වන මගකින් සමනොළ මුදුනට




“කැලේ පාරකින් සිරිපා කරුණා කරමු ද?” මා මිතුරකු විමසූයේ මෙවර සිරිපා සමය ඇරැඹී වැඩි දිනක් යෑමට මත්තෙනි. පාගමනක් සඳහා එය කදිම යෝජනාවකි. මම ද එකහෙළා එකඟ වීමි. දිනෙන් දින කල් ගිය ගමන සැබෑවට ම ඇරඹීමට හැකි වූයේ සිරිපා සමය නිම වීමට සති දෙකතුනකට කලිනි.
“යන්නෙ කෝච්චියෙ ද බස් එකේ ද?” මිතුරාගෙන් තවත් පැනයකි. ඊට පෙර ගමන සැලසුම් කළ යුතු ය. යන්නේ කොයි දෙසකින් කොයි මගකින් දැයි තීරණය කළ යුතු ය. සිරිපා මුදුනට ළං විය හැකි ප්‍රධාන මං තුනකි. නල්ලතන්නිය හරහා හැටන් මග, පලාබද්දල හරහා රත්නපුර මග, එරත්න හරහා කුරුවිට මග සිරිපා සමයේ වැඳුම්කරුවන් ඈ බොහෝ සංචාරකයන් ගමන් ගන්නා ප්‍රධාන මං පෙත් ය. අපේ අරමුණ වන්නේ කැලෑ පාරකින් යෑමය. දහස් ගණන් බැතිමතුන්, දෙස් විදෙස් සැරිසරුවන් ගමන් ගන්නා මෙකී මගක් ගැනීම අපේ අරමුණ නොවේ. ඒ සඳහා අප්‍රකට මගක් තෝරා ගත යුතු ය. සිරිපා මුදුනට ලඟා වීමට එවැනි මං රැසක් ද තිබේ. අප තෝරා ගත්තේ වැඩිපුරම භාවිත වන නල්ලතන්නිය හරහා පිවිසිය හැකි කැලෑ මගකි.
 දැන් අපේ ප්‍රවාහන මාධ්‍ය තෝරා ගත යුතු ය. නල්ලතන්නියට යෑමට කෝච්චියේ ගමන් කිරීම ද අනගි ය. එහෙත් ඒ සඳහා සැලකිය යුතු වේලාවක් ගත වේ. බසයේ ගමන ඊට ඉක්මන් ය. අන්තිමේ දී මේ ක්‍රම දෙකම අතහැර මොටෝරියකින් නල්ලතන්නියට යෑමට සිත්වූයේ කාලය ඉතිරි කර ගැනීමටත් වඩා, අපේ පා ගමනේ ඇරඹුමත් අවසනත් නල්ලතන්නිය වන බැවිනි.
රෑ කෑම මිල දී ගනිමින්...
 රෑ බෝ වන විට අපි නල්ලතන්නියට සේන්දු වූයෙමු. දැන් නැවතීමට තැනක් සොයා යා යුතු ය. කඩමණ්ඩියට යන මාර්ගයේත් ඒ අවටත් නවාතැන්පොළ බොහෝ ය. එහෙත් ඒ කිසිම තැනෙක වාහනය ගාල් කිරීමට ඉඩක් නැත. “මෙතැන පිටකොටුවට වැඩිය තදබදේනෙ” නැවත සෙනග අඩු ඉසව්වක් කරා වාහානය හරවාගෙන ඒමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. කඩමංඩියට යාබදව වාහන ගාල් කිහිපයක්ම ඇතැත් ඒ හැමෙකක්ම පිරී ගොසිනි. මහමග ද අතුරු සිදුරු නැනිව සෙනග ය. කිලෝමීටර් කිහිපයක් මෙපිටට එන තුරු ම පාර දෙපස බස් වෑන් ආදී වන්දනාකරුවන් පැමිණි රථ ය. ‍කිලෝමීටර් 4ක් 5ක් පමණ ආපසු එන විට වාහනය නතර කර තැබීමට සුදුසු තැනක් හමු වූයෙන් එහි නතර වීමු. දැන් මැදියම් රැයටත් ආසන්න ය. හොඳටම බඩගිනි ය. අප නතර වූ තැන වසා දැමූ තාවකාලික කඩයකි. දහවල් කාලයේ එය විවෘතව තැබෙනවා විය යුතු ය. ඒ ඉදිරිපස නිරන්තරයෙන් ජලය ගලා එන පයිප්පයකි. මෙතැනට වී කඩමන්ඩියෙන් ගෙනා පාන් ගෙඩි දෙක සප්පායම් විය හැකි ය. ගෙදරින් සාදා දුන් පොළොස් මාලුවක් ද වේ. කඩ එළිපත්තේ උණබට දමා සකස් කළ පිල්කඩකි. එහි වාඩිලාගෙන බඩ පිරෙන තුරු පාන් කා පයිප්පයෙන් වතුර බීවෙමු. මේ සියල්ල සිදු වූයේ විදුලිපන්දම් එළියෙනි. ඒ හැරෙන්නට කිසිදු එළියක් මෙහි නැත. දැන් නවාතැන් ගන්නේ කොතැනක ද? නවාතැන් කීවාට අවැසි වන්නේ නිදා ගැනීමට තැනෙකි. එවැන්නක් සොයනවාට වඩා මොටෝරිය තුළ රැය පහන් කිරීම මැනවැයි කල්පනා වූව ද ගැටලුවකට පැවතියේ වැසිකිළි පහසුකම් ය. විදුලිපන්දම් එළියෙන් ඒ අවට විපරම් කළ විට, සිය පාරිභොගියන් වෙනුවෙන් කඩහිමියන් සකස් කළ වැසිකිළියක් ද ඇස ගැසිනි. තවත් මොන පහසුකම් ද?
