දුම්බර 3 - සුන්දර සේර ඇල්ල අසලින් ඉඩමක් ඕනෙද?



 
සේර ඇල්ල
‘සරාස්...’ අත්තක් කඩා ‍හෙළන හඬ ඇසෙන්නේ අප පියනගන මාවත දකුණු පස මදක් ඉදිරියෙනි. අපි මොහොතකට ගල් ගැසී සිටියේ කුමක් කරම් දැයි තීරණයකට එළඹීම සඳහා ය‍. ඊළඟ නිමේෂයේ දී කිසි හැලහොල්මනක් නොවූයෙන්, සෙමින් සෙමින් ඉදිරියට ගියෙමු. නැවත අතු බි‍ඳෙන හඬකි.  ඒ වෙනතකිනි. සද්දන්තයන් දෙදෙනෙකු දැන් අප අභිමුවේ සිටින බව ඒකාන්ත ය. මට වුවමනා වඩා පැහැදිලිව උන් දැක ගැනීමට ය. එහෙත් තනුර මා සමීපයේ ම දැවටෙන්නේ උන් දැක ගැනීමේ රිසියෙන් නොවන බව මම දනිමි. අතු බි‍ඳෙන හඩට සාවදානව හුන් අපට මාවතේ දකුණු පසින් උන් සෙමෙන් ලං වන අයුරු දැනේ. අප පළා යා යුත්තේ කුමන දෙසට ද? ඉදිරි මාවත පැහැදිලි වුවත් ඒ දෙපස තවත් උන් නොවේ යැයි කාට නම් කිව හැකි ද? එහෙත් අපට පැහැදිලිව හඳුනාගත හැකි වුයේ දෙදෙනෙකු පමණි. උන් මගහැර ඉදිරියට යෑමය නුවණට හුරු.
 අලිකරදරයකින් තොරව අප ඉදිරියට ඇදෙන්නේ, වඳුරු නාම්බෙකු අතු ඉති තලන හඬකට පවා තැති ගැන්වෙමිනි. වරක් පැමිණි අපට මෙවන් බියක් දැනේ නම්, මේ මග සැමදා ගමන් කරන පතනේගම තවමත් ජීවත් වන්නවුනට මෙය කෙතරම් අන්තරාවක් ද?
ආරුක්කු සේ පාරට නැමුණු තුරු හිස්
“ඔය ගෑනු මනුස්සය සමහර දාට අන්තිම බස් එකේ ඇවිල්ල අලිය පෙනී පෙනී කළුවරේ ම මේ අඩිපාරෙන් බැහැල යනව” ලොකුබණ්ඩා මහතා එසේ පැවසූයේ ඔවුන් ගැන ය. වෙනත් විකල්පයක් නොමැති කල්හී අන්තරාවකට වුව හුරු වීම එතරම් අරුමයක් නොවේ.  
රෑ ‍බෝ වීමට තව කාල වේලා ඇතත් හාත්පස අඳුරුව ඇත. මන්දාරම් අහසින් කැන්දන කළුවර තීව්ර වන්නේ මග දෙපසින් මාවතට නැවී ඇති තුරු හිස් නිසාවෙනි. එවැනි තුරුහිස් ආරුක්කුවක් සේ ය, ඇතැම් තැනෙක දිස් වන්නේ. කඩින් කඩ හිරිපොද වැසි හමා ගිය ද අපි ගණනකට නොගෙන, වේගය නො නසා ඇවිද ගියෙමු.  වැසි වැටෙන විට අමුතු පණක් ලද්දාක් මෙන් සත්තු එළිබසිති. උභයජීවීන් ඒ අතර ප්‍රමුඛ ය. මම එකෙකු ඡායාරූපයට නැගීමි. ලංකාවට ආවේණික සතෙකු වන ඌ හැඳින්වෙන්නේ ස්ටයිනරිගේ පඳුරු මැඬියා ලෙසිනි. ලංකාවට ම පමණක් ආවේණික වූ තවත් හූනන්, මිරිදිය මසුන් ඈ බොහෝ සතුන් අපට මේ මග ගෙවා එන අතරතුර හමු විය. සුන්බුන් අතර දී හමු වූ දුම්බර මූකලන් හූනා මෙන්ම පතන ඇල්ල දිය දහරේ සුලබව දක්නට ලැබුණු ගල්පාඬින්ගේ සේයා සටහන් කර ගැනීමට අපට හැකි වුවත් සුන්දර වළිකුකුළන් ඈ නොයෙක කුරුල්ලන්ගේ රුව අපගෙන් ගිලිහුණේ ඒ සඳහා සැදී පැහැදී සුනංගු වීමට තරම් කාලයක් නො තිබූ බැවිනි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එක්දහස් නවසිය අනු එකේ දී කළ සංගණනයකට අනුව මෙහි සත්ත්ව

Cyrtodactylus soba - දුම්බර මූකලන් හූනා
විශේෂ එකසිය විසි දෙකක් දිවි ගෙවති. ඉන් හතලිහක් ම ලංකාවට ආවේණික වූවෝ වෙති.
