දුම්බර 4 - පතන් බිමෙන් මානිගලට



මානිගලට යන පාර

 දසත අඳුර පැතිරෙත් දී අපි සේර ඇල්ලෙන් නික්මුණෙමු. දැන් ස්නානය සඳහා ස්ථානයක් සොයා යා යුතු ය. ඒ සමීපයේ ම පාර අයිනේ දිය නෑමට ‘කියාපු තැනක්’ අපි එනගමන් දුටුවෙන්, දැන් අප යන්නේ ඒ දෙසට ය. අප එන විට දී කිහිප දෙනකු ම දිය නාමින් සිටියත් දැන් එහි කිසිවකුත් නැත්තේ හොඳට ම අඳුර වැටී ඇති නිසාවෙන් විය යුතු ය. විදිලිපන්දම් එළියෙන් දොළපහරේ ජල තලය වෙත සේන්දු වූයේ සිත් සේ නා ගැනීමට ය. ‘ප්රෑම්... ප්රෑම්...’ බසයක් එක දිගටම නළාව හඬවන්නේ, “අපේ කාර් එක පාරට වැඩි ද දන්නෑ” තනුර පැවසී ය. එය එසේ නොවන බව මට හොඳට ම විශ්වාස ය. ටික වේලාවෙකකින් එය පිටව යනු දැකිය හැකි විය. ඒ පොත්තටවිලට යන අවසන් ගමන් වාරයයි. නලාව හඬවන්නට ඇත්තේ කිසිවෙකු කැඳවීම සඳහා ය. මෙවන් දුරබැහැර, දුෂ්කර ගම්බිම්වලට නගරයේ සිට යම් යම් දේ ගෙන්වා ගන්නේ පොදු ප්‍රවාහන සේවයේ රියැදුරු හා කොන්දොස්තර මහතුන්ගේ උදව්වෙනි.

 වන මධ්‍යස්ථානය වෙත ළඟා වන විට බොහෝ රෑ බෝ වී තිබුණෙන්, රෑ සප්පායම් වීම සඳහා යමක් පිළියෙල කළ යුතුව තිබිණි. ඊට පෙර උණුසුම් තේ උගුරක පහස විඳිම යෙහෙකැයි සිතූයෙන් අප තේ වත් කොට පානය කළෙමු. කෑම පිසීම ඇරඹූයේ ඉන් අනතුරුව ය. අපේ සුපුරුදු වන සැරියක මෙන් මෙතැනට අඩු වූයේ
ලොකුබණ්ඩා මහතා
කූඩාරමක් පමණි. වාහනය තුළ රැය පහන් කිරීම කූඩාරම ඇටවීමට වටා පහසුවකි. ඇරත්, මේ ඉසව්වේ පවතින දැඩි සුළඟ නිසාවෙන් කූඩාරමක් ඇටවීම කළ නොහැක්කකි. රෑ අහර නිමවීමෙන් පසු ටික වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමෙන් අනතුරුව, ‘පාර දිගේ ගියොත් සතුන් බලන්නට පුළුවන්’ නොවේ දැයි මට කල්පනා වූයේන්, ලොකුබණ්ඩා මහතාට ඒ බව පැවසීමි. ඔහු නොපැකිලිව ඒ සඳහා ඉදිරිපත් වූයෙන් අපි මොටෝරියට නැගී, රිවර්ස්ටන් දෙසට සෙමෙන් ඇදුනෙමු. විටෙක ඝන මීදුමෙන් මුළු මගම වැසී යයි. තවත් මොහොතකින් එය වියැකී යන්නේ නිරතුරු හමා එන සුළඟ නිසාවෙනි. ඈත මගක ගමන් ගන්නා වාහනයක එළිය වරින් වර පෙනී නොපෙනී යයි. වරෙක කඳු අතරින් මතුවන එළිය නැවතත් ඇස ගැටෙන්නේ ටික වේලාවකට පසු තවත් තැනකිනි.