හිමිදිරියේ නල්ලතන්නිය කඩ මංඩිය
 රියදුරු අසුන මත ම දිගෑදුණු මා අවදි වූයේ වටින් ගොඩින් එළිය වූ නිසාවෙනි. අනෙක් දෙදෙනා තවමත් නින්දේ ය. ඒ තනුර හා රශ්මි ය. තිදෙනෙක් පමණක් නිසා වාහනය තුළ අපූරුවට නිදාගතිමු. මම දොර ඇර එළියට බැසීමි. සීතල දැනෙන්නේ දැන් ය. වාත සංසරණය සඳහා පමණක් වාහනයේ වීදුරු විවර කර තිබූයේ යන්තමිනි. එනිසා එතුළට සීත දැනුණේ නැත. මෙතැනට සමනොළ කඳු මුදුන පෙනේ දැයි මා විපරම් කළෙමි. එහෙත් ඈත කඳු මුදුන් මීදුමෙන් වැසී තිබිණි. අහසේ මදක් ඉහළින් වක්සඳ බැබලේ. එහි එළිය පාරට පසෙකින් වූ ජලාශය මත අපූරු රටාවක් මවයි. හිරු පායා එන විට සියල්ලෝම ලකලෑස්ති වී තිබිණි. පා ගමනට අවැසි බඩු බාහිරාදිය පමණක් ගමන් මලු තුළ බහා අන් සියල්ල වාහනයේ අඩුක් කළෙමු. පෙර දිනයේ කතිකා කර ගත් පරිදි රිය ගාලට යා යුතු වූයේ උදෑසන හතට ය. ඒ උපදෙස ලංකා ගෙනි. නල්ලතන්නියේ ඇති එක් රථගාලක් පාලනය කරන්නේ ඔහු ය. උදෑසන ඒ වේලාවට වාහන තදබදය මදක් අඩුවන බවත්, ආරක්ෂා සහිතව වාහනය ගාල් කිරීමට සලස්වා දිය හැකි බවත් පෙර දා ඔහු හමු වූ වේලේ අපට පැවසී ය. වාහනය ගාල් කළ අපි රථගාල ඉදිරිපස ඇති කඩයකින් සප්පායම් වූයෙමු. කොළඹ ජනාකීර්ණ විදියක ඇති කුඩා තේ කඩයකත් මෙහිත් වෙනසක් දක්නට නැත. වෙනසක් නැත්තේ අහාරපාන වර්ග, රස සහ තත්ත්වයෙහි විනා මිලෙහි නොවේ. පා ගමනේ සැලසුමට අනුව අප අතර මග අහර පිසින්නේ නැත. එනිසා තවත් දිනකට දෙකකට බත් බුදීමට නොලැබේ. එබැවින් උදෑසන අහරට බත් ඇනවුම් කළෙමු. බඩ පිරෙන තුරු කෑමට සිතුවත් මට එය කළ නොහැකි වූයේ, ඒ කෑම රුචියට වඩා අරුචිය වඩවන්නට වූ බැවිනි‍. තනුරටත් රශ්මිටත් එය ගානක් නැති සේ ය.
