දුම්බර 10 - මේව දෙයියන්ගෙ අඩවි ආවට ගියාට යන්න බෑ!



එක ම එක කෙටි පණිවුඩයක් පමණි. ඉන් එහා කිසිදු තොරතුරක් නැත. එතැන් පටන් නිරතුරුවම ඔවුන් ඇමතීමට උත්සහ කළෙමි. එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත. ලොකුබණ්ඩා මහතා ද එදිනට පවුලේ අය සමඟ විනෝද චාරිකාවක් යෑමට යොදාගෙන ය. එසේ තිබිය දී පවා ඔහු කළ හැකි සෑම උපකාරයක් ම කළේ ය. ඔහුගේ බිරිය පාන්දරින් ම බත්මුල් තුනක් සකසා දුන්නේ, අතරමං වූ දෙදෙනාටත් සරිලන පරිදි ය. තෙසක රියක නැගුණු මා පිටවල සිට වැද්දාපිණි ඇල්ල අසලට ගියෙමි. ඇටන්වලින් කවුරුන් හෝ කැටුව යෑම යෙහෙකැයි සිතූයෙන් එවැන්නෙකු පිළිබඳව විමසුවෙමි. “ආගරරත්න කියල ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයාව එක්කන් යන්න” ලොකුබණ්ඩා මහතා පෙර දිනයේ දී පැවසූවා මට මතක ය. ඇටන්වල ගමමැදින් වනයට පිවිසෙන විට අවසානයට හමු වන්නේ ඔහුගේ නිවස ය. ගෙමිදුලේ තවත් කිහිප දෙනෙකු සිටිනු දුටුවෙමි. වන සැරියක් යෑමට පැමිණි පිරිසකි. “නාගරරත්නලගේ ගේ මේක ද?” මම ඔහුගේ නම උසුරුවේ වැරැදි ලෙස ය. “මං තමයි” හීන්දෑරි තලතුනා හාදයෙක් ඉදිරියට ආවේ ය. මම ඔහුට සිද්ධිය කෙටියෙන් කීවෙමි. “මේව දෙයියන්ගෙ අඩිවි මහත්තය. ඔහොම ආවට ගියාට යන්න බෑ” ඔහුගේ පළමු ප්‍රතිචාරය විය. පැමිණ සිටි පිරිසේ අය ද උපදෙස් දීමට ඉදිරිපත් වන්නේ, ‘මේ මොන වැල් බයිලාවක්’ දැයි මට සිත් විය. එන්න එන්න ඇතුළට ඇවිල්ල තේ එකක් බීල යමු. “කමක් නෑ. බොහෝම ස්තුතියි! ඔක්කොටම වඩා මට වෙලාව වටිනවා. මම ගිහිං එන්නම්.” ඔහුගේ සේවය ලබා ගැනීමට පිරිසක් පැමිණ ඇති නිසා මා කැටුව යෑමට ඔහුට නො හැකි ය. මෙතැන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සුනංගු වීමට නොහැක්කෙන්, මම ඔවුනට සමුදුනිමි.

