රක්වාන තරණ 5 - ගැස්සෙන හදවතින් ලිස්සන ගල් කුළින් බැස්සෙමු

දියකඳුර මුදුනට හඳපාන්ඇල්ල පෙදෙස දිස් වන අයුරු...
කන්ද උඩ තැන්න
ඇල්ල ඉහළ සිට බෝටියතැන්න දිස්වන අයුරු
මේ කඳුවැටියේ මෙතැනට වඩා උස අන් තැනක් නොමැත. එහෙත් ගල්, උල් පිරි පඳුරු සහිත බිමක සිට හාත්පස සිරිය විඳ ගැනීමට අපහසු ය. මගේ අවධානය නිතැතින් ම යොමු වූයේ ඊට මදක් ඔබ්බෙන් පිහිටි ගල් තලාව වෙත ය. අපි එදෙසට පියමං කළෙමු. එය ගිරි හෙළකි. ඒ දුටු වන ඉඳුරාම සිහි වන්නේ හෝර්ටන් තැන්නහි ලෝකාන්තයයි. වේගයෙන් සුළං හමා එන බැවින් ගැටියේ හිටගැනීම අනතුරු සහිත ය. ගල්තලය මත දිගා වී පාතාලය වෙත හිස පෙව්වෙමි. පහළ නිම්නයේ ‘මහ ගඟ” ගලා බසී. එහි එක් පසෙක පෙනෙන්නේ ඉලුඹකන්ද ගම ය. එහි ඇති නිවෙස් ගිනිපෙට්ටි තරමිනි මෙහි සිට දිස් වන්නේ. අනෙක් අන්තයෙන් සිංහරාජයේ ‘මොර්නිං සයිඩි’ පෙදෙස දිස් වේ. සිංහරාජ වන මැද සුදෝ සුදු දිය දහරක් දිස් වේ.  කොළපැහැ වන පළස මැද රිදී පැහැ ඉරක් මෙනි එය දිස් වූයේ. වඩාත් පැහැදිලිව දැක ගැනීමේ අටියෙන් මම රශ්මිගෙන් දෙනෙතිය ඉල්ලා ගත්තෙමි. පුළුල් ගල් තලාවක් ඔස්සේ ඇදහැලෙන දිය කඳුරකි. ගල්තලාව පුළුල්ව පැතිරී ඇති නිසා වනයෙන් එය වැසී නොමැත්තෙන් මනාව ඈතට දිස් වේ.
ගොන්ගල මුදුනට සමනොළ කඳු පෙළ පෙනෙන අයුරු
සූරියකන්ද පෙදෙස
 හිරු අහසේ මුදුන් වේ. දැඩි හිරු කිරණින් ගත උණුසුම් වුව ද හමායන සුළ‍‍ඟෙන් දාහය නිවාලයි. මෙවැනි කාලගුණයක් අපට මහත් ආශංසාවකි. නිල් පැහැ අහස් ගැබ සුදුවන් වලා කැටි ක්ෂිතිජය දක්වා විහිදේ. කඳු වළල්ලට ඉහළින් වලා වළල්ලකි. කොයි දෙස බැලුව ද පෙනෙන තෙක්මානය දක්වා දිස් වන්නේ මේ දසුන ය. මා හිස්වැස්ම ඉවත් කළෙන් හමා යන මාරුතයෙන් කෙස් වැටිය ලෙලෙන්නට විය. මොහොතකට දෑස් පියා ගතිමි. සූ සූ අනුකරණයෙන් දෙකන්පෙති පොපියමින් සුළඟ කන වැකේ. සුළඟට හඬක් ඇත් ද? අන් හැම නද පරයා සුළඟ හඬලන හැඩකි. වරෙක වැරෙන් නැගෙන හඬ වරෙක මිමිණුමකි. කෙතරම් වේලා එසේ සිටියා දැයි මට නිනව්වක් නැත. පියවියට පැමිණියේ පාදයට වැදුණු පහරකිනි. “යමු නේද” රශ්මි ඇසුවේ ය. මම ගෙල ඉහළට එසවීමි. පස්සෙන් ලිස්සී අත්වාරුවෙන් නැගී සිටියෙමි. පොඩියක් හෝ පය ගිලිහුණේ නම් නවතින්නේ අඩි දහසක පල්ලෙනි.
