දුම්බර 2 - නටබුන් ගම මැදින් පතන් ඇල්ලට...


පතන් ඇල්ල

පාරේ වැවී ඇති වල්කොල්ලං ගොමුවක රඟදෙන සමනළු රෑනකි. මෙම පැළෑටිය ඇතැම් පෙදෙසක හඳුන්වන්නේ ‘පොඩිසිංඤොමරං’ ලෙසිනි. අක්වක් ලෙසින් පියඹා යන සමනළුන්ගේ රුව සේයාරුවට නැගීම මදක් දුෂ්කර වූයෙන්, එය වීඩියෝ කර ගැනීම ඊට වඩා පහසු විය. පාරේ අන්තය තවත් දුර දිවෙන සේ ය. මේ ඉසව්වේ වාහනයක් හැරවිය හැකි තරමට පුළුල් වුවද, ඉන් ඔබ්බේ ඇත්තේ පටු පාරකි. දැන් අඩිපාර පෙර තරම් තැලී පොඩි වී නැත. ඉන් කියැවෙන්නේ මේ පෙදෙසට යන එන්නන් දුලබ බව ය. අඩිපාර කෙළවර වූයේ කුඹුරු යායකිනි. මෑතක දී ද අස්වද්දා ඇති සේ පෙනුණ ද දැන් එය හැර දමා ඇති සැටියෙකි. “මේ මෑතක දී පිටින් ආව මනුස්සයෙක් කුඹුරක් කරගෙන හිටිය. ඒත් ඒ මිනිහටත් අලිය ගැහුව” ලොකුබණ්ඩා මහතා අප හා කී දෙයක් මගේ මතකයට නැගිණි. ගැඹුරු කාණුවක් අසලින් නියරට ගොඩ වූ අපට එහි අලින්ගේ අඩි සලකුණු දැකගත හැකි විය. කුඹුර අත්හැර දැමූ පසු උන් රිසි සේ ඒ බිම බුක්ති විඳන්නා සේ ය. කැලය මායිමේ එක් පසෙක දැවැන්ත දඬු වැටකි. අනෙක් පස උස්බි‍මේ සුන්බුන් වූ ගෙබිමකි. එහි වූ වනස්පතිය මත ඉදිකළ අට්ටාලයකි. පිඳුරු සෙවිලි කළ එය වැසි වැටෙන විටෙක වුව වෙසිය හැකි ලෙසින් සකසා ඇත්තේ, ඉක්මනින් නැගගත හැකි ලෙස සැකසූ ඉනිමගක් ද සමගිනි‍. බිම ගෙපැලෙන් ඉතිරි වු පස්ගොඩැල්ලත්, ටකරන් කිහිපයකුත් පමණි දැන් ඉතිරිව ඇත්තේ. අප ඒ එතැන වැඩි වේලා නොරැදුණේ තවත් විපරම් කිරීමට තැන් ඇති බැවිනි. එතැනින් කැලය දෙසට දිව යන අඩි පාරකි. ඒ ඔස්සේ ගිය ද, ටික දුරකින් එය මැකී ගියෙන්, ඉබාගාතේ ඉදිරියට ඇදුනෙමු. “ආ මෙන්න තව නටබුන් ගෙයක්.” ගෙයි පාදමත්, බිත්ති කොටස් කිහිපයකුත් හැරෙන්නට අන් සියල්ල ගරා වැටී ඇත. ඒවා එපමණක් හෝ ඉතිරිවන්නට ඇත්තේ කළුගල්, මැටිගල් සිමෙන්තියෙන් බැඳ තිබූ නිසා විය හැකි ය. එතැනින් තවත් ඔබ්බට යන විට තවත් ගෙබිමක් හමුවේ. එහෙත් එහි ගෙයක් වූ බවට සලකුණු විනා බිත්ති කැබැල්ලක් හෝ ඉතිරි වී නැත.  මේ සෑම තැනක ම අලින් සක්මන් කළ බවට සලකුණු ඕනෑතරම් තිබේ. මෙය සිතුවම්පටයක පමණක් දැකිය හැකි ත්‍රාසය පිරුණු වන ගවේෂණයක් වැන්න. අලින් සක්මන් කරන මහ වන මැද නටබුන් වූ ගමක්! මිනිසුන් ගමන් කළ මාවත් තැනින් තැන දක්නට ලැබේ. අප එවැනි මං ඔස්සේ ගමන් කළ ද, ඒවා නෙක නෙක තැන් දක්වා ගමන් කොට අතුරුදන් වේ. අපි දැන් මේ නටබුන් ගමේ මංමුලා වී සිටිමු. කාලවේලාව තවත් ඉතිරිව ඇති බැවින් අප