 මා ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයකි. ඉමක් තෙරක් නොදන්නා මහ වන මැද අතරමං වූ දෙදෙනකු තනිපංගලමේ සොයා යෑම,  කළ හැක්කක් දැයි කුකුසක් නොමැත්තෝ කවරහු ද? මා දැන් සිටින්නේ මානිගලටත් වල්පොලමුල්ලටත් වන මග බෙදී යන මං සංධියේ ය. මේ ඉසව්වෙන් ඔබ්බට දුරකථන සංඥා පිළිබඳ අපේක්ෂා තැබිය නො හැකි ය. කිසිවකු හෝ අමතන්නේ නම් එය දැන්ම කළ යුතු ය.  මම ඊට සුදුසු ම තැනැත්තා ඇමතීමි. “හරි.. අනිත් දෙන්නගෙ නොම්බර  මට දෙන්න.” අනුමගමනය කළ යුතු පියවර ඉතා නිරවුල්වත් පැහැදිලිවත් තෝරා බේරා දෙන්නට මා මිතුරු මෙන්ඩිස් වික්‍රමසිංහයන් යුහුසුළු විය. සත්ත්ව විද්‍යාඥයෙකු වන හෙතෙම වන අත්දැකීම් බහුල, දුෂ්කර තත්ත්ව යටතේ දිවි ගලවා ගැනීම පිළිබඳ විශේෂ දැනුමැත්තෙකි. වල්මත් වූ දෙදෙනාටත්, මින් ඉදිරයට මටත්, දුරකථන සංඥා ලැබෙනු ඇත්තේ අහම්බෙනි. එනිසා ඔවුන්ටත් මටත් එකවර සංඥා ලැබීම, දුලබ සිදුවීමක් වනු ඇත. පිටස්තරින් අප දෙපිරස වෙතම සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වඩා ඵලදායී ක්‍රියාවකි. මෙන්ඩිස්ගේ සැලසුම එයයි. එය ඵල දැරීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඔහුට හැකි විය. මට මහත් අස්වැසුමකි. එහෙත් අලි ප්‍රහාරය හේතුවෙන් තනුරගේ පාදයක් ආබාධිත වූයෙන්, ගැටලුවක් වන්නේ ගමන් වේගය පිළිබඳව ය. එතෙකුදු නොව ඔවුන් සිටිනා ඉසව්ව පිළිබඳ අවබෝධයක් ද ඔවුන් සතු නොවේ. පාර සොයාගැනීමට මෙන්ම, මෙතැන් සිට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මෙන්ඩිස් ඔවුන් වෙත ලබා දී තිබුණි. ඔවුන්ට සිදු වූයේ කුමක් දැයි දැන ගනු රිසියෙන්, මා නොයිවසිල්ලෙනි. එහෙත්, ඉවසිය යුතු ය. මුල් තැන දිය යුත්තේ තවත් උවදුරකින් තොරව එකිනෙකා හමුවීමට ය.  මා වල්පොළමුල්ලේ පාළු නිවෙස වෙත ගොස් ඔවුන් පැමිණෙන තුරු එහි රැඳී සිටින බව දැනුම් දුන්නෙමි. එතැන් සිට දුරකථන සංඥා ‍නොලද්දෙන්, හුදෙකලාව ම වල්පොළමුල්ල දක්වා ගෑටුවෙමි.

වන මැද හුදෙකලාව ගමන් කිරීම පිරිසක් කැටුව ගමන් කරනවාට වඩා වෙසෙස් අත්දැකීමකි. මෙය පෙර දා රැයේ සිදු කළ බිය ජනක, ත්‍රාස ජනක ගමනට වඩා වෙනස් ය. නිස්කාන්සුවේ සොබාසිරි විඳීමට මනස නිරවුල් නැතත්, කලබලයකින් තොරව වටපිට විපරමෙනි, මා ගමන් කළේ. නෙක නෙක පැහැ සමනළුන්, ලොකු කුඩා කෘමි සතුන්, බිම වෙසෙන සියපා සතුන් ඈ නා නා විධ ජීවී විශේෂ මගේ අවධානයට ලක් විය. විටෙක අතු බි‍ඳෙන හඬ ද, කිසියම් සතෙකු පැන දුවන හඬ ද ඇසේ. එවන් විටෙක මා ගල්ගැසී විමසුම් බැල්මෙන් පසුවෙමි. වල්පොළමුල්ල දක්වා ඇත්තේ කිලෝමීටර් හතරකට වඩා අඩු දුරකි. වැඩි වේලා නොගොස් එහි ළඟා වූයෙමි. පාළු නිවෙස වෙත ළඟා වත්ම, මා පිළිගැනීමට මෙන් එහි සිටියේ මීහරක් රංචුවකි. තණ උලා කෑම පසෙක ලා උන් සියල්ලෝම කන් කෙළින් කරගෙන, හිස ඔසවාගෙන මා දෙස බලා සිටිති. ගත වූයේ නිමේෂයකි. උන් සියල්ලෝ කැලේ තලාගෙන පැන දිව්වෝ ය. මා සෙමෙන් සෙමෙන් ගොස් පාළු නිවසේ පිල්කඩ මත වාඩි ගතිමි. එකෙනෙහිම නැවත නැගී සිටියේ මෙහි සිටිනා කුඩා කිනිතුල්ලන් සිහිවීමෙනි. ඒ වනවිටත්, පෙර දා එල්ලුණු කිනිතුල්ලන් නිසා පීඩා විඳිමිනි මා සිටියේ.