සමනොළ කන්දෙන් මෙපිට කඳු රැළි
හෙළ අයිනට සිංහරාජය පෙනෙන අයුරු
 කලින් ගිය මග ආපසු ගමන අපහසු නොවූයෙන් නැගි කාලයෙන් අඩකටත් අඩු කාලයකි බැසීමට ගත වූයේ. ඉර අවරට යෑමට මත්තෙන් කඳවුර අසලට සැපත් වීම සැපයක් වූයේ, දිවා අහර සැකසීමට කාලය ඉතිරි වූ බැවිනි. නිවී සැනසිල්ලේ අහර බුදීමෙන් අනතුරුව කූඩාරම ගලවා පොදිබැඳගනිමින් පල්ලම් බැසීමට සැරසුණි. ඊට පෙර ඇල්ල මුදුනට යා යුතු ය. තවමත් අප එය නරඹා නොතිබූයෙන් යා යුතු මග තෝරා බේරා ගත යුත්තේ එහි යෑමෙන් අනතුරුව ය. අප යන්නේ දොළ මග ඔස්සේ පහළ දෙසට ය. කුළෙන් කුළට පනිමින් පහසුවෙන් එහි ගමන් කළ හැකි ය. පියවර සියයක්වත් යෑමට මත්තෙන් අප ඉදිරියේ ඇල්ලේ මුදුන දිස් වේ. එහි පිහිටීම හරිම අමුතු ය. අපූරු ය. ගල්කුළක් මැදිකර ගනිමින් දෙපසින් දිය දහරා බේරී යයි. දොළමගේ එතරම් දිය පිරී නැත්තෙන්, එහි ගල්තලාව පෑදී ඇත. මම ඒ ඔස්සේ ඇවිද ගොස් මැද පිහිටි ගල්කුළ වෙත නැග ගතිමි. බෝටියතැන්න රක්වාන මාර්ගය ඈතින් දිස් වේ. විටෙක එය මීදුම්පටලකින් වැසී යයි. වැස්සක් වැටීමට ද ඉඩ තිබේ. එසේ වුව හොත් ගමන දුෂ්කර වනු ඇත. මෙතැනින් ඉක්මනින් පිටත් විය යුතු වුව ද, තව තවත් මෙහි පමා වන්නේ, හාත්පස දසුන අපගේ සිත් වසඟයට ගෙන ඇති බැවිනි. දිය දහර පහළට වැටෙන්නේ එක් තැනෙකින් පමණක් නොවේ. කිහිප පොළකින් ම එය බෙදී යන්නේ මෙහි භූ විෂමතාවය හේතුවෙනි. එහි එක් පසෙක ගල් කුල පඩිපෙළක් සේය දිස් වන්නේ. එය අන්කිසි තැනෙක නො දක්නා අමුතු රටාවකි.
හඳපාන් ඇල්ල වැටෙන්නේ මේ දෙපසිනි
 අප පැමිණි මගින් ආපසු යා නොහේ. ඇල්ලෙන් මතුවන දිය දහර ඔස්සේ ගම්මානයට ළඟා වීම පහසු වනු ඇතැයි සිතුවෙමු. එහෙත් මෙතැනින් එය ඇරඹිය නොහැකි ය. අඩි සියයක් පමණ ගල්බිත්තියක් ඔස්සේ පහළට බැසීමට නොහැකි ය. එබැවින් ඇල්ල පහළට වටෙන් යා යුතු ය. එතැන් සිට ගමන දුෂ්කර නොවනු ඇත. දොළමග ඔස්සේ මද දුරක් ආපසු ඇවිද ගිය අපි එහි දකුණු දෙසින් කැලයට ඇතුළු වීමු. කුඩා කඳු ගැටයකින් පසු පල්ලම දෙසට යොමු වී ගියත් මිනිසුන් ගමන් කළ මගක් එහි දක්නට නොවිණි. අප යා යුත්තේ ඇල්ල පහළට බැවින් ඒ දිශාව ඔස්සේ පහළට බැසීමට ය අප වෑයම් කළේ.
