දුම්බර 5 - කුරු තුරු මල් ගොමුවෙන් මිනිස් රුවක් මතු වේ!




  
 දඬු මිටිය කරින් ගත් ගැමියා ලහිලහියේ පල්ලම් බැස්සෙන් අපි කඳු මුදුනට යන මග ඔස්සේ පිය නැගුවෙමු. දෙපස ඇත්තේ එතරම් නො උස් කැලෑවකි. ඔහු ලී දඬු කපා ගන්නට ඇත්තේ මේ කැලෑ රොදෙන් වන්නට ඇත. “ගමේ මිනිහෙක් කෝටුවක් කැපුවොත් තමයි වන සංරක්ෂණෙන් අල්ලන්නෙ. ලොකු ලොකු අය ලොකුවට කරන වින්නැහි ගැන කවුරුත් කතා කරන්නෑ” නිතර නැගෙන මැවිසිල්ලකි. ඒ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුව ද වනය සමග සහජීවනයෙන් කටයුතු කිරීමට ගම්මුන්ට කියා දීම, වනය සුරකින්නන්ගේ යුතු කමකි. වන සම්පත සුරැකීම ඵලදායී ලෙසින් කළ හැක්කේ එවිට ය. තම අවට පරිසරය, එහි වටිනාකම හොඳින් අවබෝධ කරගත් කල්හී ගැමියන් එය කෙළෙසීමට මැලි වනවා පමණක් නොව රැකීමට ද ඉදිරිපත් වෙති. වෙසෙසින්ම ඉවක් බවක් නොමැති දෙස් සැරිසරුවන්ගෙනි, පරිසරය වඩාත්ම ආරක්ෂාකට යුත්තේ.  ‘ගමේ කජු ගමේ කොල්ලන්ට’ යැයි කියමන අලුත් කළ යුතුව ඇත. පිටින් පැමිණෙන ‘වවුලන්ගෙන්’ ආරක්ෂා කට යුත්තේ ‘ගමේ කජු’ පමණක් නොවේ. මුළු සොබා සම්පතට ම එය අදාළ ය. එමෙන් ම එය ගමට පමණක් නොවේ, මුළු ලොවට ම ය.
 ඉදිරියෙන් පාර දෙකට බෙදේ. පාරේ මතුවැති ගල් තලයක රතු තීන්තයෙන් කළ සටහනකි. ‘මානි’ යනුවෙන් ඊ හිසක් ද එහි දක්වා ඇත. මග නොවැරැ දී, යෑමට එය පහසුවකි. සිතියමට අනුව අප ගමන් ගන්නේ සලකුණු කළ මගක ය. එහෙත් දෙපස ඇත්තේ කැලයකි. මායිම් සලකුණු ද, තැන තැන දක්නට ලැබිණි. මේ පෙදෙස හොඳටම වියළි ය. දොළමගක් තබා, දිය පොදක්වත් මින් ඉදිරියේ දී හමු නොවනු ඇත. දිය බඳුන් ඇත්තේ තනුරගේ මල්ලේ ය. පිපාසාවක් දැනුනෙන්, “වතුර බෝතලයක් දෙන්න” තනුරට මම පැවසීමි. ඔහු මුව හයා ඇස් ලොකු කර පවසා සිටියේ දිය පුරවා ගැනීමට අමතක වූ බවකි.  