කලබලයකින් තොරවය, ගමන් කළේ. එහෙත් ගැටලුවකට වූයේ වරින් වර ඇදහැලෙන වැහි පොද ය. තුරුලතාදියෙන් තොර, දිය සීරාව ඇති කුඩා දෙණියක් වැනි තැනකට අප පැමිණියෙමු. එහි තණබිස්සේ තැනින් තැන පිඩලි ඉවත් කළා සේ සලකුණු දිස් වූයෙන් වඩා සමීප වීමේ දී ය ඒවා සද්දන්තයෙකුගේ අඩි බවට පැහැදිලි වූයේ. මදක් බෑවුම් සහිත එම පිටිය හරහා යෑමේ දී ඌ ලිස්සා ගොස් ඇති අයුරක් ය ඇතැම් අඩි අනුව දිස් වන්නේ. ඒවා නැවුම් සලකුණු ය. වැඩිවේලාවකට කලියෙන් මේ ඉසව්වේ අලි සක්මන් කර ඇත. අප දැන් ගමන් කළ යුත්තේ ඉතා පරෙස්සමෙනි. සීරුවෙනි. එතැනින් තවත් පහළ දෙසට යොමු වූ අපට කුඩා දිය සීරාවක් සහිත දොළ මගක් හමු වූයෙන් ඒ ඔස්සේ ගියෙමු. “ස්ස්ස්.... සතෙක් සතෙක්...” ඈතින් දිස් වන්නේ කුළු හරකෙකි. අප තවත් එදෙසට සමීප වත්දී ඌ කැලේ තලාගෙන වේගයෙන් දිව ගියේ ය. “මේ කුළුහරකෙක් වෙන්න බෑ. කැලේට අත හැර දාපු මී හරකෙක් වෙන්න ඇති. ඌ පිටිපස්සෙන් ගියොත් කැලෙන් එළියට යන පාර හොයා ගන්න බැරිවෙන එකක් නෑ” අපි සිතුවෙමු. කුර අඩි ඔස්සේ අපි පියමං කළෙමු.
 කළුගලෙන් බැඳ මනාව සකස් කළ විශාල ලිඳකි. එහි ජලය පිරී තිබේ. ගම ජීවමාන වූ කාලයේ ගමට ම දිය සැපයූ ප්‍රජා ලිඳ මෙය වන්නට ඇත. දැන් එහි බැම්මේ පවා ගස් වැවී ඇත. ඒවායේ විශාලත්වය අනුව ගම වල් වැදී කොපමණ කලක් වෙත් දැයි අනුමාන කළ හැකි ය. වල්වැදී ගිය මේ ‘පතනේ ගම’, අවට ගම්මුන් විසින් ‘රෙඩිබානා ගම’ ලෙසින් ද හඳුන්වන්නේ එය රෙඩිබානා සංවිධානය විසින් ඇති කර වූවක් බැවිනි. ඒ හැට හැත්තෑව දශකයේ දී ය. “මේ ගමේ පුරාණ කාලයේ මිනිසු හිටිය. ඒත්... පනස්ගණන්වල දී විතර ඒ අය ගම්බිම් හැර දා වෙනත් ජනපද ව්‍යාපාරවල පදිංචියට ගියා. ගම වල් වැදුණා. ඊටපස්සෙ කාලෙක තමයි ඔය රෙඩ්බානා සංවිධානය ඇවිල්ල ගෙවල් හදල මිනිස්සුන්ව පදිංචි කළේ. අපේ ගමේ කිහිප දෙනකුත් මේකෙන් ගෙවල් අරගෙන පදිංචියට ගියා” පසුව අප හා පැවසූයේ පිටවල ගමේ පදිංචිකරුවකු වන ලොකුබණ්ඩා මහතා ය. “ආධාර ලැබුණ කාලෙ මේක හොඳට තිබුණ. ගමේ මුල් ඉඩම් අයිතිකාරයො වගේම ඈත ගම්වලින් ආපු වෙනත් අයත් මේකෙ පදිංචි වුණා. ගමේ අය ලොකුවටම කළේ එනසාල් වගාව. ගොවිතැනුත් කළා. ඒකෙ සමූපකාරයක්, ඉස්කෝලයක් මූලික පහසුකම් ඔක්කොම තිබුණ. ඒත් පස්සෙං පහු ඇවිල්ල හිටිය සුද්දො යන්න ගියා ම එනසාල් වගාවෙන්, ගොවිතැනින් එන ආදායම අඩු වෙලා මිනිස්සු දුෂ්කර තත්වෙකට වැටුණ නිසා තමයි ගම වල් වැදුණෙ. එක පවුලක් විතරක් තවමත් ඉන්නව.” ඒ, ලොකුබණ්ඩා මහතාගේ පැහැදිලි කිරීම ය.