 මෙහි බට පඳුරු ද, කටුකිතුල් ද නොඅඩුව ඇත. අතේ පයේ ඇණෙන කටුවලට නොදෙවැනි ‘කට්ටක්’ වූයේ බිත්තියක් මෙන් බෑවුමක් බැසීමට සිදු වීම ය. පය ලිස්සා ගිය විටෙක නවතින්නේ අඩි පහක් දහයක් රූටා යෑමෙනි. ඒ, අතට අසුවන ගහක් වැලක් අල්ලා ගැනීමෙන් හෝ එවැන්නක පැටලීමෙනි. මෙහි පස් ත‍ට්ටුව ඉතාමත් තෙත බරිත ය. තබන තබන අඩියක් පාසා එරී ලිස්සා යයි. වන බිමේ දිරා ගිය කොළ රොඩු තට්ටුව ද ඝනට ඇත. වැඩිමනත් ම පා ලිස්සා යන්නේ එබැවිනි. එහෙත් මෙහි ජීවවිවිධත්වය නම් ඉහළ ය. කොළ රොඩු තට්ටුවේ සරුවට වැඩී ඇති ගොටුකොළ හා සමාන පැළෑටියකි. පුළුල් පත්‍ර සහිත එවැන්නක් පෙර නුදුටූවක් බැවින් කෙතරම් අපහසුවකින් වුව ද එය ඡායාරූපයට නගා ගැනීමට මම පසුබට නොවීමි.
ඇල්ලේ දකුණු පස
ඇල්ල මුදුනට පහළ දිස්වන හැටි
ගොටුකොළ වැනි පැළෑටියක්
“ආහ්..” අත තබා ඇත්තේ දිරා ගිය අත්තක ය. පස්ස බිම ඇනී ලිස්සා ගිය මා කොළ රොඩු අතර බට පඳුරක සිර වූයේ අඩි දහයක් දොළහක් පමණ රූටා යෑමෙනි. රශ්මි ඉහළ සිට මුව අයා බලා සිටී. ඔහු පහළට බසින්නේ පරිස්සමිනි. අඩිකිහිපයක් පහළ බසින මා හයිහත්තිය ඇති ගහක් වැලක් අල්ලා ගැනීමෙන් අනතුරුවය ඔහු හිටි තැනින් නික්මෙන්නේ. එසේ නොවුන හොත් අනතුරේ වැටෙන්නේ මා ය. රශ්මිගේ පය වැදී ගිලිහෙන ගල් ගෙඩියක් පහසුවෙන් ම මා හිස මත පතිත විය හැකි ය. බටපඳුරේ කොළ රොඩු අතර මගේ දෙපා සිර වී ඇත. පිට රැඳි පොදිය ගැන කියනුම කවරේ ද? එය සිඳී බිඳී ගොස් නැතත් හොඳ හැටි මඩ වැකී ඇත. එක් පයක මිරිවැඩිය ගිලිහී ගොසිනි. මඩෙන් එය ගොඩ ගැනීමට පහසු වූයේ නැත. ‘කොරේ පිටට මරේ’ කියන්නාක් මෙන්, කූඩලු ප්‍රහාරය ඉවසුම් නොදේ. එහෙත් කළ හැකි කිසිත් නැත. උන් රිසි සේ රීරි උරා බොති. කූඩැල්ලන් කඩන්නට තබා මේ ඉසව්වේ ගත වාරුකර ගැනීමට ද සටනක් කළ යුතු ය. තවදුරටත් මේ ඉරියව්වෙන් පහළ බැසීමට නොහැක්කෙන් මුනින් හැරී පරෙස්සමින් මදින් මද පහළට ඇදුනෙමු. තෙතබරිත පස පාඟිලි අතරින් චෝරු වී මතු වීම විටෙක සැපයක් සේ දැනුනේ, රිදුම් දෙවමින් ඇදුම් කවමින් ඇඟිලිතුර මිරිකී ලේ උරා බොන කූඩලු පොදි ඉන් ගැල වී යා දෝයි සිතුණු බැවිනි. එය හිතලුවක් ම පමණෙකි. උරා බිව් ලේවලින් උදරගෙඩි පිරී පිම්බීමෙන් හැලී යනවා විනා උන් නොවේ ගැලවී යන්නේ. කූඩලු උවදුරෙන් බේරීමට කෙම්බිමක් සොයා යා යුතු ම ය. එකම විකල්පය වන්නේ දිය දහර දෙසට බඩ ගෑම ය. දැන් අප ඇල්ලේ ඇදහැලෙන කොටස පසු කර ඇතත් මේ ඉසව්වෙන් ද දිය දහර ඔස්සේ පහළට බැසීම කළ හැක්කේ දැයි සැක සහිත ය. අන් විකල්පයක් නො වූයෙන් එදෙසට ඇදුනෙමු.