මග කෙළවර වී අප පිළිපන්නේ තාර පාරකට ය. මේ මංසන්දිය ගම්මුන් අතර හැඳින්වෙන්නේ ‘රෙඩ්බානා හංදිය’ ලෙසිනි. අපි දකුණු දෙසට හැරී තාරපාර දිගේ ඇවිද ගියෙමු. මග දෙපස ම වනයෙන් වැසී ඇත. අප දැන් ඇවිද යන්නේ රත්තොට ඉලුක්කුඹුර මාර්ගයේ රත්තොට දෙසට ය. ටික දුරකින් පිටවල ගම දෙසට දිවෙන මංසන්දිය හමුවූයෙන් අප ඉන් දකුණට හැරී ගමන් කළ යුතු විය. තොරතෝංචියකින් තොරව ඇසෙන්නේ රැහැයියන්ගේ නද ය. රූං යන අනුකරණයෙන් කණ අසලින් පියඹා ගියේ රැහැයියෙක් ද? ඌ අප ඉදිරියේ තාරපාර මත වැසුවේ ය. සමීප වූ විට රැ‍හැයියෙක් නොවන බව පැහැදිලි වුවත්, තණකොළ පෙත්තෙක් වැනි මේ සතා කවරෙක් දැයි අපට හඳුනාගත නොහැකි ය. මේ මග වාහනයක් යන්නේ ඉඳහිට ය. එබැවින් ඌට අන්තරාවක් නොවිණි. ඊළඟ නිමේෂයේ දී මග පසෙක වූ දිරාගිය රිකිල්ලක් මතට ඌ පියඹා ගියෙන් අප සුපුරුදු ලෙස ඇවිද ගියෙමු. වන මධ්‍යස්ථානය වෙත සමීප වත්දී ම තද වැස්සක් වැටෙන්නට වූ හෙයින් ඉන් බේරිමට අපට දිව යෑමට සිදු විය.

Pseudophilautus steineri- ස්ටයිනරිගේ පඳුරු මැඬියා
 වැස්සට තෙමුණාට වඩා අප ගත තෙමී තිබුණේ දහදියෙනි. දැන් අවැසිව ඇත්තේ හොඳින් ඇඟපත දොවා ගැනීම ය. එහෙත් මේ පිටවල පතන ඉසව්වේ ඊට ඉඩක් නොමැත්තේ, සියලු දියකඩිති, දොළ මං සිඳී ගොස් ඇති බැවිනි. දැන් වැටෙන වැසි පොද පවා පොළොව සිප මොහොතකින් වියැකී යයි. නාගන්නට තැනක් සොයමින් තතනමින් සිටි අපට හොඳ ඉඟියක් ලැබුණේ ලොකු බණ්ඩා මහතාගෙනි. “සේර ඇල්ලට ගියා නම්, ඇල්ලත් බලල නාගෙන එන්න පුළුවන්.” හොඳ අදහසකි. යුහුසුලුව ක්‍රියාත්මක වීමු.
