රක්වාන තරණ -2 දෙගිඩියාවෙන් ගෙවුණු රැයක්

විසල් ගල්කුළුවලින් දොළ මග ඇහිරී තිබූ අයුරු
මායිම් සලකුණ
ගාල කඩාගෙන මතු වූයේ බලු කුක්කෙකි. ඌ දැක්මෙන් මා සිත ජනිත වූයේ පුදුමයකට වඩා සියුම් කෝපයකැයි සිතමි. කැලයට ඇතුළුවීමට පෙර සරත් මහතා සමඟ කතා කරමින් සිටිය දී ඇඟ දැවටෙමින් නගුට වනමින් සුරතල් වූයේ ඌ ය. ඒ හුරතලය දැන් කරදරයක් කැන්දාගෙන එන සැටියෙකි. ගම් වැදී බලු කුක්කන් ඩැහැ ගැනීමට දිවියා පුරුදු වී ඇත්නම්, වල්වැදි කුක්කෙකු ගැන කවර කතා ද? එය ඌට පමණක් නොව අපට ද අවදානමකි. පන්නා දැමීමට තැතනුව ද එය ගණනකට ගත්තේ ඌ නොවේ. නොමිනිස් සගයකු ද අප ගමනට එක් වූයේ එලෙස ය.

කඩිමුඩියකින් තොරව අපි ඉහළට ඇදුනෙමු. ඇතැම් තැනෙක හමුවන අමුතු භූ ලක්ෂණ මෙන්ම ගහකොළ ගැන ද අපි නිවීසැනසිල්ලේ විපරම් කළෙමු. දොළමගේ මැදට වන්නට පිහිටි පැතැලි ගල් තලයක මායිම් සලකුණකි. එය කලවාන හා රක්වාන පෙදෙස් වෙන් වන මායිමේ සලකුණක් විය යුතු ය. තැන තැන පිපි වනමල් නිරතුරු අප නෙත ගැටේ. ඒවායෙන් බොහෝමයක් කූඩලු විශේෂ ය. බොහෝවිට මේවා දැකිය හැක්කේ පාෂාණ මත රැඳුණු දියසීරාව ඇති පස් තට්ටු මත ය. මේ පෙදෙසේ ඉතා විසල් ශාක හමු නොවුණත් වනය ඉතා හොඳින් වැඩී ඇත. සදාහරිත වනයක සොමිගුණය ගෙන එන අපූරු ආශ්වාදය අපි සිත් සේ විඳ ගතිමු. තැනෙක, නැගිය නො හැකි තරමේ ගල්කුළුවලින් දොළමග ඇහිරී ඇත. එවන් විටෙක අපි වටෙන් ගියෙමු. එය දොළමගේ යන්නාක් මෙන් සුවපහසු නොවේ. පටු ගස් දෙබල අතරින් මෙන්ම පහතට නැමුණු අතුඉති අතරින් රිංගා යෑමට සිදු වේ. තවත් විටෙක ගස්මුල්වල එල්ලී, වැල්වල එල්ලී ඉහළ නැගීමට සිදු වේ. වේගය පවත්වා ගැනීමට උත්සුක වුවහොත් සිදුවිය හැකි වැරැදීම් ද වැඩි ය. යම් හෙයකින් දිරා ගිය කුඩා ගසක හෝ වලක පිහිටෙන් ඉහළ නැගීමට යත්න දැරුව හොත් ප්‍රතිඵලය දරුණු වේ. ඇතැම් විටෙක අඩි කිහිපයක් පහළට රූරා යයි. 
මෙවැනි තැන් ද තරණය කිරීමට සිදු විය.
ඒ පැත්තෙන් යා දෝයි, මේ පැත්තේන් යා දෝයි මා සිත කුකුසකි. වඩා විපරමින් බැලූ කල වම්පස වනයේ මිනිස් පහස ලද සලකුණු දිටිමි. ඒ දෙසින් ඉහළට ඇදුනෙමු. වැඩිදුර නොගොස්ම කපා හෙළූ ශාක කොටස් දැකිය හැකි විය. කපා හෙළා ඇත්තේ එතරම් ලොකු ගස් ද නොවේ. කිසිවෙකුත් මෙතරම් දුරක්, මෙතරම් උසක්, පැමිණ
උදලුමිටි හෝ වටපරාල කැපුවේ යැයි සිතිය නොහැකි ය. “ම්ම්ම්..” මේ වල්ලපට්ටා ගස් ය. වැනසීමක මහත! කුඩා ගසක් හෝ ඉතිරිකර නැති සෙයකි.
"ම්ම්ම්... දැන් කොහෙන්ද යන්නෙ..?"