කූඩලු ගෙඩි පිටින්...
 දැන් අප සිටින්නේ එහි එක් ඉවුරක ය. එහෙත් එයට සේන්දු විය යුත්තේ බිත්තියක් මෙන් වූ ගල් තලයක් ඔස්සේ ය. පළමුව පය රැඳි මිරිවැඩි පහළට විසි කළෙමු. ගල් කුස්තුරවල පිහිටෙන් යන්තම් පාඟිලි අතැඟිලි දවටා ගනිමින් ය, පහළට බැසිය හැකි වූයේ.  දෙපා දෙස බැලීමට ද අපුල ය. කූඩලු පොදි පොදි නලියමින් ලේ උරා බොති. ගල් කුළක් මතට නැගගත් අපි උන් ගලවා දැමීමට නොඉවසිලිමත් වීමු. උන් ගලවා දැමූ ඇසිල්ලේ රුධිරයෙන් දෙපා නැහැවී ගිය ද එය සැපයක් සේ ය. එතැන මඳ ඉසිඹුවක් ලද අප නැවතත් පහළ බැසීම ඇරඹූයේ දිය දහර ඔස්සේ ම ගමන් කිරීමට ඉටා ගනිමිනි. එහෙත් එය ලෙහෙසි පහසු කාරියක් නොවේ. ‘ඉඟුරු දී මිරිස් ගත්තාක්’ වැනි ය. ඇතැම් තැනෙක තරණය කිරීමට නොහැකි තරම් වූ විසල් ගල්කුළු ය. සුළු පමාවකින් ලිස්සා ගොස් අනතුරක් විය හැකි ය. එබැවින් ගමන් කළ හැකි වූයේ ඉතා සෙමිනි. පහළට යනවාට වඩා පහළ බැසීමට හැකි තැන් සොයමින් අක්වක් ලෙසින් ඔබ මොබ යෑමට ය සිදු වූයේ. ගංගාව ඔස්සේ කොහෙත්ම බැසිය නොහැකි විටෙක නැවතත් වල් වැදීමට සිදු විය. එක් තැනෙක ගඟ මත පතබෑ වූ දැවැන්ත වනස්පතියෙකු මතින් ගමන් ගැනීම පහසුවක් විය.
 දැන් බිංකළුවර වැටෙමින් ඇත. අප තවමත් ගඟ මැද්දේ ය. අද කෙසේ හෝ වනයෙන් එළියට යා යුතු ය. මේ ඉසව්වේ කූඩාරම් ලෑම කළ නොහැක්කකි. එසේ කරනවා නම් එකම ක්‍රමය වන්නේ ගංමැද්දෑවේ පිහිටි ගල්තලයක් මත කූඩාරම් ලෑම ය. එහෙත් වනයෙන් එළියට යෑමේ බලාපොරොත්තුව තවමත් දැල්වී ඇත.  තවත් මොහොතකින් මුළු වනය ම අඳුරේ ගිලෙනු ඇත. එක් පසෙක එළිමහනකි. ඒ දෙසින් මගක් ඇත්දැයි විපරම් කිරීමට ගියේ රශ්මිය. මම ගඟ මැද ගල්කුලක් මතට වී යා යුතු මග සිහිඑළවා ගැනීමට වෙහෙසුනෙමි. ඔහුට ලබා දුන්නේ මිනිත්තු පහකි. වැඩිපුර මිනිත්තුවක් ද ඉක්මගියෙන් වෝකිටොකියෙන් ඔහු ඇමතීමි. කිසිදු පිළිතුරක් නැත. හාත්පස පැතිර ගියේ අඳුර දැයි බිය දැයි සිතා ගත නො හැකි විය. 

