දුම්බර 6 - ගැහැට විඳ ඇහැට ප්‍රිය දෙන මානිගල කුරු තුරු



තුරුපත් පැහැගැන් වී හානිකර විකිරණ පරාවර්තනය කෙරේ

 තවත් මොහොතකින් මිනිස් රූ කිහිපයක් ලන්ද කොණෙන් මතු වනු පෙනිණි. “අයියෙ තව ගොඩක් දුර යන්න තියෙනව ද?” එකෙකු අපෙන් විමසන්නේ හති හලමිනි. ඔහුගේ වත මත මැවෙන්නේ ‘හපොයි තවත් දුරක් නම් යන්න බැ‍රියෝ...’ යැයි කියන්නාක් මෙන් හැඟීමකි. කණ්ඩායමේ සිටි කොල්ලන් සියල්ලෝ ම පාහේ විඩා බර ගතින්‍‍, මැලවී ගිය වතින් යුතු වූවෝ ය. ඇතැමෙකු අහුලා ගත් දඬු කැබැල්ලක් හැරමියක් සේ අත දරා සිටින්නේ ගත වාරු කර ගැනීමට ය. ඔවුන් යා යුත්තේ අප පසු කර ආ ගමන් මග ය. “එච්චර දුරක් නෑ..” අප පැවසූයේ ඔවුන් අස්වසාලීමට ය. එවදනින් නව පණක් ලද්දා සේ ඔවුහු අපට සමු දී යන්නට ගිය හ.
කෑර විශේෂයක්
 හෙළ අද්දර වන මල් ගොමුව අපට අත වනන්නාක් වැනි ය. අපි එදෙසට පියමං කළෙමු. පහළ නිම්නය පුරා පැතිරී ගිය කුඹුරු යායත්, ගිනි පෙට්ටියක් තරමට දිස් වන පුංචි පුංචි ගෙවල් පෙළත් කොතෙක් වේලා නෙත් යොමා සිටිය ද ඇති නොවන තරම් සොඳුරු හැඟුමක් දනවයි. මා අනිමිසලොචනයෙන් කෙතරම් වෙලා ගත කළේ දැයි නිනව්වක් නැත. විටින් විට කඳු මුදුනින් පහළට බානා මීදුම් පටලයක් නිම්නය පුරා පැතිරී යයි. නැවත ක්ෂණයකින් වියැකී යයි. “ඔතන බලාගෙන ඉන්න. එක පාරට හුළඟ එනවා.” ඒ ඔවදන තනුරගෙනි. හෙළ අද්දරින් අඩියක් දෙකක් පහළ වූ කුඩා ගැටියක ය මා සිටින්නේ. පය පැකිලුණ හොත්, මියැදීමට පෙර තත්පර කිහිපයක් අහසේ සැරිය හැකි ය. එවන් පෙළහරකට මා සූදානම් නොවූයෙන්, කුරු ශාකයක් වැරෙන් අල්ලා ගෙන ගොඩ වූයෙමි.
Gentiana විශේෂයේ මලක්
 කහ පැහැයෙන් මල් පිපී දිලෙන්නේ කෑර විශේෂයකට අයත් කුරු ශාක මත ය. වසර සිය දහස් ගණනක් තිස්සේ සුළ‍ඟේ පීඩාවෙන්  පන්නරය ලද ‍මෙම තුරු ගොමුව විඳි ගැහැට එපමණකින් නිමා නොවේ. සියලු ජීවීනට ජලය ඕනෑ ය. එහෙත් මෙම තුරු ගොමුවට දිය ලැබෙන්නේ ද ඉතා සුළුවෙනි. එපමණ ද? නැත. මෙකී නොකී බොහෝ ගැහැට අතරේ ගිරිශිකරයක් මත මෙතරම් උසින් පිහිටීම ද තවත් කරදරයක් කැන්දාගෙන ඒ. ඒ, ඕනෑවට වැඩියෙන් හිරු කිරණට ලක් වීම ය. පොළොවෙන් ඉහළට යද්දී ජීවීනට හිතකර නොවන විකිරණ ප්‍රමාණය ද වැඩි වේ. මේ සියලු අලකලංචි අරබයා මේ තුරු ලතා අපූරුවට හැඩගැසී ඇත. කෑර ගොමුවේ ලපටි තුරු පත් දිදුලන රතු පැහැයකින් යුතු ය. එලෙස සෑදී ඇත්තේ නිකමට නොවේ. රතු පැහැ මතුපිටක් අපට දිස් වන්නේ, රතුපැහැය ඉන් පරාවර්තනය වන නිසා ය. එනම්, ඒ තුරුපත් තුළට හිරු කිරණේ රතුපැහැය උරා ගන්නේ නැත. එවිට ඒ කිරණ පරාසයෙන් බේරී සිටිය හැකි ය.