දිය පුරවා ගැනීමට ඔහුට මම කිහිප විටක්ම සිහි කැ‍ඳවූයේ තෙලිගමු ඔය අසල දී ය. ‘හ්ම් හ්ම්.. ගෑවා’ මිසෙක ඔහු ඒවා පුරවාගෙන නැත. තවමත් ගමන ඇරඹූවා පමණි. දැන් දිය ගැනීමට ආසපු යා නො හැකි ය. එක් බෝතලයක පමණක් දිය ස්වල්පයක් වූයෙන්, ඉතා අසීරු අඩියක දී හැර එය පානය නො කිරීමට සපථ කරමින් පිපාසාව නොතකා ඉහළට ගියෙමු. නැවතත් මග කිහිප අතකට බෙදී යයි. අප ගත යුත්තේ කොයි මග ද? ජීපීඑස් කියැවීමට අනුව නම් වම් දෙසට ය. ආරුක්කුවක් මෙන් වැවී ඇති තුරු ගොමුවක් යටිනි අප යා යුත්තේ. එකනෙහිම වැසි පොදක් හමා යයි. වැස්සෙන් අප නොතෙමුණේ තුරු ගොමුව හේතුවෙනි. ඉන් එළියට පැමිණි අප නෙත ගැටුණේ මනරම් දසුනකි. වරින් වර මීදුමෙන් වැසී යන පහළ නිම්නය දිස් වන කුඩා හෙළකි. වැස්ස තුරල් වූයෙන් අපි එහි අද්දරට ගොස් වාඩි ගතිමු. නිම්නයෙන් ඔබ්බේ දිස් වන්නේ පිටවල පතන අයත් කඳු පෙළ ය. වරින් වර එය මීදුමෙන් වැසී යයි.  පිටවල පතනේ සිට බැලූ විට මානිගල දිස් වන්නේ ‘පාන් ගෙඩියක’ හැඩයකට ය. එහි දකුණු පසට විහිදෙන්නේ නමුණුකුල කඳු පන්තියයි. ඒ අතර මැද ඇත්තේ කපොල්ලක් වැනි තැනකි. අප දැන් සිටින්නේ එහි ය. මානිගල මුදුනට තවත් බොහෝ දුරක් නැගිය යුතු ය. මෙතැන් සිට මානිගල කන්ද එකනෙහි ඉහළට විහිදී යයි. මේ අසලින් එය තරණය කළ නොහැක්කේ, වැටී ඇති අඩිපාර ඔස්සේ වටෙන් ගොස් බෑවුම අඩු ඉසව්වකින් එය තරණය කළ යුතු ය. පැහැදිලිව සලකුණු කළ වන මග ඉදිරියට ඇදී ගියත්, ඉන් පැන නැගෙන අතුරු මං බොහෝමයකි. මෙහි ගමන් කරන්නවුන් ‘පාරෙන් පිට පැනීම’ නිසා ඒවා තැනී ඇත. එපමණක් නොව එවන් තැන්වල, නොයෙක රසකැවිලි දවටන, පොලිතින් කැබලි ඈ කුණු කසල විසිරී ඇති අයුරු අපුල දනවයි. අප යන මගේ ඇතැම් තැනෙක වැටුණු එවන් දවටන කැබලි අප මලුවලට ඔබා ගත්ත ද සැම තැන විසිරුණු කුණු කසල එක් කිරීම නො කළැකි ය. මෙලෙස තැන තැන කුණු දමා කෙළෙසා යෑමට එවැනි සැරියන් කුමට පැමිණෙන්නේ දැයි සිතුණෙමි. ඔබ මෙවැනි ගමනක් පැමිණීමට පෙර දෙවරක් තෙවරක් සිතා බැලිය යුත්තේ එනිසා ය. හුදු බාල විනෝදය අපේක්ෂාවෙන් මෙවන් තැනෙක නො පැමිණීම වඩා යෙහෙකි ය. විඳින්නාගේ මනසේ උස් මිටි බව අනුව, යමක් රස විඳින අයුරු වෙනස් වේ. විනයක් ඇතිව, විවේක මනසකින් සොබා සිරි විඳිය නොහැක්කෝ මෙහි නො පැමිණෙත්වා!