මැරුණු ගොළුබෙල්ලෙකුගේ කටුවක්
වල්ලපට්ටා ගස් කපා දමා ඇති අයුරු
අතු ඉති කොළ නැති පැළෑටියක් Christisonia tricolor
මේ ඉසව්වෙන් ඔබ්බේ බෑවුම සීග්‍ර ය. ඊටත් වඩා දුෂ්කර වන්නේ දියසෙවල ගහන ලිස්සනසුලු ගල් මතින් නගිමින් බසිමින් යෑමට සිදුවීම ය. ඒ මදිවාට ඒ අතර වැවුණු පඳුරුවලින් ද බාධා ය. එවැනි පඳුරු බොහෝමයක් කටු සහිත ය. කාලගුණය ද එතරම් හොඳ නැත. කඳුවැටිය මීදුමෙන් වැසී ඇති සැටියෙකි. දැන් මද්දහන ද පසු වී ඇතත් අතුපතරින් හිරුනම් දැකිය නොහැකි ය. ඒ වෙනුවට ඇත්තේ ධවල පැහැ මිහිදුම් පටලයක් පමණි. වැසි වැටුණොත් ගමන තවත් දුෂ්කර වනු ඇත. එහෙයින් අපි ඉසිඹුවක් නො ලබාම ඉදිරියට ඇදුනෙමු. දැන් දොළපහර දක්නට නැත. ඇත්තේ ගල්කුළු යටින් තැන තැන මතුව ඇති දිය සීරාවක් පමණි. දෙපස ඇතුළුවිය නො හැකි තරම් ඝනට වැවුණු යටිරෝපණයකි. වැල්වල එල්ලී, මුල්වල එල්ලී ගල්කුළු අතරින් අසීරුවෙනි, ගමන් කළ හැකි වූයේ. තවත් ඇබිත්තක් ඉහළට නැගගත හොත් තැන්න දිස්වනු ඇතැයි සිතේ. දිරිය ගෙන ඉදිරයට ඇදුනත් ඒ ඉසව්ව තව තවත් ඈත ය. ඉහළට නගින්නට නගින්නට අවසනක් නැති සෙයකි. දැන් විය හැකි නරක ම දේ වර්ෂාව ඇද හැලීම ය. පුදුමයක් නැත. මේ මොහොතේ අප අත්දකින්නේ එයයි. වැසිදියෙන් තෙමීම අන්තරාවක් නොවේ. එහෙත් අපගේ ගමන්මලු වැස්සෙන් බේරා ගත යුතු ය. මෙහි යටිරෝපණය නිසාවෙන් වැහි කබා පැළැඳ අඩියක් හෝ ඉදිරයට යා නොහේ. ගලුකුළක් මත ගමන්මලු තබා වැහිකබා ඊට පොරවාලූ අප වැස්සේ තෙමුනෙමු. තවමත් සීතල නො දැනෙන්නේ එක දිගට ඉහළ නැගීමෙන් මුළු ගත ම උණුසුම් ව ඇති හෙයිනි. එහෙත් ඒ උණුසුම වැඩි වේලාවක් නො රැ‍ඳෙනු ඇත. මේ මොහොත සප්පායම් වීම සඳහා යොදා ගත යුතු ය.
එළිමහනට පැමිණ...
පළමු රෑ කඳවුර (වීඩියෝව සඳහා ක්ලික් කරන්න)
කූඩාරම තුළට ගුලි වී...
 වැස්ස මඳක් තුරල් කළෙන් නැවතත් ගමන් ඇරඹීමු. සියොළඟ ම තෙත බරිත වී ඇතුවා මතු නොව, යා යුතේ ද වැසිදියෙන් නැහැවුණු පඳුරු අතරින් රිංගා ය. මේ මගේ ඉදිරියට කොහෙත් ම යා නො හැකි ය. කටු කොහොළ එතරම් දැඩි ය. වහාම අප වම් දෙසට විතැන් වීමට සිතූයේ එදෙසින් මගක් සොයා ගැනීමේ අටියෙනි. “ආහ්...” තියුණු එරමිණියා කටුවැලක පැටලී මගේ වමතේ අඟිලි ඉරී ගොසිනි. ඉන් ලේ වෑහෙන්නට වුව ද මේ මොහොතේ ප්‍රතිකාර සඳහා ඉස්පාසුවක් ලද නොහේ. දැන් ඉදිරියට යා හැකි එකම ක්‍රමය වන්නේ බට පඳුරු අතරින් බඩගෑම ය. “මෙන්න මල් පාරක්...” කටුකොහොල් මැදින්  බඩගාමින් යන අපට මල් මාවතක් පෙනෙන්නේ සිහිනයෙන් යැයි ඔබට හැ‍ඟෙනු ඇත. නැතහොත් සිහිය විකල් වීමෙනැයි සිතෙනු ඇත. නැත. අත්පාවල මඩ තවරාගනිමින් කටුවලට සූරා ගනිමින් ඉදිරියට ඇදෙන මා වත ඉදිරියේ ඇත්තේ මල් පොකුරකි. සැබෑම වන මල් කලඹකි. එහෙත් එය ඇත්තේ බිම ය. එය පිපි අත්තක්, ඉත්තක් වැනි කිසිත් දැකිය නො හැකි ය. පො‍ළොවෙන් පැන නැගී පිපී දිලෙන මල් ගොමුවකි එය.