“ආයෙත් එනව නම් මට කෝල් කරන්න” - රාජරත්නම්
 ගමන්මලු පිට ලා ගත් අපි පිටත් වීමු. ලොකු පිටමල්ලක් පැටවුණේ මගේ පිට ය. අන් දෙදෙනාටම එතරම් බර පොදියක් නොවිණි. බර වැඩි නිසාවෙන් මා ඉවත් කර යෑමට තැනූ දෙනෙතිය රශ්මි ඉල්ලාගෙන සිය මල්ලට ඔබා ගත්තේ ය. නල්ලතන්නිය පාර දිගේ ආපස්සට ආ අපි තේ වත්තක් මැදින් වැටී තිබූ පාරකට සේන්දු වූයෙමු. ජීප් රථයක් එහි පහසුවෙන් ධාවනය කළ හැකි ය. ක්‍රම ක්‍රමයෙන් මාර්ගයේ නැග්ම වැඩි වේ. ඊට සාපේක්ෂව අපගේ වේගය ද මදක් අඩාල විය. වම් පසින් දිස් වන්නේ මාඋස්සාකැලේ ජල රැස්යුරුවයි. සිරිපා මග අයිනේ ම ඇති මෝහිනී ඇල්ල ද ඈතින් දිස් වේ. කන්ද තව තවත් දැඩි වේ. තවමත් ඇරඹුම පමණක් වුවද දැන් ඉහින් කනින් දහදිය බේරේ. වාහනයක හඬ ඇසුනේ ඔය අතරේ ය. තෙසක රියක් අප පසුකර ගොස් නැවැත් විය. “මහත්තයල කොහාටද යන්නෙ. මම ගමට යන්නෙ” රියැදුරු පැවසී ය. “වත්තේ කෙළවරට ගිහිං දාන්න කීයක් ගන්නව ද?” අපේ එකකු විමසී ය. “පාලම ගාවට දාන්නම් හාරසීයක් දෙන්න” එය ඉතා සාධාරණ මුදලකි. ඒ දුර අපට දහසකටත් වඩා වටී. අප වහ වහා තෙසක රියට ගොඩ වීමු. දළ කඳු බෑවුම් සහිත වල ගොඩලි සහිත පාරේ තෙසක රිය ඉදිරියට ඇදෙන්නේ සෑහෙන වේගයකිනි. ගැස්සි ගැස්සී පැද්දි පැද්දී යන ඒ ගමන අපට නුහුරු වූවාට, වලදල ගමේ පදිංචි රාජරත්නම්ට නම් එය කජු කනවා සේ ය. “ආයෙත් එනව නම් මට කෝල් කරන්න” කියූ තැනට අප ඇරලවූ හෙතෙම සිය දුරකථන අංකය ද පැවසුවේ ය.

එතැන් සිට වත්තේ මායිමට තවත් බොහෝ දුරක් යා යුතු ය. එහෙත් දැන් මග වැටී ඇත්තේ සමෝච්ච ලෙස බැවින් ගමන් කිරීමට එතරම් වෙහෙසක් නැත. වම්පස පහළින් දිස් වන්නේ වන මායිමෙන් ඇදී යන දිය දහරකි. වැඩි හදිසියකින් තොරව අප නිදහසේ ගමන් කළෙමු. අවට දසුන ඉතා මනරම් ය. නිම්නය දිගේ ඇදී යන දිය දහරෙන් එගොඩ ඇත්තේ රූස්ස වනයයි. මෙගොඩ කඳු තේ වගාවෙන් වැසී ඇත. එක යායට පළසක් සේ පෙනෙන තේ වගාව ද නෙත්කළු නොවේ ද? එහෙත්, සියවස් දෙකකට පෙරාතුව මේ බිම වැසී පැවතියේ නිරතුරු මීදුමෙන් වැසීගත් මහා රූස්ස වනයෙනි. එය කපා හෙලා බිම් හෙළි පෙහෙළි කර තේ වගාව ඇරඹුයේ 1815 සිට 1947 දක්වා මෙරට පාලනය කළ ඉංගිරිසින් ය.
වනයට යාබද තේ වත්ත
වම්පස පහළ මනරම් දියදහරකි
 තේ වත්තේ මායිමට සේන්දු වන්නට තවත් ඇත්තේ ස්වල්ප දුරකි. තවමත් වම්පසින් දිය දහර ඇදී යයි. මෙතැන් සිට ඇත්තේ කඳුකරය බැවින් මෙවන් පුළුල් දිය දහරක් නැවත හමු නොවනු ඇත. එබැවින් මෙහි පහස නොවිඳ ඉදිරියට ඇදෙමු ද? ලොකු කුඩා ගල්කුළු මතින් වේගයෙන් ඇදී එන ජල දහර එක් තැනෙක නවතින සෙයකි. වෙහෙසකර ගමනක යෙදෙන ගං කොමලියට එම සමබිම ගිමන් නිවන්නක් වූවා සේය. පුළුල් ජල තලය නිසොල්මනේ ය. ගලා යන සෙයක් දැනෙන්නේ නැති තරමි. ගමන්මලු උනා තැබූ අපි ජල තලයේ කිමිදුනෙමු. කිනම් සිසිලසක් ද? විඩාව මුළුමනින් ම සේ දී ගියේ ය. මීට මාස කිහිපයකට පෙර පැමිණියේ නම්, තත්ත්වය මීට වෙනස් වනු ඇත. දැන් මෙහි උණුසුම් කාලයයි. ශීත කාලයේ දී මේ දිය දහරට පැන්නේ නම්, පැන්නාට වැඩි වේගයකින් ගොඩ ඒමට සිදු වනු ඇත.
