රක්වාන තරණ 3 - ඇහැ පියවෙන විටම වෙඩි හඬක්!



හිමිදිරියේ කූඩාරමට ඉහළින් සඳ පායා..
රශ්මි තවමත් නින්දේ ය. මම නැවතත් කූඩාරම තුළට වැදුණේ යළිත් වැසි ඇදහැලීම අරඹුණු බැවිනි. එය මහ වැස්සක් නොවේ. හිරිපොද වැස්සකි. කූඩාරම තුළ උණුහුමට ගුලි වී ඇති තරම් නිදා ගත හැකි ය. එහෙත් එසේ සුව විඳීමට ඉස්පාසුවක් නැත්තේ , තවමත් අප වල්මත් වී ඇති බැවිනි. නිශ්චිත මගකට පිළිපන් විටය හිතට අස්වැසුමක් ලැබිය හැක්කේ‍. වටින් ගොඩින් එළිය වැටේ. මම කූඩාරම තුළට වී පෙර දිනයේ සිදු වූ තුවාලවලට ප්‍රතිකාර කළෙමි.
වැස්ස මදක් තුරල් කළ ඇසිල්ලේ යළි කූඩාරමෙන් පිටත පැමිණියෙමි. පෙර දිනයේ රශ්මි ඉදිකළ නොදැල්වූ ‘ගිනිමැලය’ තවමත් එසේම ය. තවත් දින ගණනක් යන තුරුත් එය දැල්විය හැකි වෙදැයි සැකයෙකි. ඉන් වෙනකෙකු නම් ප්‍රයෝජන ගෙන ඇති සැටියෙකි. ඒ මකුළුවෙකි. ඌ ඒ මත අපූරු දැලක් වියා තිබිණි. උදෑසන ආහාරය සැකසිය යුතු ය. එහෙත් ඒ සඳහා දිය ගෙන ඒමට සෑහෙන දුරක් යා යුතු ය. අපට දැන් කළ හැකි කාරියන් දෙකක් තිබේ. කූඩාරමත් අකුලාගෙන අඩුම කුඩුම සියල්ල පොදිබැඳගෙන නැවත කූඩාරම්ලෑමට තැනක් සොයා යා හැකි ය. නැතහොත්, කූඩාරම සහ බර පොදි මෙතැන ම තබා නිදහසේ එවන් තැනක් සොයා යා හැකි ය. දෙවැනි ක්‍රමය යෙහෙකැයි සිතූවෙමු. පෙර දිනයේ ඉතිරිකරගත් දිය ස්වල්පයකින් තේ සාදා ගත හැකි විය. උදෑසන අහර සැකසීම සඳහා නැවත දිය ගෙන ආ යුතු ය. තරමක් වැඩිපුර ගෙන ඒමට අප භාවිත කළේ “ෂොපිං කවර” කිහිපයකි. මෙවර ද දිය ගෙන ඒමට පිටත්ව ගියේ රශ්මි ය.
තුවාලවල බෙහෙත් ගල්වමින්..
කැලෑමල් ගොමුවක්...
“හලෝ අමතන්න...” රශ්මිගේ වෝකිටෝකියෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. දැන් කුමක් කරම් ද? තවත් මද වේලාවක් ඉවසිය යුතු ය. “හලෝ... හලෝ...” මා සුරත රැඳි වෝකිටෝකියෙන් ඇසෙන්නේ ඔහුගේ හඬ ය. “වතුර පුරවගත්තා. මම දැන් ආපහු එනවා” ඔහු පැවසී ය. කවර දෙක තුනක් එකට තබා දිය පුරවා ගත්ත ද, කටු ඉපලින් ආරක්ෂා කර ගනිමින් එය රැගෙන ඒමට හේ මහත් වෙහෙසක් දරා ඇති සැටියෙකි. කූඩාරම අසලට ළඟාවන විට කිහිපපොළකින් ම සිදුරුව තිබූ කව‍රයෙන් දිය බේරෙමින් තිබිණි. එහෙත් ප්‍රමාණවත් තරම් ඉතිරිව තිබිණි.