දුෂ්කර ගමන් මග අවසන අප නැවතත් සේන්දු වූයේ දොළ මගකට ය. මිනිස් පහස ලද බවට මේ ඉසව්වේ ද සලකුණු ඇත. අපට ඒ මහත් අස්වැසිල්ලකි. මන්ද රෑ බෝ වීමට කලින් කූඩාරම් ලෑමට තැනක් සොයා ගත යුතු ය. දැනටමත් ප්‍රමාද වැඩි දැයි සිතේ. ඝන මීදුම නිසාදෝ අඩි කිහිපයකට වඩා හාත්පස දැකිය නොහේ. වන මග යොමු වූයේ මදක් විවෘතව ගස් වැවුණු යටිරෝපණය අඩු පෙදෙසකට ය. මෙය තරමක් පහත් බිමක් වන්නේ, පැති කිහිපයකින් එදෙසට දිය දහරා ගලා ඒ. මෙය තැන්නේ එක් පැත්තක් බව පැහැදිලි ය. එහෙත් මෙහි කූඩාරම් ලෑමට නොහැකි ය. ඒ සඳහා මදක් එළමහන් තැනක් සොයා යා යුතු ය. අපි එක් දෙසකට ගමන් කළෙමු. එහෙත් කුඩා කඳු ගැටයක් නැග නැවතත් එය දිවෙන්නේ පල්ලමකට ය. එදෙසින් මුදුනක් සොයා යෑම අණුවන ය. අප අන් මගක් සොයා ගියෙමු. වනය මැදින් වේගයෙන් ගියේ දැනටමත් අඳුර වැටී ඇති බැවිනි. ඉදිරි මිනිත්තු කිහිපය ඇතුළත එළිමහනක් සොයාගත නොවුනහොත් සිදු වන්නේ මහත් අකරතැබ්බයකි. අප දැන් යන දෙසින් දිය දහරක ලකුණු නැත. අහර පිසීමට දිය අවැසි ය. එහෙත් සියල්ලට කලියෙන් කූඩාරම ඇටවීමට තැනක් අවැසි ය. අපගිය මග ඉදිරියේ එළිමහනක ලකුණු දිස් වේ. මහත් අස්වැසිල්ලකි. කූඩාරමක් ඇටවීමට තරම් ඉඩ එහි ඇත. එහෙත් එහි දිය නැත. ඒ සඳහා මීටර සියයක් හමාරක් ආපසු යා යුතු ය. මම කූඩාරම අටවන අතර විදිලිපන්දම හා වෝකිටෝකි යන්ත්‍රයක් ද අතට ගත් රශ්මි දිය ගෙන ඒමට පිටත් වූවේ ය.ගල්තලය මත වැඩුණු දියසෙවල තට්ටුව විල්ලුද පළසක් වැනි ය. කූඩාරම ඉතා අපූරුවට සැපපහසුව අටවාගත හැකි විය. “අපූරු තැනක්!” මා මදක් ඉදිරියට ගියේ වටපිට විපරම් කිරීමට ය. කූඩාරමෙන් අඩි කිහිපයක් ඔබ්බේ අලි බෙටි ගොන්නකි. තවත් තැනෙක සුදුපැහැ වුණු වසුරු ගොඩකි. එය දිවියකුගේ විය යුතු ය. අප කූඩාරම් ලා ඇත්තේ අලි කොටි ගැවසෙන ඉසව්වක ය. එහෙත් දැන් කළ හැකි කිසිත් නැත. ගිනිමලක් දැල්වීම පිළියමක් සේ සිතා ඒ කාරිය ද රශ්මිට භාර කළෙමි. මම අහර පිසුවෙමි. එහෙත් කෑම පිස හමාර වූවා පමණි, මහා වැස්සක පෙර නිමිති පහළ විය. අප කූඩාරම තුළට ගුලි වීමු. බලු කුක්කා එළියේ ය. මසිත අනුකම්පාවෙන් හා දුකින් ද පිරී ඇත. එහෙත් කළ හැකි දෙයක් නැත. අලියා ගහයි ද, කොටියා පනී දැයි මසිත විමසූයේ නැත. “සට සට...” අනුකරණයෙන් බරැති වැහි බිඳු කූඩාරම් රෙද්දේ වැදෙන හඬත් මූසල පාලු දෝංකාරයක් නන්වමින් හමා යන සුළ‍ඟේ හඬත් පමණි දෙසවන වැකුණේ.
 මම එක්වරම ඇහැරුණෙමි. මැදියම් රැය පසු වී හෝරා දෙක තුනකට වඩා ගෙවී නැත. ඉවසුම් නො දෙන තරම් නිහැඬියාවකි. සෙමින් සෙමින් කූඩාරමෙන් එළියට බට මට දක්නට ලැබුණේ ඒ ඉදිරියේ වූ තණ බිස්ස තැලී පොඩි වී ගිය අයුරකි. බලු කුක්කා අතුරුදන් වී ඇත... මා ගත සීතල වනු දැනිණි...