වතු යායේ ශේෂ වූ තුරුලතා...
 එම වතුකරයේ අවසන් මිනිස් වාසය වෙත ද අපි දැන් පැමිණ සිටිමු. එහි දී අපට උණුසුම් තේ කෝප්පයකින් සංග්‍රහ කළේ මින් පෙර ගමනක දී අප දැන හඳුනාගත් ජෝන් ය. ඉතා කුළුපග තරුණයෙකු වූ ඔහු අප සමඟ වනයේ අද්දරට ම පැමිණියේ ය. ඉර මුදුන් වීමට මත්තෙන් අපි වනයට ඇතුළු වීමු. එම පෙදෙස බටපඳුරු ගහන දැඩි යටිරෝපනයකින් යුක්ත ය. සුද්දෝ මෙහි තිබූ රෑස්ස ගස් ද කපා හෙළන්නට ඇත. යටිරෝපනයක් සහිත මේ වනය වැඩෙන්නට ඇත්තේ ඉන් පසුව ය. දැන් නම් වනය සහ තේ වත්තේ සීමා දැක්වෙන පැහැදිලි මායිමක් ඇත. වතුයායට අයත් ඇතැම් කඳු මුදුනක යුකැලිප්ටස් වවා ඇති අයුරු ද දිස් වේ. එහි යටිරෝපනය සමීපූර්ණයෙන්ම ගිනිගෙන දැවී ගොසිනි. වනයට ඇතුළු වූ වහාම මෙතෙක් වේලා කඳු නිම්න සිසාරා විහිදී ගිය අපගේ දර්ශන පථය අතුරු දන් විණි. සතර අතින් දිස් වූයේ රූස්ස වනය ම පමණි. ඉහළ තුරුවියනතුරින් එන හිරු රැස් නොවන්නට එහි පැවතියේ අඳුරකි.
තේ වත්තේ දසුනක්
තේ වත්තේ අද්දරට සමනොළ මුදුන දිස් වන අයුරු..
 හමු වූ පළමු දොළපහර ළඟ මදක් පමා වූයේ පිපාසාව සංසිඳවා ගැනීමටත් වඩා අපගේ ජල බඳුන් පුරවා ගැනීමට ය. ඉදිරි මග ඇත්තේ කඳු නාරටියක් දිගේ බැවින් නැවත කොතැනක දිය හමු වේ දැයි කිව නොහැකි ය. එබැවින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු ය.   දැන් නගින්නට ඇත්තේ දළ කන්දකි. කූඩැල්ලෝ එකා දෙන්නා දෙපා මනින්නට සැරසේ. ඉරියෙන්ම ගමන් කරන්නා යම් තරමකින් කූඩලු ප්‍රහාරයෙන් ගැල වේ. මන්ද එල්ලීමට මාන බලා සිටින කූඩැල්ලෝ ඉදිරියෙන් ගමන් කරන්නාගේ සංඥාවෙන් පසුපසින් ගමන් කරන්නන් ඉලක්ක කර ගන්නා බැවිනි. වනයට ඇතුළු වීමට පෙර ම මා පය ලූ සපත්තු ගලවා සෙරෙප්පු ලූයේ කූඩැල්ලන් ගලවා දැමීම පහසු වූ නිසාවෙනි. අඩි පාර පැහැදිලිව ඇත. සිරිපා වාරය නිසාවෙන් කිසිවෙකුත් මේ මග හෙළි පෙහෙළි කර ඇත්තා සේ ය. ඉදිරියෙන්ම ගමන් ගත්තේ රශ්මි ය. මා පසුපසින් ම ගමන් ගතිමි. වරින් වර මා නවතින්නේ අවට පරිසරය විපරම් කිරීමට ය. එවිට ඉදිරියෙන් ගමන් ගත් මා සගයින් දෙදෙනා ද ඉසිඹුවක් ලබයි.
දිය දහරකින් පවස නිවා ගනිමින්...
වන මග පසෙක ඇති පිදුම් ස්ථානයක්...