මා සුරතේ වූ ‘වෝකිටොකියෙන්’ කුරු කුරු නදක් නැ‍ඟේ. වහා ප්‍රතිචාර දැක්වූවෙමි. “මම දැන් ආපහු එනවා” ඒ රශ්මිගේ හඬ ය. එපමණකි. ඉන්පසු නිහඬය. නැවත ඔහු ඇමතීමට මා කොතෙක් උත්සහ කළ ද ඵලක් නොවිණි. ඉවසනු විනා අන් කුමක් කරම් ද? මෙතෙක් වේලා අක්‍රිය කර තිබූ දුරකථනය මම සක්‍රිය කළෙන්, එසැන ඇමතුමකි. “ඔයාලට මොකුත් කරදරයක් ද? ආවෙ නැති නිසයි කෝල් කළේ...” ඒ හඬ රත්නෙ මුදලාලිගේ ය. අප මොටෝ රිය ගාල් කළේ ඔහුගේ මිදුලේ ය. කුමක් කියන්න දැයි මම මොහොතක් පසු බෑමි. “අපි තාම කැලේ ඇතුළෙ ඉන්නෙ. තව ටික වෙලාවක් යයි එළියට එන්න” මම එසේ කීව ද කැලයෙන් එළියට යෑමට තව කොපමණ වේලා ගතවේ දැයි නිනව්වක් නැත. “එළියට ආවම කෝල් එකක් දෙන්න. මම ත්‍රීවීලර් එකක් එවන්නම්” හෙතෙම පැවසූයෙන් ඊට අවනතව ඇමතුම නිමා කළෙමි. සැබවින් ම අප දැන් අතරමංව සිටිය ද, වෙනකෙකුට කරදර කිරීම අපට තරම් නොවේ. එහෙත් ඒ සඳහා නොසැසෙල අදිටන විනා අන් කිසි සරණක් නැත. රශ්මිගේ හෝඩුවාවක් හෝ තවමත් නැත. අඳුරේ ගිලුණු තුරුහිස්තුරින් පෙරී එන මලානික ආලෝකය දෙස මා දෑස් යොමු කළෙමි. හිස් බැල්මෙන් වැඩිවේලාවක් එලෙස සිටීමට නොහැකි වූයේ, රශ්මිගේ හඬ දෝංකාරයක් සේ දෙසවන වැකුණු හෙයිනි. ඔහු පැමිණ තිබුණේ ගිය මගින් නොව අන් දෙසකිනි. මා සිටි තැනට පහළිනි ඔහු මතු වූයේ. “ඒ පැත්තේ ඈතින් නම් එළියක් පේනව. ඒත් මිනිස්සු ගිය පාරක් නම් හොයා ගන්න බෑ” ඔහු පැවසී ය. එහෙත් දැන් ඒ සඳහා අපගේ වටිනා කාලයෙන් අඩහෝරාවකටත් වඩා වැඩියෙන් වැය කොට ඇත.
 “අපි මේ පැත්තෙන් යමු.” මම අප සිටි තැනින් වම් දෙස වූ කැලයට ඇතුළු වුණෙමු. එදෙසට කෙළින් ම ගමන් කිරීමෙන් බෝටියතැන්නට ළඟා විය හැකි බව නිසැක ය. එහෙත් මේ කළුවරේ ගමන් කළ හැකි මගක් නොවේ එය. ගල්කුළු කටුපඳුරු පමණක් නොව ගැඹුරු වල ද නොඅඩුව ඇත. වැඩිදුර නොගොස් හැරී ආපසු ගඟට ම ආවෙමු. ගඟ දිගේ යෑම වනය හරහා යනවාට වඩා පහසුවක් වුවත්, ගඟ මෙතැනින් දකුණට හැරේ. ඒ ඔස්සේ ගමන් කළ විට එළිමහනකට පැමිණීම නිසැක වුවත් ඒ සඳහා බොහෝ දුරක් ගෙවා දැමිය යුතු බව පැහැදිලි ය. ඊටත් වඩා අවාසිය වන්නේ කුළෙන් කුළ නගිමින් බසිමින් අක්වක් ලෙස ගමන් කිරීමට සෑහෙන කාලයක් මිඩංගු වීම ය.
කූඩලු ප්‍රහාරයෙන් පසු
මොහොතක් නැවතුණු අපි දැඩි තීරණයකට එළඹුනෙමු. ගඟත් එළිමහනත් අතර ඇත්තේ පටු වන තීරයකි. එය කෙසේ හෝ තරණය කළ හොත් ඉක්මනින් එළියට යා ගත හැකි ය. ගඟ මගෙන් ඉවත්ව එක එල්ලේ වනය තුළින් එක් දිශාවකට ගමන් කිරීමට ඉටා ගතිමු. හිසේ පැළැඳිය හැකි විදිලි ලාම්පු දෙකක් අප සතු වූයෙන් ඒවා පැළැඳ, අමතර විදුලි පන්දමක් ද සුරතට ගතිමි. දැන් ආලෝකයෙන් අඩුවක් නැත. අපි වේගයෙන් කැලේ මැදින් ඉදිරියට ඇදුනෙමු. වේගය අඩාල වූයේ විටෙක කටුපඳුරු ද විටෙක ගල්කුළු ද මග අවුරාලූ බැවිනි. කැලයේ යටිරොපණය ද දැඩි ය. ඉන් ඉඟි කෙරෙන්නේ වන මායිම ළඟපාතක ඇති බව ය. ඇතැම් තැනෙක කොහෙත් ම ගමන් ගත නොහැකි ලෙස මග ඇහැරී තිබිණි. එවන් තැනෙකින් බඩගාමින් ඉදිරියට ඇදුනෙමු. අප සිත් ත්‍රාසයෙන් පිරී තිබිණි. නොපසු බට වීරියෙනි අප ඉදිරියට ඇදුනේ.