 පිටවල පතන පසු කරමින් සිටි අපට එහි අතීතය පිළිබඳව සිහි ගැන්වීමට ද ලොකුබණ්ඩා මහතා අමතක නොකළේ ය. “මේක ඉස්සර තේ වත්තක්. පස්සෙ කාලෙ ඒක අත්ඇරල දැම්මා. ඉන්පස්සෙ තමයි මේ පතන වැවිල තියෙන්නෙ.” ඈතින් ඈත පිහිටි නගරවල විදිලි ආලෝකය දිස් වන්නේ නිවි නිවී දැල්වෙන කණාමැදිරි එළි විලසිනි. මොහොතකින් මීදුමෙන් වැසී යන ඒ දසුන මීදුම පහව යෑමෙන් පසු නැවත දිස් වේ. අප රිවර්ස්ටන් හි සුළං කපොල්ල වෙත පිවිසුණෙමු. රිය ගැස්සී පැද්දෙන තරමට සුළඟ හමා යයි. අඩි දහයකට වඩා ඉදිරිය දිස් නොවන තරමට මීදුම පැතිරී ඇත. රිවර්ස්ටන් සුළං කපොල්ල අසලින් රිය හරවා ගත් අපි නැවතත් පිටවල පතන දෙසට ධාවනය කළේ අවට ගැන විපරමිනි. දැන් මැදියම් රැය ද පසු වී හෝරාවක් ඉක්ම ගොස් ඇත. වංගුවකින් රිය හරවනවාත් සමඟම එක් වරම පාර මැද පාදූර්භූත වූයේ සද්දන්තයෙකි. මම වහා තිරිංග යොදා රිය නතර කළෙමි. සද්දන්තයා අප යන දෙසට ම පාර මැදින් දිව ගියේ ය. “අපිත් යං” ලොකුබණ්ඩා මහතා සන් කළෙන් මම ඉදිරියට ගියෙමි. එහෙත් ඊළඟ මොහොතේ ඌ දක්නට නැත. “ඌ අපව මගෑරල හොකාට හරි වහුං වුණා” අපට ඉදිරිය පෙනෙන්නේ මොටෝ රියේ ප්‍රධාන ලාම්පු එළියෙනි. එය අපට එක් එක් දෙසට හැරවිය නොහැකි ය. එබැවින් අපට නොපෙනී සැඟවීමට ඌට පහසු ය. තවත් ඉදිරියට යද්දී හාවුන්, කලවැද්දන් ආදී කුඩා කුඩා ක්ෂීරපායීන් රැසක් ම අපගේ නෙත ගැටුණ ද නැවත සද්දන්තයකු නම් දක්නට නො ලැබිණි.
පතන් අල - Brachyslelma lankana
 හිමිදිරියේ අප අවදි වූයේ කාලගුණය කෙසේ වේ දැයි දෙගිඩියාවෙනි. වැස්සක ලකුණු නොතිබුණ ද, පැහැදැලි අහසක් දක්නට නොලැබිණි. එහෙත් අප අද ගමන් කළ යුතු ඉසව්ව අපේ ඇස් මානයේ දිස් වේ. වරෙක මීදුම් රැල්ලකින් වැසී ගිය ද මානිගල ගිරිමුදුන මෙතැනට මොනවට දිස් වේ. මුදුනක් කීවාට, මානිගල ඉහළ ඇත්තේ සානුවකි. මෙතැනට එය දිස් වන්නේ ‘පාන්ගෙඩියක’ හැඩයකිනි. “මේ කන්දට දකුණු පැත්තෙන් නැගල, වම් පැත්තෙන් බහින්නත් පුළුවන්. නැත්නම් වම් පැත්තෙන් ගිහිං දකුණු පැත්තෙන් එන්නත් පුළුවන්. එන්නකො මං පෙන්නන්න” ලොකුබණ්ඩා මහතා ඈත දිස්වන මානිගල දෙසට අත දිගු කරමින් පැවසී ය. අප පතන් බිමේ මදක් ඉහළට ගමන් කළේ එය වඩාත් හොඳින් දකිනු රිසියෙනි. පතන් බිමේ තැනෙක ගල් කැට කිහිපයක් කිසියම් සලකුණක් සේ තබා තිබූයෙන් මා ඒ පිළිබඳව විමසුවෙමි. “ආ.. මේක මේ පැළෑටියක් අඳුනගන්න තියපු සලකුණක්..” හෙතෙම පැවසී ය. එහෙත් ඒ අසල තණබිස්ස විනා කිසිදු පැළෑටියක් නුදුටුවෙන් විපිළිසර වූ මගේ වත දුටු ඔහුගේ වත මත මැවුණේ මන්දස්මිතියකි. “මේං බලන්න.. මේක තමයි පැළෑටිය මේකට කියන්නෙ පතන්අල කියල. මුළු ලෝකෙන්ම මේ ඉසව්වෙ විතරයි මේව තියෙන්නෙ” කුඩා තණපත් දෙකක් දක්වමින් ඔහු පවසන්නේ ය. මෙම පැළෑටිය හොඳින් ම හඳුනාගත හැක්කේ එහි මල් පිපෙන කාලයට ය. අලය ඇත්තේ පොළොව තුළ ය. පතන්අල දුම්බර මිටියාවතේ පතන බිමට ම පමණක් සීමා වූවකි. එය දෙදහස් හත වසරේ රතු දත්ත පොතේ, දැඩි තර්ජනයට ලක්වූ පැළෑටියක් ලෙස නම් කර ඇත.