 දුරකථන සංඥා නොමැත්තෙන් මිතුරන් පැමිණෙන තුරු බලා සිටීම හැර කළ හැකි අන් කිසිත් නැත. හෝරාවක් දෙකක් එළෙස සිටියෙමි. තවමත් ඔවුන් නැත. පාලු නිවෙසේ මිදුල කොනක වූ බංකුව මත වාඩිගෙන එක් බත් මුලක් ලිහා ගතිමි. පරිප්පු, කොළ මැල්ලුමක් හා අල බැදුමක් සහිත ඒ බත්පත දිව බොජුනක් වැන්න. දිවට දැනෙන රසය ද සාපේක්ෂ ය. නිවසේ සුවපහසුව විඳිමින් මේ බත්පත බුදින්නට ගත්තේ නම්, මෙතරම් රසයක් නො දැනීම අරුමයක් නොවේ. වෙහෙස, ඇඟපතේ තෙහෙට්ටුව මෙන්ම මෙවන් වටපිටාවක ඇතිවන මානසික තත්ත්වය විසින් ද බත්පතට අමතර රසයක් එක් කර ඇති සේ ය. දිය බඳුනේ ඉතිරිව තිබූ අන්තිම බිඳ දක්වාම හිස් කර දැමූ මම අලුත් දිය බඳුනක් පුරවා ගැනීම සඳහා දොළ දෙසට ගියෙමි. කෙටිපණිවුඩයක නාදය දුරකථනයෙන් ඇසේ, මම යුහුසුළුව එය සුරතට ගෙන කියැවීමි. සරදමක මහත! නගරයේ සුපිරි බොජුන්හලක අද රෑ විශේෂිත කෑම වට්ටෝරුව එහි දැක්වේ. මට ඉන් කාරියක් නැත. එහෙත් මෙය මට සුබ පණිවුඩයකි. මින් කියැවෙනුයේ මෙතැනට සංඥා ඇති බවෙකි. එතැන පිහිටි ගල්කුළක් මතට නැගගත් මා දුරකථනය උස් කොට රඳවා ගත්තේ වඩාත් හොඳින් සංඥා ලැබෙනු පිණිස ය. මම වහාම මෙන්ඩිස් ඇමතීමි. “එයාලට ආයෙත් පාර වැරදිලා. දැන් හොයාගෙන එනවා. නැවත සම්බන්ධ කරගන්න පුළුවන් වුණු ගමන් මම කියන්නම්” ඔහු කීවේ ය. දියබඳුන පුරවා ගත් මා නැවත පාළු නිවෙස වෙත ආවෙමි. මිතුරන් පැමිණෙන්නට තවත් සෑහෙන වේලාවක් ගත වනු ඇත. කැමරා ආම්පන්න රැගත් මා වෙල් එළිය දෙසට පිය මැන්නෙමි. මෙහි සිට නිරීක්ෂණය කළ හැකි දෑ බොහෝ ය. තුමුල ගිරි ශිකර පෙළ සැඳෑ ආලෝකයෙන් නැහැවී ඇත. ඈත දිස්වන කඳු නිම්න අතර රිදී පැහැ රේඛාවක් ලෙසින් දූවිලි ඇල්ල දිස් වේ. එදෙසට මා ගිය ගමන් මග අනුමාන කරන්නට උත්සාහ කළෙමි. ‘ආං අර කන්දේ මේ ඉසව්වෙන් මා ගියා නොවේ දැයි’ මම සිහිපත් කළෙමි. මට කොටියා හමු වූ ඉසව්ව ද අනුමාන කළෙමි. එහෙත් එය මෙපිට කන්දකට වැසී ඇත.