බෝවිටියා මල්
මම පාතරාසය පිළියෙළ කළෙමි. නැවත දවාලට කෑමක් අපේක්ෂා කළ නො හැකි ය. එහෙයින් දෙවේලම මෙයින් පිරිමසා ගත යුතු ය. අපි බඩපුරා කෑවෙමු. මෙවලම් කිහිපයක් මල්ලට ඔබාගෙන ඉතිරි සියල්ල කූඩාරම තුළ අඩුක්කර තබා පිටත් වීමු. අප සොයා යන්නේ අද රාත්‍රියේ කූඩාරම්ලෑමට සුදුසු තැනෙකි. එවැන්නක් සොයාගත් පසුව කඳු මුදුනට යෑම සඳහා මගක් සොයා ගත යුතු ය. ඊයේ අප ඉහළට එන විට අවසනට හමු වූ දොළ මග අසලින් වන මං කිහිපයක් ඒ මේ අත විහිදී තිබෙණු මතක ය. ඉන් එක් මගක් ඉතා පැහැදිලි වූයෙන් ඒ ඔස්සේ යෑම නුවණට හුරු ය. බැලූ බැලූ අත පඳුරු සහිත යටිරෝපණය ඝනව වැඩී ඇති නිසාවෙන් කැලේ තලාගන මගක් පාදාගෙන යෑම ඉතාමත් අසීරු ය, නුනුවණ ය.
දිය ගෙනා කවරය හිල් වෙලා...
සතුන් ගමන් කිරීමෙන් තැනුණු මගක ලක්ෂණ නොවේ මෙහි දැකිය හැක්කේ. එය නිරතුරු මිනිස් පහස ලද සෙයකි. එහෙත්, උදක්ම මෙය ගැමියන් කරක්ගසනා ඉසව්වක් නොවූයෙන් මා සිත උපන්නේ කුකුසකි. මොහොතකින් එය සහේතුක බවට දෙස් දෙන ලකුණු දක්නට ලැබිණි. නොගැඹුරු වලකි. මැණික් ඉල්ලම් සොයා කැනූවක් විය යුතු ය. තවත් ඉදිරියට යත්දී ගැඹුරට හෑරූ වල රැසක් ම අපගේ නෙත ගැටිනි. මේවායෙන් ගොඩදමා ගන්නා ඉල්ලම් සහිත පස සෝදා ගැනීමට වතුර ඇති තැනක් සොයා යා යුතු ය. මෙවන් පැහැදිලි වන මගක් සෑදී ඇති රහස එය ය. මේ පෙදෙසේ ගස් උස්ව වැඩී ඇතිවා පමණක් නොව යටි රෝපණය ද එතරම් ඝනව දක්නට නො ලැබේ. නැවත නැග්මට ඇත්තේ මඳ කඳු ගැටයකි. ඉන් ඔබ්බේ එළිමහන් ඉසව්වක ලකුණු දිස් විය. ඒ දෙසට පඳුරු අතරින් රිංගා යෑමට ය, සිදු වූයේ. එහෙත් එය එතරම් අපහසුවක් නො වූයේ අප බර පොදි කිසිවක් රැගෙන නො ආ බැවිනි. බාධාවකට ඇත්තේ වැස්ස ය. හිරිපොද වැස්ස සමඟ මීදුම ය.
කඳවුරු බැඳීමට බිම්කඩක් සොයමින්...
අපි වැසි ආවරණ පැළැඳගතිමු. එක් වරම සුළඟ සමග එන මිහිදුම් පටලයකින් හාත්පස වැසී ගියේ ය. එවිට අඩි කිහිපයකට වඩා ඉදිරය දිස් නොවේ.
මෙහි ගල්තලාව සෑහෙන දුරකට විහිදී යයි. එහි කිහිපපොළකම අකුරු කුරුටු ගා ඇත්තෙන්, මට සිහි වූයේ සීගිරියේ කැටපත් පවුර ය. ඒ හා මේ අතර ඇති සමබව කිම? කැටපත් පවුරේ කුරුටු ගා ඇත්තේ ඒ දැක්මෙන් ආනන්දයට පත් දන මන මැවුණු සිතුවිලි ය. මෙහි කොටා ඇත්තේ නම් ගම් ය. “අමිල- කලවාන” යනුවෙන් දුරකථන අංකයක් ද සටහන් කර තිබිණි. මෙහි හුදු පැමිණීම සටහන් කිරීමෙන් ලබන ආශ්වාදයක් විය හැකි ය. එහෙත්
ඈතට විහිදෙන ගල් තලාව
සොබාවට එය කැලලෙකි. පියසටහනක් හෝ මෙහි නො තබා යන්නේ නම් ය අගනේ.