 එහි ළගා වීම සඳහා ඉලුක්පිටිය පාරේ ගොස්, පුවක්පිටිය මගින් පොත්තටවිල දක්වා ගමන්කරන පටු මග ඔස්සේ ගමන් කළ යුතු ය. පුවක්පිටිය පාරට හැරී කිලෝමීටර් හත අටක් පමණ දුර ගෙවූ විට ය, සේර ඇල්ල හමු වන්නේ. අවසන් කොටසේ පාර ඉතා අබලන් ය. ඇතැම් කොටස් කොන්ක්‍රීට් දමා සකසා ඇත. විදිලි බලය ලබා දීම සඳහා කඩින් කඩ කණු සිටවා ඇතැත් ඒ සඳහා තවත් කාලයක් බලා සිටීමට ගම්මුන්ට සිදුවන සෙයකි.

Garra ceylonensis - ගල්පාඬියා
“චන්දෙ කාලෙට ලයිට් කණු ගෙනත් දානව. චන්දෙ ඉවර වුණාම ඒවා ආයෙත් අරගෙන යනව. පාරවල් හැදිල්ලත් ඒ වගේ තමයි” අප හා පැවසූයේ මග දී හමු වූ ගැමියෙකි. සරමත් කැහැපොට ගසාගෙන, බඩු මල්ලකුත් කරින් ගෙන දහදිය හළමින් ගමන් කළ ඔහුගෙනි අප පාර විමසූයේ. මගේ ආරාධනයෙන් ඔහු අපේ මොටෝරියට ගොඩ විය. “ටික දුරක් හරි යන්න ලැබෙන එක ලොකු දෙයක් මහත්තයො. බස් එකේ යන්න තව පැයක් විතර බලාගෙන ඉන්න වෙනවා” බසය පැමිණෙන්නේ උදයට සහ සවසට පමණි. ඒ පොත්තටවිල ගම දක්වා ය. පවුල් තිහහතලිහක් පමණ වෙසෙන පොත්තට විල ගමේ දුෂ්කරතාව ගැන ඔහු අනවරථ දෙඩවිල්ලක ය. “අපිට ආසාවට පාන් ගෙඩියක් කන්න වෙන්නෙත් මාසෙකට හමාරකට සැරයක් තමයි.” ගමේ බේකරියක් නැති නිසා පාන් කෑමට නොහැකි වුව ද, අන් ආහාර පානාදියෙන් ඔවුන් ස්වයංපෝෂිත ය. කෑමට අවැසි සියලු දේ ගමේ ම වගා කරති. “ගොයිතැන් කාලෙට ගමේ ඔක්කොම ගොවිතැන් කරනවා. එහෙම නැති කාලෙට සමහර අය වෙනත් තැන්වල වැඩට යනවා. මාත් මේ වැඩට ගිහිං එන ගමන්. පෝර නොදා වගා කරන ගොවිපළක මම වැඩට යන්නෙ”
ඉඳහිට මග දෙපස නිවසක් දෙකක් දක්නට ලැබෙතත් වැඩිපුර ඇස ගැටෙන්නේ තුරු ලතා ය. තැනින් තැන හෙල්මලු ක්‍රමයට සැකසූ කුඹුරු කිහිපයක් ද පසුකර ගියෙමු. “ඔන්න ඔතන ඉස්සරහින් සේර ඇල්ලට බහින්න තියෙන්නෙ. මේ ටිකදුර ආපු එකත් ලොකු උදව්වක්” මුව නොසෑහෙන සේ අපට ස්තුතිකරමින් ඔහු රියෙන් බැස්සේ ය. බිමට බට ගැමියා පැකිලීමකින් තොරවම විමසන්නේ, “මහත්තයා, ඉඩමක් තියෙනව... ගන්නව ද? කොළඹින් ආපු දොස්තර මහත්තයෙකුත් බලල ගියා. ඒත් තාම වචනයක් දුන්නෙ නෑ. ලක්ෂ දහයක් තමයි මගේ බලාපොරොත්තුව”. “ඇයි ඉතිං ඔය ඉඩම විකුණන්නෙ?” මම විමසීමි. “මට ඉඩම් දෙකක් තියෙනව. තැන් දෙකක. ඉතිං දෙතැනක බලාකියාගන්න අමාරුයි.” ඒ ඔහුගේ හේතු දැක්වීම ය.