ඇත්අඩි පැළෑටිය
 මදක් ඔබ්බට යද්දී, සුදු පැහැ මලින් සැරසුන කරඹ ගොමුවකි. ඒවා ද ‘තැනේ හැටියට ඇනේ ගසා’ ඇති සේ ය. තැන තැන සුදු මලින් සැරසුන කරඹ පඳුරු ද කුරු ශාක ලෙස ය, දිස්වන්නේ. මේවායේ කළුපැහැ කුඩා විලිකුම් ඵල, සියොතුනට දිව බොජුනකි. තැන තැන මලින් ගැවසි පඳුරු පසු කර ඉදිරියට ඇදෙන අප දෑස් මානය තෙක් දිස් වන්නේ වියළී ගිය තණ පළස ය. එය කොළ පැහැයට වඩා දුඹුරු පැහැයෙනි දිස් වන්නේ. එබිම එතරම් වියළී ගොසිනි. වියළුණු තණ පත් අතර නිල්මිණි කැටයක් සේ දිලෙන කුඩා වන මලකි. එහි සේයා රූ ගැනීමට තණ පලස මත වැතිර ගත යුතු ය. මෙය Gentiana විශේෂයේ මලක් විය හැකි ය.   මෙවැනි වන මල් තණ පලසේ තැණ තැණ දැකි ය. හැකි ය. පුළුල් පිටියක් සේ තණ පලස පැතිරී ඇති නිසාවෙන් නිශ්චිත ගමන් මග කුමක් දැයි පැහැදිලි නොවූයෙන් අපි යා යුතු දෙසට නිදහසේ ගමන් කළෙමු. තණ පිටිය බෑවුම් වන එක් කෙළවරක දිය නැති වලකි. වස්සාන කාලයේ මෙය දියෙන් පිරී තිබුණු ලකුණු තවමත් දක්නට ඇත. දැන් නම් එහි අඩියේ මඩ පවා ඝනීභවනය වී ඉරි තැලී ගොස් ඇත. මෙහි සිටි ජීවීන්ට කුමක් වන්නට ඇත්ද,  දැන්නම් මෙහි ජලජ ජීවියෙකුට තබා පණකෙන්දක් ඇති කිසිම සතෙකුට විසිය නොහැකි තරම් ය. වස්සානයේ දී උන් නැවත මතුවන්නේ කෙසේ ද? ඒ මෙහි ඇති අපූර්වත්වයයි. මෙහි විසිය හැක්කේ වසර දහස් ගණනක් තිස්සේ මේ පරිසර රටාවට හැඩ ගැසුණු ජීවීනට පමණි. ගල්පර මැඩියා එවැන්නෙකි. වස්සාන කාලයේ එළිබසින ඌ ගිම්හානයේ දී සැඟ වී නිද්‍රාවට පත් වන්නේ ගැඹුරු ගල් කුස්තුර තුළ ය. මුළු ලොවෙන්ම මේ පරිසරයේ පමණක් දැකිය හැකි ජීවීන් සෑදී ඇත්තේ එසේ ය. යම් හෙයකින් මේ පරිසර තත්ත්ව වෙනස් වුවහොත් ඔවුන් මුළු ලොවෙන්ම තුරන් වී යනු ඇත. 