ගල් තලාවේ එක් කෙළවරක පිළිවෙලකට ඇසුරූ තරමක් විශාල ගල්පතුරු කිහිපයකි. ඒවා එක්කොට තනා ඇත්තේ අපූරු ගල් බංකුවකි. ඒ අසල පිළිස්සී ගිය දර කඳන්වලින් ඉතිරි වූ කොටස් තැන තැන විසිර ඇත. ඒ ලොකු ගිනිමැලයක සුන්බුන් ය. කිසිවෙකු මෙහි කඳවුරු බැඳ සිට ඇත්තේ මාස ගණනාවකට එපිට දී බව සලකුණු අනුව කිව හැකි ය. “හොරපතල්” හෑරුවවුන් කඳවුරු බඳින්නට ඇත්තේ මෙහි ය. අපට ද මෙහි කූඩාරම ඇටවිය හැකි නමුදු දිය ගැනීමට තැනක් අසලින්
ගල් වැටියකින් වට කළ වාඩි බිමක්
නොවූයෙන් මීට වැඩි සුවපහසු ඉසව්වක් සොයමින් ඉදිරියට ඇදුනෙමු.
කටු අකුලක කුරුලු කූඩවකි
දැන් මග වැටී ඇත්තේ කූඩලු වර්ගයේ උසට වැඩුණු ගස් ගාලක් මැද්දෙනි. කුරුබිලයකින් රිංගා යන සේ ඒ මැදින් ගමන් කළ හැකි ය. එය තැනෙන්නට ඇත්තේ පතල් සොරුනගේ දෙපාවලට තැලී පොඩි වී යෑමෙනි. අඩි සියයක් දෙසීයක් යෑමට මත්තෙන් කුඩා දොළ මගකි. අරුමයකි! එහි බෝර දමා ගල්කුළු පුපුරවා ඇත. නිදන් සඳහා ද? මැණික් සඳහා ද? බොහෝ විට මැණික් ඉල්ලමක් ගලයට ඇතැයි සිතා මෙවැන්නක් කළා විය හැකි ය. අපි අඩිපාර ඔස්සේ ඉදිරියට ම ඇදුනෙමු. දියදහරක් ගලා යන ගොජ ගොජ නද කන වැකේ. “මේ සද්දෙ ඇහෙන්නෙ ලොකු දියපාරකින් වගේ” පය ඉක්මන් කළ අපට දක්නට ලැබුණේ මනරම් දිය දහරකි. එහි ඉවුරු දෙපසම ගල්තලාවකි. කූඩාරම්ලෑමට මීට වඩා සුදුසු තැනක් හමු නොවනු ඇත. ඉවුරු දෙපසම පැරැණි කඳවුරුවල නටබුන් දිස් වේ. ඇතැම් තැනෙක සුළඟින් ආරක්ෂා වීමට කුඩා ගල්කුළු එක්කොට තනා ඇති ප්‍රාකාරයකි. අප මේ සේන්දු වී ඇත්තේ හඳපාන්ඇල්ල ඉහළ කොටසට ය. වල්මත් වූ හැඟීම සිත්වලින් වියැකී ගොසිනි. සිතියම අත නැති වුව ද එහි ප්‍රමුඛ ලකුණු සිතුවමක් මෙන් මා මනසේ තැන්පත් වී ඇත. ආ ගමන් මගේ බිම්ලකුණු හා සැසඳූ කල, අපගේ පිහිටීම
පතල් වලක්
ඉඳුරාම පසක් කොට ගත හැකි ය.