 ළිඳ අසලින් පහළට යෑමේ දී එලිමහන් පිටියක් නැවතත් හමු වේ. එය හෙල්මලු ක්‍රමයට වගා කළ කුඹුරු බිමකි. මෑත අතීතයේ ද එය අස්වද්දා ඇති සෙයකි දිස් වූයේ. අපි එහි මදක් ගිමන් හළෙමු. ඒ අතරතුර සිතියම පිරික්සූ තනුර කීවේ, පතන ඇල්ල ඇත්තේ මේ ළඟපාතක බව ය. අප ඒ දෙසට යා හැක්කේ කෙසේ දැයි විපරම් කර, අඩිපාරක් නිශ්චය කර ගත නොවුණු හෙයින් දිය දහර ඇති ඉසව්ව එල්ලේ ඉදිරයට ගියෙමු. එය හමුවූ විට ඒ ඔස්සේ ඉහළ නැගීමෙන් ඇල්ලට සමීප විය හැකි ය. මේ වනයේ තුරුලතාවන්ගේ සෑහෙන වෙනසක් දැකිය හැකි ය. වියන් ස්ථර සහිතව උසට වැඩුණු තුරුලතාදියෙන් පොහොසත් මෙය සදාහරිත තෙත් වනාන්තරයක ලකුණු විදහා දක්වයි. මින් හෝරා කිහිපයකට ඉහත දී අප පසු කළ, පුංචි ලෝකාන්තය මීට ඉඳුරාම වෙනස් ය. එතැන් සිට මෙතැනට ගුවන් දුර කිලෝමීටරයක් දෙකක් වන්නට ඇත. එහෙත් වනාන්තර අතර වෙනස නම් බොහෝ දුරස් ය. දළ බෑවුමක් බැසීමෙන් පසු දිය දහරට සේන්දු වීමට හැකි වූයෙන් ඒ ඔස්සේ ඉහළට ගියෙමු. අප මේ සිටින්නේ තෙල්ගමු ඔයේ ඉහළ කොටසක ය.ඉතා උස්ව වැඩුණු දෙපස වනය මැදින් ගලා බසින ඔය ගල්කුළු පිරිණු පුළුල් මගක් වුවත් මේ දිනවල දී එහි එතරම් දිය කඳක් දැකිය නොහැකි ය. වැසි වැටෙන සමයක නම් තත්වය ඉඳුරා වෙනස් වනු ඇත. දිය දහරරේ තැන තැන අපූරු මිරිදිය මසුන් ද, විවිධ ජල හා උභයජීවීන් ද දැක ගත හැකි ය. ඒ අතරින් ඒක දේශික මිරිදිය මසෙකු වන ගල්පාඬියා සුලබව දැකි  හැකි ය.
“දැන් නම් හොඳට ම බඩගිනියි” තනුර කීවේ ය. “ඇල්ල ගාවට ගිහිල්ලම කමු” මම කීවෙමි. ඒ සඳහා අපට වැඩි දුරක් ගෙවීමට සිදු වූයේ නැත. අප ඉදිරියේ පතන්ඇල්ල දිස්වේ. වැසි වැටෙන සමයෙක දිස්වන තේජාන්විත බව අද නොදිස්වුව ද, නොඅඩුව අපි විඳ ගතිමු.
 ඇල්ලෙන් ඇදහැලෙන දිය දහර කෙරේ මම දෑස් දල්වා සිටිමි. ඊට වඩා වේගයකින් කාලය ගලා යන සෙයකි. දැන් අප මෙතැනින් පිටත් විය යුතු ය. එහෙත් නැවතත් කැලයේ මං මුලා විය යුතු නොවන්නේ, දිය ඇල්ල දක්වා පැහැදිලි වන මගක් තිබිය යුතු බැවිනි. අප කළ යුත්තේ එය තෝරා බේරා ගැනීම ය. ඇල්ලේ වම්පසිං වූ එවැනි මගක් ඔස්සේ අපි පියමං කළෙමු. එය පැහැදිලි මගකි. ඊට සාපෙක්ෂව අප පෙර ගමන් ගත් මග අක්වක් චලිතයක් ලෙසින් ජීපීඑස් තිරයේ දිස් වේ. අපහසුවකින් තොරවම පතනේගමට වැටී ඇති වල් වැදුණු පුළුල් මාවතට පිවිසීමට අපට හැකි විය. නැවතත් කෙටි මග ඔස්සේ හෙළේ නගින්නට අපගේ අදහසක් නැත. එබැවින් අප එම මාවත දිගේ ම පිය මැන්නෙමු. ආපසු එන ගමනේ දී අතහැර දැමූ තවත් කුඹුරු දෙණි කිහිපයක් ම දැක ගත හැකි විය. කුඩා ලෝකාන්තයේ සිට බලන විට වගා බිම් ලෙසින් දිස් වන්නේ ඒවා ය. ඉදිරියේ මං සංදියකි. ඉන් වමට ගමන් කළ හොත් තවමත් පතනේගම පදිංචි එක ම පවුල වෙත යෑමට හැකි ය. දකුණට ගමන් කළ හොත් මහමගට පිවිසිය හැකි ය. අප දකුණට ගමන් කළෙමු. ඒ මගෙහි ගමන් ගන්නා කිසිවකුත් නැත. දෙපසම උස්ව වැඩුණු වනය දිස් වේ. අප වන සිරි නරඹමින් ඉදිරයට ඇදුනේ කිලෝමීටරයක් දෙකක් පමණ ය. “ස් ස්...ස්... අලියා අලියා...”