සේර ඇල්ල ඉහළ
 කරුණු කාරණා කෙසේ වුව, දුම්බර වනපෙතට මායිම් වූ ඉඩම්වලට සිදුව ඇති සන්තෑසිය මින් හෙළි වේ. දැන් දැන් එහි ඉඩම්, ගැමියන්ට වඩා ‘කොළඹ නෝනා මහතුන්ට’ අයිතිව ඇති හැඩකි. නිසි හෝ අනිසි ලෙස අයිතිකර ගන්නා මෙවැනි බිම් බොහෝමයක හෝටල, බංගලා ආදිය ඉදිව ඇති අයුරු සුලබ දසුනකි. පිටවල තැන්න සමීපයේ ඉදිකෙරුණු ලැගුම්හල් බොහෝමයක් අනවසර ඒවා ය. ඇතැම් ධනවතුන් ගැමියන්ගේ කුඹුරු ඉඩම් පවා මිල දී ගෙන ලැගුම්හල් ඉදිකර ඇත්තේ, ඒවා බලාකියා ගැනීමට ද ගැමියන් යොදවමිනි.
 සිමෙන්ති යොදා සකස් කළ පියගැටපෙළ ඔස්සේ අපි පහළට බැස්සෙමු. බෑවුම් සහිත තැනෙක යකඩ ගරාදියක් ද යොදා ඇත්තෙන්, ඕනෑම අයෙකුට පහසුවෙන් ඇල්ල පාමුලට බැස ගත හැකි ය. ඇල්ලට පිවිසීමට කලියෙන් හමුවන විසල් පරුවතයකි. අඩි පනහක් හැටක් පමණ උස්ව විහිදෙන එහි එක් පසෙක ලෙනක් ලෙස පිහිටියෙන් වැස්සට නොතෙමී විස්සකට තිහකට වුවත් එහි රැඳිය හැකි ය. අප ඒ පසු කර දැව මුවා පියගැට පෙළ ඔස්සේ ඇල්ල පාමුලට පිවිසියෙමු. යෝධ කුඹුක් ගස් රැසකින් වට වූ විසල් ජල තටාකයකි. පුළුල් ගල්තලය මතින් කලාලයක් ලෙස ජල දහර එක් වන්නේ මේ තටාකයට ය. එහි කාල වර්ණ පැහැය කියා පෑයේ ගැඹුරු බව ය. එහි ගැඹුර බැලීමට මට දොලක් පහළ වුව, ආයාසයෙන් එය මැඩ ගත්තේ මේ ඊට සුදුසු මොහොතක් නොවූ බැවිනි. ගං කොමලියගේ දියවර සෑහෙන සිඳී ගොසිනි. සිහින් වූ දිය දහර ගල් තලයේ තැන් කිහිපයකින් ජල තලය වෙත ඇද හැලේ. සේර ඇල්ල එතරම් උස් නො වූවකි. එහි වෙසෙස වන්නේ පුළුල් ලෙස පැතිර තිබීම ය. එහෙත් පුළුල් දිය කඳ දැක ගැනීමට නම් වැසි වැටෙන සමයක පැමිණිය යුතු ය. දිය කඳ සැඩපරුෂ නොවූයෙන් ඇල්ල ඉහළට නැග ගැනීම පහසු ය. අප එහි වම් පසින් ඉහළට නැගුණෙමු. ඇල්ලට ඉහළින් තවත් තට්ටුවකි. අප ඒ ද පසු කර ඉහළට ම නැගුනෙමු. ඒ මේ අත හැරෙමින් නලියමින් පහළට ඇදෙන තෙල්ගමු ගං කොමළිය එතැනට මොනවට දිස් වේ. බිලයෙන් බිලයට වැටෙමින් ඇල්ල දක්වා පහළට ගලා යන දිය දහරෙන් නැංවෙන්නේ ‘මිහිරි  ඝෝසාවකි’. ඉන් දෙසවන් පුරවා ගනිමින් මම ගල්තලයේ සැතපුණෙමි.
පුංචි ලෝකාන්තයේ (02) සිට පතන ඇල්ල දක්වා ගොස් පතනේගම හරහා පිටවලපතන(01) දක්වා ගමන් මග