 දැන් බෑවුම ඉතා දැඩි ය. ඉහළ නැගීමේ වේගය ද ඒ හා සමානව බාල වී තිබේ. පසු කරමින් ආ තුරුලතාදියට වඩා මෙහි තුරුවියන උස් ය. ඒ සුළං මුවාවේ පිහිටියාවෙන් විය හැකි ය. වන මග මත පතිත වූ තරමක විශාල අත්තකි. මම එය මගහැර වටෙන් ගියෙමි. තනුරට ඕනෑ වූයේ ඒ හරහා පැමිණීමට ය. ප්‍රතිඵලය ද ඔහුටම විඳින්නට සිදු විය. අත්ත වසාගනිමින් පැතිර තිබූ කටුවැලක පැටලුණු ඔහු ඉන් ගැල වී ආයේ මහත් වෑයමකිනි.
ගල් රුව
තුරු වියන යට විසිරි කොළ රොඩු තට්ටුව ඉතාමත් වියළිය. පා තැබූ විගස ලිස්සා යයි. අපට පරෙස්සමින් අඩිය තබමින් ඉහළ නැගීමට ය සිදු වූයේ. ආහ්! ... වම් පාදය පතුළ පුපුරු ගසමින් රිදුම් දේ. තියුණු කටුවක් පසේ සම පාසාරු කරගෙන ගොසිනි. මිරිවැඩිය ද නොවන්නට එය පාදය තුළට කා වැදී යනු ඇත. මම වේදනාවෙන් මිරිකී බිම හිඳගතිමි. මා තුවාලයට ප්‍රතිකාර කරන අතරේ මිරිවැඩියේ ඇමිණී තිබූ කටුව ගලවා දැමුවේ තනුර ය.  වන මගේ දැඩි බෑවුම් ස්වභාවය අඩු වී ගියේ ය. ඒ අතර තුරුලතාදියේ ද පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. දැන් දැන් ඇත්තේ නො උස්  කුරුමිටි ශාක ය. ඇතැම් ඒවා පඳුරු මෙන් කුඩා වුව ද ඒවායේ ශාක කඳ ඇඹරී, ගැටසෑදී ඇති නියායෙන් ඒවායේ වයසැති බව හැඟ වේ. එවන් ශාකයක් දක්වන තනුර පවසන්නේ ‘මේකනම් නියම බොන්සයි ගහක්’ යනුවෙනි. සුදු පැහැ, කහ පැහැ ආදී නොයෙක වර්ණයන්ගෙන් මල් පිපිණු ශාක ගොන්නකි. මල් වත්තක අසිරියට වඩා අමුතු ම සොඳුරු බවක් මේ වන මල් ගොමුවේ ඇත. එවන් කුරුමල් ගසක් අසල ගල්පොත්තක් උඩින් මා හිඳ ගැනීමට තැත් කළේ අපූරු මලක සමීප සේයාරුවක් සටහන් කර ගැනීමට ය. “හා හා පොඩ්ඩක් ඉන්න මේ බලන්න මෙකෙ හැටි මායාවරුන්ගෙ ගල්පුවරුවක් වගේ” මා නවතාලමින් තනුර පවසන්නේ ය. සැබවි.. එහි මිනිස් රුවක හැඩයක් විදහා දැක්වෙන අයුරු දැන්ය මට පෙනෙන්නේ. ගල් පතුරේ ස්වභාවික හැඩයත්, ඒ මත වැවී ඇති ලයිකන රටා නිසාත් එය පෙනෙන්නේ විලම්බීත රූපයක් ලෙසිනි.


එහි මද ඉසිඹුවක් ලද අප නැවතත් ගමන් අරඹුවෙමු. දැන් අප මානිගල සානුවේ එක් අන්තයකට පැමිණ ඇත. ඇස් දිෂ්ටියට තැන්න විහිදී යයි. තණපලසකින් වැසී ඇති තැන්නේ තැන තැන පඳුරු දැකි ය හැකි ය. 
“ෂ්ෂ් කවුරුහරි කතා කරනව වගේ” තනුරු පැවසූයෙන් මම ද විපරම් වීමි. කටහඬ කිහිපයක් ඇසේ.. අප දෙසට ලං වන සෙයකි. අපි විප‍රමෙන් සිටියෙමු...

කෑර වාශේෂයක්