 ඉඳහිට මේ මාර්ගයේ ද සිරිපා කරුණා කරන සැදැහැවතුන් ඇති බව අපට පසක් වූයේ මාර්ගයේ තැන තැන වැටී ඇති පොලිතින් කැබලි, කැවිලි දවටන ආදිය නිසාවෙනි. තැන තැන නැවතෙමින් ඒවා ඇහිඳින්නට වූයේ තනුර ය. ඔහු තව තර්කයක් ද ගෙන ආවේ ය. “මේ ඔක්කොම මේ පාරෙ ගිය අයගෙ කුණු නොවෙයි. මෙතැනට ගහගෙන ආපුවත් තියෙනවා” බාග දා ඒ කතාවේ ද ඇත්තක් තිබේ. නල්ලතන්නිය හරහා හැටන් මාර්ගය වැටී ඇත්තේ අප ගමන් ගන්නා මගට දකුණු දෙසිනි. ඒ මගේ ඉහළින් බැහැරලන අපද්‍රව්‍ය මේ දෙසට ගසාගෙන ඒමට ද ඉඩක් නැත්තේ නොවේ. එය අපට පසක් වූයේ තවත් ඉහළට යන විට ය. දිය කඩිත්තක්, දොළක් හෝ මළ දොළක් හමුවන තැනෙක ඉහළින් පැමිණි පොලිතින් කැබලි පඳුරු මත රැඳී තිබෙනු දැකිය හැකි විය. මෙසේ අප ඇස ගැටෙන්නේ අප යන මගේ එක් පැතිකඩක් පමණි. මේ ආකාරයෙන් තවත් කොපමණ අපද්‍රව්‍ය ප්‍රමාණයක් සිරිපා ශිඛරය අවට වනයේ විසිරී යනවා ඇත්ද? ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පරිසර ලෝලීන් පවා එක්රැස් කරන්නේ මාර්ගය අසල වැටී ඇති අපද්‍රව්‍ය පමණි.
වන මැදින් දිස් වූ සිරිපා මුදුන...
 දළ කන්දක් තරණය කිරීමෙන් පසු නැවතත් පිවිසියේ කුඩා නිම්න බිමකට ය. එහි එක් තැනෙකට මළුව හොඳහැටි දිස් වේ. දෙනෙතිය සිය මල්ලෙන් එළියට ගත් රශ්මි සමනොළ සිරස පිරික්සන්නට විය. “මාර සෙනගක්නෙ” මම ද දෙනෙතිය රැගෙන පිරික්සුවෙමි. සුදුවතින් සැරැසි ජනගංගාවකි. මහගිරිදඹේ නගින සැදැහැවතුන් දිස්වන්නේ මළුවේ සිට ඇද හැලෙන දිය දහරක් මෙනි. කඳු පල්ලම් අතරින් තවත් දිය සීරා කිහිපයක් පහුකර ආවෙමු. දැන් ගමන් ගන්නේ මද තැන්නක් වැනි තැනක ය. එහෙත් ඝනට වැඩුණු යටිරෝපනය හේතුවෙන් වනය දෙපස දසුනක් දැකිය නොහැකි ය. දැන් හොඳටම මහන්සි ය. ඉසිඹුවක් ලද යුතු ය. එහෙත් මේ ඊට නො තැනකි. හතිහලමින් අපි ඉදිරියට ඇදුනෙමු. අඳුර පැතිතුරුණු වන මග ඉදිරියේ ආලෝකයක් දිස් වේ. අපගේ පය ඉක්මන් වූයේ ඉබේටම ය.  අහා! මේ නම් කුමන දසුනක් ද?


දෙනෙතියෙන් දුටු දසුන
රශ්මි හා තනුර
වන මැද පිටියක්! අක්කර ගණනාවක් පුරා පැතිරුණු ගහකොළින් තොර බිමකි. වන මැදින් අප මතු වූයේ මේ එළිමහන් බිමට ය. වනය තුළ ගමන් කළ අපට එළියක් සේ දිස් වූයේ මේ එළිමහන ය. විස්මිත එළියේ විස්මය පහව ගිය ද, මේ නම් තවත් විස්මයකි. බැලූ බැලූ හැම අත ම රූස්ස වනයයි. ඒ මැද ගල් තලාවෙකි. මෙවන් පිටියක් නිර්මාණය වී ඇත්තේ ද මේ ගල් තලාව නිසා ම ය. එහි වැවී තිබුණේ නො උස් පඳුරු පමණි. ගල්තලාව විවෘත නොවූ සෑම තැනෙකම තෘණ පඳුරු ය. මම පිට මත වූ පොදිය උනා දමා ගල්තලාවේ සැතපුනෙමි. හාත්පස වනයෙන් විරාජමානව මතුව පෙනෙන්නේ සමනොළ සිරස ය. එහි ඝන්ඨා නාදය වරින් වර කන වැකෙන්නේ මුහුදේ රළ නැගෙන්නාක් මෙන් ය. වරෙක උස්ව නැගී එන ඝන්ඨා හඬ සෙමින් වියැකී යයි. නැවතත් මතුව එයි. බැතිමතුන්ගේ සාධු නද ඉඳහිට මිමිණුමක් සේ ඇසේ. එය කොහේදෝ ඈතක සිට සැරින් සැරේ හීන් හඬින් ඇසෙන ගීත රාවයක් වැනි ය.