 එක් වරම අප ඉදිරියේ දිස් වූයේ තේ පඳුරු පිරි එළිමහන් බිමකි. කෙතරම් සැනසුමක් ද? කතරේ අතරමං වූවෙකුට කෙම්බිමක් හමු වූවා වැනි ය. තේ මංඩියේ ගල්කුළක් මතට නැගී කූඩැල්ලන් ගලවා දැමීමෙන් අනතුරුවය තාරපාරට යා හැකි මගක් විපරම් කළේ. බෝටිය තැන්නේත් ඉන් පහළත් පිහිටි නිවෙස් කිහිපයක එළි දැල් වේ. මහ මග ගමන් කරන වාහනවල එළිය ද හොඳන් දිස් වේ. තේ වත්තේ මායිම ඔස්සේ වැටී ඇති අඩි පාරන් අපි ගමන් කළෙමු. කඳු පල්ලම් කිහිපයක් බැසීමෙන් පසු එය පුළුල් මගකට පිළිපන්නෙන්, ටිකදුරක් ගමන් කිරීමෙන් මහ මගට පිවිසිය හැකි විය. මේ මග ගමන් ගන්නා අවසන් බස් රථය ද දැන් පිටත් ව ගොසිනි. මම රත්නෙ මුදලාලිගේ අංකය ඇමතීමි. “ඔතනම ඉන්න. මම තව ටිකකින් එනවා” ඔහු පැවසී ය. බරපොදි පසෙකින් තබා මග අයිනේ වාඩි වී ගිමන් හැරියෙමු.
 අහසේ තැනින් තැන තරු දිස් වේ. තුමුල රක්වාන කඳු ඉහළින් තරු නොදිලෙන්නේ එය මීදුමෙන් වැසී ඇති හෙයිනි. වසරේ වැඩි කලක් මෙම පෙදෙස මීදුමෙන් බරව ඇත. මීදුමෙන් ජලය උරා ගැනීමට මෙම කඳුවැටියේ තුරුලතා හැඩගැසී ඇත. ඒ අනුව වැසි දියෙන් පමණක් නොව, මීදුමෙන් ද මෙහි ජල උල්පත් පෝෂණය වේ. මින් පෝෂණය ලබන ගංගාවෝ රැසකි. ඒ අතරින් වළවේ ගඟ සහ ගිං ගඟ වඩා වැදගත් වන්නේ තෙත් කලාපයෙන් පෝෂණය ලැබ වියළි කලාපය හරහා ඒවායේ ජලය ගලා යන බැවිනි. හඳපාන් ඇල්ලෙන් රක්වාන ගඟට එක්වන ජලය ගලාබසින්නේ වළවේ ගඟට ය. මේ අයුරින් හඳපාන්ඇල්ල තැන්නට වැටෙන වැසි දිය ගංගා නිම්න හතරකට බෙදී යයි.
පතබෑවුණු වනස්පතිය
 හඳපාන්ඇල්ල තැන්නෙහි වනය අයත් වන්නේ උප කඳුකර වනාන්තර ගණයට ය. අප රටේ එවැනි වනාන්තර ඇත්තේ කිහිපයකි. මෙය සිංහරාජ වනයේ ම කොටසක් සේ ය දිස් වන්නේ. එහෙත් රක්ෂිත වනයක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කර නොමැති වීම අරුමයකි. සැබැවින් ම මෙය සිංහරාජ‍යේ ම කොටසකි. එලෙසින් එය සංරක්ෂණය කළහොත් සිංහරාජයේ ජෛව විවිධත්වය පහත සිට ඉහළ කඳුකරය දක්වා ම විහිදී යනු ඇත. මෙම කඳුකරය තුළ ශේෂ වනාන්තර ලෙස හඳුනාගත් පෙදෙස් තුනක් ද දැකිය හැකි ය. හඳපාන්ඇල්ල, ගොන්ගල සහ සෙල්ලකන්ද ලෙසිනි. එවැනි කුඩා පෙදෙසක් පමණක් නොව මෙම කඳුකරය ද සිංහරාජ වනයට ම ඈඳා සංරක්ෂණය කළ හැකි නම් කෙතරම් අගනේ ද?
