කොටයකි. ඒ මත හිස ඔසවා සිටින කුඩා කටුස්සා පහසුවෙන් ඇසට හසු නොවන්නේ, උගේ ශරීර පැහැය ඒ අවට පැහැයට සමාන බැවිනි. උගේ සමීප සේයාරූ කිහිපයක් ගත් අප යුහුසුළු වූයේ ඉක්මනින් පල්ලම් බැසීමට ය.
තවත් ටික දුරක් පල්ලම් බැසීමෙන් අනතුරුව මග දෙපසට බෙදී යන ස්ථානයක් හමු වේ.
පිටවල පතන ඈතින් දිස් වේ
එතැන වටරවුමක් ලෙස ගල් තබා සකසා ඇත්තේ ඒ මත අසුන් ගෙන විඩා නිවා ගැනීමට හැකි අයුරකිනි. නැවතත් වැසි රැල්ලක් හමා යෑමට වූයෙන් මෙතැන මඳක් නතරව විවේක ගැනීමට අපි සිතුවෙමු. තවමත් කිසිම අහරක් බුදීමට නො හැකි වූයෙන් මේ ඒ සඳහා සුදුසු මොහොතකි. ඉතිරිව තිබූ ජල ස්වල්පය ද පානය කිරීමට දැන් සිදු වේ. අප අනුභව කළේ කලින් පිසූ අහරකි. සප්පායම් වී හමාර වත්දී වැස්ස ද තුරල්ව තිබූ බැවින් ඉදිරි මග ඔස්සේ ගමන් කළෙමු. එය පහළට බසින මගක් නොවේ. කන්දේ කෙළවරකට ය එය දිව යන්නේ. එම අඩිපාර ඔස්සේ පියමං කළ විට නිම්නයට විවර වන හෙළ අද්දරට යා හැකි ය. වැඩි වේලාවක් එහි නො රැඳී අපි ආපසු හැරුණෙමු. අන් දෙසට වූ මගෙන් පහළ බැසීමට ය දැන් ඇත්තේ. වැඩි අපහසුවකින් තොරව පහළට යන අපට වළි කුකුළන්, වඳුරන් ආදී වන සතුන්ගේ කෑ මොර දීම් පැහැදිලිව ඇසේ. විටෙක අප ඉදිරියේ මග හරහා වළි කුකුළෙකු වේගයෙන් ඇදී යයි. දැඩි බෑවුම් සහිත මගහි ගල් කුළකින් ඇහැරී ගිය තැනෙකි. ඒ අස්සෙන් රිංගා පහළට බැසිය හැකි වුවත් ගල් කුළ නිසා ඉදිරිය දිස් නොවේ. ඒ අසල අතු බිඳෙන හඬකි. “ස් ස්.. අලියද දන්නෙ නෑ...” නැවතත් තනුරට අලි භීතිකාව වැළ දී ඇති හැඩකි. මා වත මත මැවුණු මන්දස්මිතියේ අරුත වටහා ගැනීමට ඔහු වහා සමත් විය. “වඳුරො වෙන්න ඇති.. නේද?” ඔහු පෙරලා විමසී ය. මා එයට කිසිවක් පැවසීමටත් මත්තෙන් වඳුරු තඩියෙකු අප අසල ගසක සිට අඩි තිහ හතලිහක් පහළින් වූ තුරුහිසක් මතට පැන්නෙන් හයා ගත් මුවෙන් යුතු අප එදෙස බලා සිටියෙමු.
අලි බිය දැන වූ වඳුරු තඩියා
ඉහළ සිට එල්ල වූ වසුරු පිඩ හිස නොවැකී ගියේ අනූනවයෙනි.
දැන් අප ගමනාන්තය පෙනෙන තෙක් මානය දක්වා පල්ලම් බැස ඇත. “ඩෝං ඩෝං....” වෙඩි හඬ කිහිපයකි. එක වෙඩිල්ලක් හඬ කිහිපයක් ලෙස ඇසෙන්නේ අවට කඳු වලල්ලේ වැදී නැ‍ඟෙන දෝංකාරය නිසාවෙනි. එක වෙඩිල්ලක් නොව, එක පිට එක නොනවතින හඬ පෙළකි. මේ කුමන අරුමයක් ද? ඊ ළඟ මොහොතේ එය අපේ මතකයට නැගිනි. පිටවල තැන්නේ ‘අලි පැන්නීමක්’ සිදු වන බව පෙරදා අපට පැවසූයේ ලොකුබණ්ඩා මහතා ය. මේ ඇසෙන්නේ ඒ ‘අලි වෙඩි’ හඬ ය.  අපි නිසොල්මනේ පල්ලම් බැස්සෙමු. තෙලිගමු ඔය වන නිවහන අසල අපගේ ගමනාන්තය සනිටුහන් වේ. සැදෑ අඳුර දසත පැතිරී යද්දී අපි ඒ වෙත සේන්දු වුණෙමු.


තෙලිගමු ඔය වන නිවහන අසල