ඉදිරියෙන් ආලෝකයක්
 “අවාරයේත් සිරිපා අඩවියේ පිරිත් ඇහෙනවා” ගම්මු කියනවා මම අසා ඇත්තෙමි. මගේ මතකය වසර ගණනාවකට පෙර අතීතය දක්වා දිව යයි. ඒ, අවාරයේ බෑන සමනොළ ගිරිහිස තරණය කළ ගමනකි. මුදුනට ළඟා වූ අපට රැය පහන් කිරීමට සිදු වූයේ අසල වූ ගල් ලෙනක ය. සුළං මුහුනතක පිහිටි එහි සීතලේ ගැහෙමින් සිටි අපට කිසිවෙකු මුමුණු ඇසේ. ඈතින් අසෙන ඒ රාවය සජ්ඣායනයක් යැයි සිතේ. මේ අවාරයේ සිරිපා කරුණා කරන්නෝ ද නො වෙති. ඉදින් මේ කවුරුන් ද? පිරිසේ අය විවිධ තර්ක මතු කරන්නට විය. ඒ අතරින් උණුසුම් සංවාදයක් ඇවිලී ගියේ වෛද්‍ය සංජීව රන්වැල්ල හා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස අතර ය. ඔවුන් දෙදෙනා ම දැන් අප අතර නැත. ලක් මවට අමිල මෙහෙයක් කරමින් සිටි ඔවුන් අකලට වියෝ වූයේ අපගේ අවාසනාවට ය. පැය ගණනක තර්කයකින් පවා එකඟත්වයක් නැති සෙයකි. කෙසේ වතුදු වැඩි දෙනාගේ පිළිගැනීම වූයේ ස්වාභාවික හේතූන් නිසා මෙවැන්නක් ජනනය විය හැකි බවකි. මිනිස් හඬක් සේ එය ඇසෙන්නේ මානසික සාධකයක් ද එක්වීමෙන් විය හැකි ය.
"මේකෙන් මළුවෙ සෙනග පේනවා.."
“මෙතැන කෑම්ප්කරන්න නම් මරු තැන” තනුර කීවේ ය. මම ද එය අනුමත කළෙමි. එහෙත් මෙවර නොව නැවත එන ගමනක දී ය. වනය තුළ අපට කළුවර දැනුණ ද මෙහි නම් හොඳින් එළිය ඇත. තනුරත් රශ්මිත් සිය දුරකථනවල සංඥා ඇත්දැයි බලන්නේ, එය ගලවා සිම්පත් එකිනෙක මාරු කරමිනි. “බඩට යමක් දා ගත්තොත් නරක ද” මම කීවෙමි. තනුරගේ දෙතොලේ හීන් හිනාවක් මතුවෙනු දිටිමි. අප සතු වූ ක්‍රීම් ක්‍රැකර් පෙට්ටියකට තනිවම වගකියන්නට ඔහුට හැකි විය.
සඳගල තැන්න
පිටිය පසෙක ඇති තුරු මුදුනෙක හුදෙකලාව බොදු ධජයක් ලෙල දේ. තවත් ධජයක් රඳවා ඇත්තේ පිටිය මැද නැගී සිටි සිහින් වෘක්ෂයක ය. නිරතුරු හමා යන මදනලෙන් ඒවා ලෙල දෙන්නේ තුමුල සමනොළ ගිරිහිසට ආසිරි වඩන්නාක් මෙනි. ගිමන් නිවීමට ඔනෑවට වැඩියෙනුත් වේලාවක් දැන් ගත වී ඇත. එහෙත් එකෙකුවත් මෙතැනින් නික්මීමට කැමැත්තක් නැත්තා සේ ය. ඒ මෙහි ඇති අපූර්වත්වය නිසාවෙනි. සමනොළ හිමයේ ශිකර, නිම්න අතර පිහිටි කුඩා සානුවකි මෙය.  සැමවිටම අපූර්වත්වයක් නිමැවෙන්නේ වෙනසක් තුළිනි. තවත් අඩ හෝරා අඩක් වත් පමා වීමෙන් පසු අපි නැගී සිටියෙමු.