අප ආ මගේ අන් දෙස, එනම් නැගෙනහිරින් පිහිටා ඇත්තේ ‘හෙල්ලුම්දෙණිය’ ලෙසින් හැඳින්වෙන දෙණියකි. ඊට එනම ලැබී ඇත්තේ ඒ මතින් ඇවිදින කල දොදොලයක් මත ඇවිදිනවාක් මෙන් තණ පළස සෙලවීමට ලක්වන බැවිණි. එදෙසට අපි දොළමග දිගේ නො ගොස් වනය තුළින් යෑමට තැත් කළෙමු. එහෙත් එය දුෂ්කර වූයේ කටුකොහොලින් මග ඇහැරී තිබූ නිසාවෙනි. මෙහි කුරුලු කූජනය නම් නොඅඩුව ඇත. දෙමලිච්චන්ට සමාන හඬකින් තොරතෝංචියකින් තොරව ඇසෙන කිචිබිචිය කාගේ දැයි බැලීමට මා උත්සුක වූවෙමි. ඒ රතු දෙමලිචිචන් රැසකි. උන් ප්‍රමාණයෙන් හා හැඩයෙන් නිතර දෙවේලේ දකින පොදු දෙමලිච්චාට සම වුවත් රතු-දුඹුරු පැහැ තටුත්, තැඹිලි පැහැයට හුරු හොට සහ පාද නිසාත් වඩා ආකර්ශනීය වේ. උන් රංචුවක් පියඹා එන විට පළාතම දෙවනත් වන සේ තියුණු කිචිබිචියක් නගති. අහර අහුලද්දී ඇ‍සෙන හ‍ඬහි තියුණු බව අඩු ය. අනතුරක් ඉව වැටුණු වහා නැගෙන්නේ මහත් කිචිබිචියකි. අපගේ පැමිණීම උන්ට අනතුරක් සේය දැනී ඇත්තේ. “ආහ්...” තවත් මොහොතක පමාවක් වූයේ නම් අනතුර සිදුවන්නේ මට ය. කුරුල්ලන් දෙස බලමින් ගිය මා තියුණු කටු පඳුරක නො පටලැවී ගැලවුණේ යන්තමිනි. එහි තනා ඇති කූඩුවකි. බටකොල ඈ නොයෙකුත් කොළරොඩුවලින් තැනුණු එය කුරුලු කූඩුවක් වුවත් ඒ කුමන කුරුල්ලෙකුගේ දැයි නිච්චියක් නැත.
පෙර දා කඳවුරු බිමට සමු දෙමින්..
දෙවැනි කඳවුර
 අපි වැඩිදුර නො ගොස් ආපසු හැරී ඒමට තීරණය කළෙමු. මන්ද, රෑ බෝවීමට මත්තෙන් කූඩාරම ගලවාගෙනවිත් සවි කර ගත යුතු ය. දැන් වැස්ස තුරල් කර ඇත. එහෙත් වැසි බීරුම පහව ගොස් නැත. නොනැවතී වැසි වැටුණ හොත් තවත් කරදරයකි. එබැවින් කූඩාරම නැවත සවි කිරීමෙන් පසුව ය වෙනත් යමක් කළ යුත්තේ. අපි එය හකුලාගෙන බරපොදිත් රැගෙන පැමිණියෙමු. මෙතැන, දෙපස කඳුවලට මැදි වූ එළිමහන් තීරයක් වූයෙන් සුළඟ ඉතා වේගවත් ය. ගල මත කූඩාරම නොරඳනු ඇත. කූරු ගසා ලණු දැවටීමට ද නොහැකි ය. ඒ වෙනුවට බරැති ගල්කුට්ටි කිහිපයක් ගෙන ලණු දවටා කූඩාරම සවිගැන්වුවෙමු.
අද දිනයේ තවත් මෙහෙයුමක් කරා කාලවේලා ඉතිරිව නැත. තෙතබරිත වූ ඇඳුම් උනාදමා ලේ තැවරුණු, කුණු වැකුණු ගත දෝවනය කර ගැනීමට මේ කදිම වේලාව ය. ඇඟ කිලිපොලා යන සීතල නොතකා දොළෙහි ගිලී අපි සිත් සේ නා ගතිමු. දොළ ඉවුරේ ගල්තලයේ හිඳ උණු උණු කිරිකෝපි කෝප්පයක රස බැලීමට අප වාසනාවන්ත වූයේ එතෙක් වැස්ස ඉවසා සිටි හෙයිනි. “ගිනිමලයක් ගහමු ද?” රශ්මිට මම යොජනා කළේ ඔලොක්කුවට මෙනි. ගිනිමැලයක් වටා හිඳ උණුසුම් වෙමින් රෑ අහර රහබැලීමට ඇත්නම් කෙතරම් අපූරු ද? එහෙත් තෙත බරිත වූ දර දමා ගිනි මොළවා ගැනීම උගහට ය. ඒ වෙනුවට අපි උඳුනේ උණුසුමින් සැනසුනෙමු. රෑ අහර නිමවා කූඩාරම තුළට වැදුණේ සුවපහසු නින්දක පහස අපේක්ෂාවෙනි. හෝරාවක් පසුවන තුරුත් ඇහැ පියවුණේ නැත. “ඩෝං ඩෝං ඩෝං...” වෙඩි හඬ තුනක් එක පෙළට ඇසිනි.