නිදිකුම්බා
 පිපාසය තදින් දැනේ. එහෙත් තිබෙන දිය සොච්චම අමාරු අඩියක දී විනා නො බීමට ස්වයං වාරණයකට පැමිණියෙන්, දිවෙන් දෙතොල තෙමා ගනිමින් පිපාසය අමතක කළෙමු. තණ පළස මතින් අපි කිලෝමීටරයකටත් වැඩි දුරක් ඇවිද ගියෙමු. දැන් තැන තැන ඝනට වැඩුණු පඳුරු දැකිය හැකි ය. ඒ අතර ආක්‍රමණශීලී ගඳපානා වැනි විශේෂයන් ද දැකියැකි ය. මෙහි සුලබව දැකියැකි අලංකාර මල් පිපි ශාකයක් වන්නේ හීන් බෝවිටියා විශේෂයකි. ඇතැම් තැනෙක කුරු ශාක ලෙස ද හැඩගැසී ඇති මේවායේ මල් නටුවට ඉහළ කොටසේ සිහින් කටු වැනි බූව පිහිටා ඇති අයුරු දැකිය හැකි ය. මෙය ද මේ ශුෂ්ක පරිසරයේ දී පිහිට වන්නා වූ අනුවර්තනයකි.
වියළී ඉරිතැලීගොස් ඇති දිය කඩිත්ත
කරඹ (Carrista Spinarum) සියොතුන්ට හොඳ අහරකි
දැන් අපට පහසුවෙන් දිස් වන්නේ රිවර්ස්ටන් කඳු පෙළ ය. නමුණු කුළ කඳු ලඳු කැළෑවෙන් ආවරණය වී ඇති බැවින් මේ දෙසට නො පෙනේ. “මේක රිවර්ස්ටන් මුදුන නම් කුළුන පේන්න එපායෑ” තනුර විමසන්නේ ය. සැබවි. එහෙත් එය මීදුමෙන් වැසී ගොසිනි. කුළුන තබා කඳු මුදුනවත් හරි හැටි දිස් නොවේ. ගමන් ගන්නා අතර තුර අප වරින් වරට ඒ දෙසට නෙත් යොමු කළේ, මීදුම පහව ගොස් ඇති දැයි විපරම් කිරීමට ය. වරෙක තත්පර කිහිපයකට පමණක් ඒ මොහොත උදා විය. කඳු මුදුනේ ඇති සම්ප්‍රේෂණ කුළුනු සියල්ල එවර දිස් විය. එපමණක් නොව සමනොළ කඳු පන්තිය දක්වා විහිදී යන කඳු වලල්ල ම එවර අපට දැක ගැනීමට හැකි විය. ඒ සියල්ල දිස් වන්නේ අප පෙර දා රැය පහන් කළ පිටවල පතන ඉසව්වට ඔබ්බෙනි.
 නැවතත් අප ඇතුළු වූයේ කැලයකට ය. දැන් තණ පලස දක්නට නැත. තැන්න ද හමාර වී දැන් ක්‍රමයෙන් නග්නට ඇත්තේ කන්දකි. අප මේ ගමන් කරන්නේ මානිගල මුදුන දක්වා ය. පිටවල පතන සිට බැලූ විට වම් දෙසින් පෙනෙන මුදුන දක්වා ය. නැවතත් හිරිපොදක් හමා යයි. එහෙත් අප දැන් සිටින්නේ වන ආවරණයක් තුළ ය. මුදුනට නැග්ග ද උස්ව වැඩුණු වන ආවරණය නිසා එහි සිට හාත්පස දසුන දැකීමට නම් හැකි නො වනු ඇත. එහෙත් මග වැටී ඇත්තේ කඳු මුදුන හරහා ය. වැස්ස තුරල් කළෙන් අපි එදෙසට පිය නැඟුවෙමු. 



Osbeckia rubicunda  -   හීන් බෝවිටියා විශේෂයකි