නැවතත් ක්‍රමයෙන් නැග්ම වැඩි වේ. දැන් දැන් තුරු ලතාවල පැහැදිලි වෙනසක් ද දක්නට ලැබේ. පහළ වනයේ හමු වූ රූස්ස ගස් දැන් දක්නට නැත. ඉහළට යත් ම ඒවායේ ප්‍රමාණය කුඩා වන සෙයකි. පහළ සිට ඉහළට යද්දී එක් එක් මට්ටම්වල දී තුරු වැස්ම වෙනස්වන අයුරු මෙහි කදිමට දැක ගත හැකි ය. මෙවැනි තැන් ලංකාවේ ඇත්තේ අතලොස්සකි. පහළ නිවර්තන ආර්ද්‍ර වනාන්තරවල සිට මීටර් 2500ක් පමණ ඉහළ වලාකුළු වනාන්තර දක්වා පරාසයක මෙය විහිදී යයි. මෙය වෙනම ම තුරුලතා කලාපයක් ලෙස 1985 දී මහාචාර්ය ගුණතිලක යුවල විසින් හඳුනා ගැනිණි. මීටර් 1700‍ට ඉහළින් කඳු ගැටි දිගේ දක්නට ලැබෙන මොන්ටානෙ වලාකුළු වනයේ සංයුතිය සහ ස්වරූපය දකුණු ආසියාවේ එවැනි උසකින් පිහිටි අනෙකුත් වනාන්තරවලින් පැහැදිලිව ම වෙනස් වේ.
මීදුම අතරින් මළුව පෙනේ...
 පසුකර පැමිණි මගට වඩා දැන් ගමන දුෂ්කර ය. වඩාත්ම ගැටලුව වන්නේ අඩි පාර දැඩි ලෙස ඛාදනයට ලක්ව තිබීම ය. වැසි සමයේ නිරතුරුව පහළට ගලා යන ජල පහර මෙවැනි පොළොව නිරාවරණය වූ තැන්වලින් ගලා යන්නේ එහි ඇති පස ද ඉවත් කරමිනි. ඇතැම් තැනෙක පස් ඉවත් වී ගස්මුල් පෑදී ඇත. එවැනි මුල් පෑදුණු විශාල වනස්පතියෙකු වටපිටේ තුරු ලතා ද පොඩි කර දමමින් පතබෑ වී තිබෙන අයුරු අපට වන මගේ පහළ දී දැකගත හැකි විය. පස තෙතබරිත නිසාවෙන් පා තැබිය යුත්තේ සීරුවෙනි. සුළු පමාවකින් පය ලිස්සා ඇද වැටීමට පුළුවන. පරිසරය එක් වරම අඳුරු විය. උෂ්ණත්වයේ ද වෙනසක් දැනිණි. දාහයෙන් තෙමී සිට අපට එය දැනුණේ ශීතලක් ලෙස නොව සිසිලසක් ලෙසිනි. තවත් මොහොතකින් වැසි වැටෙන්නට විය. කැමරා ආම්පන්න ආදී නොතෙමිය යුතු අඩුම කුඩු ම ද මල්ලේ ඇත. තෙමි තෙමී යන්නට සිත් වුවද, මල්ලෙන් එළියට ගත් වැහි කබාය ඒ නිසාවෙන් පොරවා ගතිමි. එය දුවන වැස්සකි. වැඩි වේලාවක් පැවතුණේ නැත. එකම සන්තෑසිය වූයේ තෙතබරිත වූ වැහි කබා ය තවත් බරක් වීම ය. එය හකුලා පසෙකින් එල්ලාගත් මම නැවතත් ගමනේ යෙදීමි. සීත මීදුම ඇඟ දැවටේ. “අපි යන්නේ වලාකුළු අස්සෙන්” කුඩා ගල්කුලක් මත සිට දෑත් දෙපසට විහිදුවමින් රශ්මි කෑමොර දෙයි. දෑස් පියාගත් හෙතෙම හාත්පස නිම්නය සිසාරා හමා එන ශීත දිය බිඳිති සර සර ස්වරයෙන් වත මත වැදෙනු මහත් ආශ්වාදයෙන් ඉවසයි. ටයිටනික් සිනමා වෘත්තාන්තයේ නැව් තට්ටුවේ කෙළවර වූ වැටට නැගගන්නා ජැක් සහ රෝස් ඇඟ දැවටෙන සීත සුළං රැළි ආශ්වාදනය කරන දසුන මට මට මැවී පෙනේ. “ඕකට රෝස් කෙනෙක් නම් නෑ” තනුර මිමිණූ

යේ ඔලොක්කුවට මෙනි. ‘මේ මට වගේ...’ යැයි කියා හෙතෙම නො කීවේ ය. දුරකථනයේ සංඥා නැති වන විට වඩාත් දුක් වන්නේ තනුර ය. සංඥා ලද ඉස්පාසුවක දී රශ්මි නම් කරන්නේ නිවසට ඇමතුමක් දීම පමණි. මොවුන් දෙදෙනාම අපූරු තරුණයෝ වෙති. ඉංජිනේරු සිසුන් වන දෙදෙනා ම විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්ෂයෝ වෙති. එකෙකු ජනාධිපති බාලදක්ෂයෙකි. අනෙකා තරු ලෝලියෙකි.