 සිංහරාජ නැගෙනහිර පෙදෙසේ වාර්තා වී ඇති සත්ත්ව විශේෂ ගණන පන්සියයකට අධික ය. මිරිදිය මසුන්, උභයජීවීන්, සර්පයින්, කුරුල්ලන්, මිරිදිය කකුළුවන්, බත්කූරන් සහ ක්ෂීරපායීන් ඈ විවිධ සතුන් ඒ අතර වේ. ඉන් විශේෂ එකසිය විසි තුනක් ම අප රටට ආවේණික වූවෝ වෙති. ඉන් අනූතුනක් ම වඳවීමේ තර්ජනයට ලක් ව ඇත. තවත් වෙසෙසක් වන්නේ මේ අතුරින් විශේෂ දාහතක් මෙතැනට ම පමණක් සීමා වීම ය. එම සතුන් ලොව අන්කිසි තැනෙක සොයා ගත නොහේ. ඒ අතරට මිරිදිය කකුළු විශේෂ තුනක්, උභයජීවීන් අටක් සහ සර්ප විශේෂ හයක් ද ඇතුළත් ය. ඉන් විශේෂ දොළහක් ම දැඩි තර්ජනයට ලක්ව තිබේ.
 මම නැවත අහස දෙස බැලීමි. එය නැවතත් අඳුරේ ගිලී ගොසිනි. අහස මතු නොව ජීවවිවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය ද දිනෙන් දින අඳුරේ ගිලෙනු දක්නට ලැබේ. හඳපාන්ඇල්ල තැන්න පුරාම මැණික් පතල් හාරා ඇත. දැන් මේ කැලය පුරාවට එකුදු හෝ වල්ලපට්ටා ගසක් ඉතිරිව තිබේ දැයි සැකයකි. ඒ මදිවාට දිනෙන් දින වනය ආක්‍රමණය කරමින් තේ වවන්නෝ ද, නිවෙස් තනන්නෝ ද වෙති. මෙවන් අතොරක් නැති අලකලංචි සිදු වන්නේ ඊට කිසිදු රැකවරණයක් නොමැති හෙයිනි. නිකමට හෝ වනය රකින නිල දරුවෙකු මෙදෙස බලන සෙයක් පෙනෙන්නට නැත. ඒ, නිල වශයෙන් මෙය රක්ෂිතයක් නොවන බැවිනැයි මට හැ‍‍ඟේ.
ගනදුර මැදින් කැලයෙන් එළියට..
“බරාස්...” යන අනුකරණයෙන් අප අසලට ම පැමිණි වාහනයක් තිරිංග යෙදුවෙන් මම නැගී සිටියෙමි. රත්නෙ මුදුලාලි සිය වෑන් රියෙන් පැමිණ තිබුණේ අප කැටුව යෑමට ය. තවත් කවුදෝ එතුළ වේ. ඒ, අපේ ගමනට උදපදව් කළ දෙනගම මහතා ය. කුණු සහ ලේ වැකුණු ගතින් වාහනයට ගොඩවීමට අපි මදක් පැකිලුණෙමු. “නගින්න නගින්න ප්‍රශ්නයක් නෑ” ඔහු කාරුණිකව පැවසුවේ ය.
නිසල ගැඹුර කඳුපෙත දෙස මම බැල්මක් හෙලීමි. තෙදිනක් පුරා අප සැරි සැරූ මහ වනය අඳුරේ ගිලී ඇත. හෙට දින අළුයම කන්ද කපා පායන රන්වන් හිරුකිරණින් එය නැහැවී යනු ඇත. මා වාහනයට ගොඩ වූයේ සුසුම් පොදක් වාතලයට මුසු කරමිනි. ඒ විඩාව නිසාවෙන් දැයි මේ වන පෙතේ අනාගතය වෙනුවෙන් දැයි මම නොදනිමි.