ගමේ කුඹුරු යායට මානිගල දිස්වන අයුරු
 ලොකුබණ්ඩා මහතාට සමුදුන් අප මානිගල ගමන ඇරඹූයේ වැද්දාපිණි ඇල්ල අසලිනි. එය පිහිටියේ ඇටන්වල ගමමැදින් ගලා බසින තෙල්ගමු ඔයෙහි ය. මෙය මෙනමින් හැඳින්වීමට ද හේතුවක් ඇත. ගම්මුන්ගේ විශ්වාසය වන්නේ ආදි කාලයේ දී මෙහි වැද්දන් වාසය කළ බවත්, වරෙක වැදි රැහේ නායකයකු පයලිස්සා මේ ඇල්ලට වැටීමෙන් මරුමුවට පත් වූ බවත් ය. එබැවින් මෙය පසු කලෙක ‘වැද්දාපිණි ඇල්ල’ ලෙස ප්‍රකට විය. එය මීටර් තුනකට වඩා උස් නො වූ කුඩා ඇල්ලකි. ඔය අසලට ම ගමන් වාහනයකින් ගමන් කළ හැකි ය. එතැන දක්වාම කොන්ක්‍රීට් දමා පාර සකසා ඇත. ඔයෙන් එගොඩ ද කොන්ක්‍රීට් දමා පාර සකසා ඇතත් එහි කිසිදු වාහනයක් ගමන් කළ නොහැක්කේ, ඔය හරහා පාලමක් නැති නිසාවෙනි. “මේ පැත්තෙ පාර හැදුවට පාලමක් නැති නිසා තාම මෝටර්සයිකලයක් අත් ටැක්ටරයක් ඇරෙන්න වෙන වාහනයක් යන්නෙ නෑ. මොන හදිස්සියක් වුණත් අපට පයින් තමා යන්න වෙන්නෙ” මග දී හමු වූ ගැමි තරුණයන් දෙදෙනෙකු අප හා පැවසූ හ. “මෙතැනින් කෙටි පාරක් තියෙනවා. අපිත් එක්ක යන්..” ඔවුන් පැවසූයෙන් ඔවුන් සමග ගමට වැටී ඇති කෙටි මගෙන් ගමන් කළෙමු. ගම අද්දර හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු යායකි. අස්වනු නෙලා ඇති එහි මේ වන විට දක්නට ඇත්තේ ඉපනැල්ල පමණකි. පසුබිමේ දිස්වන්නේ ප්‍රතාපවත්ව නැගී සිටින මානිගල
ගමේ නිවසක්
කඳුවැටියයි. ඡායාරූපයකට අපූරු දසුනකි. තරුණයන් දෙදෙනා අප එනතුරු බලා සිටී. “පිංතූර ගන්න ඕන නිසා අපි ටිකක් නැවති නැවති එන්නෙ. ඕගොල්ලො යන්න” මම කීවෙමි. ඔවුන් පිටත් වූයෙන් අපි රිසි සේ අවට අසිරිය විඳිමින් ගමන් කළෙමු. වෙල්යාය පසු කළ විට හමු වන්නේ නිවෙස් පෙළකි. මානිගලට යන පාර වැටී ඇත්තේ ඒ මැදිනි. දෙපස ගල්වැටි මැදින් ගල් දමා සකසා ඇති පඩි පෙළක් ඔස්සේ ය, අප ඉහළට නැඟුණේ. මෙන්න අමුතු ගොළුබෙල්ලෙක්. ගල්පඩියක් මත වූ ගොළුබෙලි කටුවක් අහුලාගනිමින් තනුර කීවේ ය. මම ද විපරම් කර බැලීමි. සැබැවි. අමුතු පැහැයක් හා හැඩයකි. ඌට ඇත්තේ නිල්පැහැයට හුරු සුදු පැහැයකි. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ගොළුබෙල්ලන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. ලංකාවට ආවේණික මොලුස්කා විශේෂයක් වන මොවුන්  විද්‍යත්මකව හැඳින්වෙන්නේ Beddomea albizonatus  ලෙසිනි.
Beddomea albizonatus

 නිවෙස් මංඩිය පසුකර ඉහළට යන විට දෙපස වනලැහැබින් හෙබි පැහැදිලි මගකි. දෙපස වනයේ විසල් තුරු ලතා දක්නට නොමැත. එය නැවත වැවුණු ලඳු කැලෑවකි. වන මගේ ඈතින් මිනිස් රුවක් මතු වේ. දැන් කපා ගත් දඬු කැබලි කිහිපයක් කරින් ගත් ඔහු ලහි ලහියේ පල්ලම් බසී. අපි මදකට නැවතී කතා කළෙමු. “මොනවද මාමෙ මේ කොළ” “මේ කරපිංචානෙ. මේවා කැලේ ඕනතරම් තියෙනවා. ගෙවල්වල වවන ඒවට වැඩිය මේ වල් කරපිංච හරි රහයි” ඔහු පවසන්නේ සිය කමිස සාක්කුවේ රුවාගෙන ආ කරපිංචා මිටිය සුරතට ගෙන පෙන්වමිනි.   
වනයෙන් මතු වූ මිනිස් රුව - තිලකරත්න මහතා