වල්පොළමුල්ලේ වල්දොඩම් ගස්
සෑහෙන වේලාවක් එහි ගත කළ මා නැවතත් දොළ මග ආසන්නයට ගියේ දුරකථන සංඥා බලාපොරොත්තුවෙනි. වෙලාව සවස 4.30ට පමණ ඇත. තනුරගෙන් ඇමතුමකි. “අපි ආයෙත් අතරමං වෙලා. ඔයාට පුළුවන් ද අපි සමනල්ලු පිංතූර ගත්ත තැනට එන්න. එතැනින් තමා පාර වැරදුනේ.” එතැනට එතරම් දුර නැත. මම වහාම ගමන් ඇරඹුවෙමි. අඩහෝරාවකින් මා එහි ළඟා වුව ද, ඔවුනගේ සේයාවක් වත් නැත. හැකි තරම් වෙර ගෙන මා හූ හඬ තැලීමි. ඒ හඬ කඳු නිම්න සිසාරා රැව් පිළිරැව් දෙමින් නැවත මා සවනත වැකේ. එහෙත් ඔවුන්ගෙන් කිසිදු පිළිතුරක් නැත. ඒකාන්තයෙන්ම ඔවුන් සිටින්නේ වෙනත් ඉසව්වක ය. අපි සැවොම මායාවකට හසු වී ඇත. ඔවුන් සිටිනා ඉසව්ව පෙර පැමිණි තැනක් මෙන් පෙනෙන්නට ඇත්තේ ඒ මනෝ මායාව නිසා ය. මම වහා ආපසු හැරුණෙමි. මා මෙතැනට පැමිණියේ සියල්ල වල්පොළමුල්ලහි දමා ය. අඳුර වැටුනහොත් මට එහි යා ගත නොහැකි වනු ඇත. එබැවින් පය ඉක්මන් කොට ආපසු ගියෙමි. නැවත දොළමගට පිවිසි මම තනුරලාගෙන් ඇමතුමක් අපේක්ෂාවෙන් රැඳුනෙමි. ඇමතුමක් නොලද්දෙන් සියලු තතු මෙන්ඩිස්ට පවසා, මා රාත්‍රිය වල්පොළමුල්ලේ ගත කරන බවත්, මෙතැන් සිට හෙට පාන්දර වන තුරු දුරකථනය ක්‍රියා විරහිත කරන බවත් පැවසීමි.
වහලයේ එල්ලෙන පැදුරු මිටියෙන් එකක් ගත්තෙමි
 මා පාළු නිවසට ළඟා වූයේ දසත අඳුර පැතිරෙත්දී ය. ඉතිරි බත්මුල් දෙක හැර වෙනත් කිසිදු අහරක් මා සතු නොවේ. තවත් බත්පතක් ලිහා අනුභව කළෙමි. හිමිදිරියේ පිසූ අහරක් වුව ද මෙහි ඇති සිසිල් පරිසරය නිසා, එය නිරුපද්‍රිත විය. දැන් රාත්‍රිය තට්ටතනියම ගත කළ යුතු ය. පෑලදොරින් ගෙට රිංගාගත් මා නිදන්නට තැනක් සොයා ගතිමි. විදිලි පන්දමේ එළිය සුරැකිය යුතු ය. අඳුර නැසීමට වෙනත් යමක් දල්වා ගත හැකි නම්...? විසි කර දැමූ චිමිනි ලාම්පුවක කැබලි කිහිපයක් පිල්කඩේ තිබෙනවා මට මතක ය. එහි කැබලි එකලස් කොට ලාම්පුවක් සකසා ගැනීම අමාරු කාරියක් නොවිණි. කිසිවෙකු සඟවා තැබූ භූමිතෙල් බඳුනක් පෙර දා රැයේ දී අපට හමු විය. දැන් ඉන් ප්‍රයෝජනයක් ගත යුතු මොහොතයි. මම අපූරු ලාම්පුවක් සකසා ගත්තෙමි.
රෑ එළිය කළ කුප්පි ලාම්පුව