වන මලක්..
 මීදුම නිසාවෙන් ඇතැම් විට අඩි කිහිපයකට වඩා ඉදිරිය නොපෙනේ. එකෙනෙහි නැවතත් හාත්පස දසුන පැහැදිලි ය. මළුවට දැන් ඉතා සමීප යැයි සිතේ. සාධු නාදය ළඟ ළඟ ම ඇසේ. ඝන්ඨා නාදය නම් දැන් සෑහෙන වේලාවක සිට අපගේ දෙසවන දෝංකාර දෙයි. හිටිවනම දසුන පැහැදිලි වූයෙන් අපට එක එල්ලේ ඉහළ, මලුව දිස් වූයේ ය. මෑතක සේ දිස් වුව ද එය ඈතක බව අපි ප්‍රායෝගිකව දනිමු. ක්ෂණයකින් පෙනී නොපෙනී යන ඒ දසුනට පෙර බිමෙහි දඟර වැටුණු කුරු ශාකයකින් අපූරු චමත්කාරයක් එක් කෙරේ. ඡායාරූපයක් නො ගෙන කොහොම ද? මේ පෙදෙසේ ඇත්තේ කුරු ශාක පමණි. ඇතැම් ගස් ලොවි ගෙඩි මෙන් රතු පැහැ ඵලයෙන් පීරී ගොසිනි. මා සමීපයේ ම තුරු හිසක් මත වූ මලක් මා ඡායාරූපයට හසුකර ගත්තෙමි. කහ පැහැ ඒ කුඩා මලේ නම නොදන්නෙමි. ශ්‍රී ලංකාවේ වන මලක් පිළිබඳ පැරැණි ම වාර්තාව හමුවන්නේ ද මේ සමනොළ අඩවියෙනි. ඒ ක්‍රි.ව. 1314 දී මෙරට සංචාරය කළ ඉබන් බතූතා විසිනි.  ඔහු වාර්තා කර තිබුණේ “මහ රත්මල්” පිළිබඳව ය.  එදා මෙදා තුර සමනොළ අඩවියේ තුරු ලතාදිය පිළිබඳව බොහෝ පර්යේෂණ කෙරී ඇතැත් එහි සතා සීපාවා ගැන නම් එතරම් පුළුල් අධ්‍යයනයක් සිදු කෙරී නැත. මෑත කාලයේ දී යන්තමින් හෝ එම අඩුව සපුරාලන්නට සත්ත්ව විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහයන්ගේ පර්යේෂණ ඉවහල් වී තිබේ. සමනොල අඩවියෙන් නව සත්ත්ව විශේෂ රැසක් හඳුනාගන්නට ඔහු ඇතුළු පර්යේෂකයන්ට හැකි විය. “සත්තු හම්බුනොත් පිංතූර අරගනිං... ඒ මොක්කුද කියල පිංතූර බලල මම කියන්නම්” මේ ගමන ගැන මම ඔහුට සැල කළ වේලේ කී දෙයකි. අ‍ඳෝමැයි! මොන සතුන් ද? කුරුල්ලෙකු දෙන්නෙකු, සුලබව දක්නට ලැබෙන වඳුරන් හැරෙන්නට මේ ගමන පුරාවට කිසිම සතෙකු එහෙමයි කියා අපේ ඇස ගැසුණේ නැත. ඊට හේතු බොහෝමයකි. ඒ සතුන් නැති නිසා නම් නොවේ. අප යන්නේ පා ගමනක් මිස, ක්ෂේත්‍ර චාරිකාවක් නොවන බැවිනි. ඉදින් සතුන් නිරීක්ෂණයේ ලා අවැසි, හික්මීම හා දෘෂ්ටිය පවත්වා ගැනීම මෙවැන්නක දී දුෂ්කර ය. සමනොළ අඩවියේ වැඩියෙන්ම වාර්තා වන්නේ පක්ෂී විශේෂ ය. උරග විශේෂ, මත්‍ස්‍ය විශේෂ, උභයජීවී විශේෂ,  සහ ක්ෂීරපායී සතුන් ද ඇතුළු විශේෂ දෙසීයකට ආසන්න සංඛාවක් මෙහි වෙසේ.
රැස්යුරුව ඉහළට දිස්වන අයුරු..
ගැරැඩි ඇල්ල
 සීග්‍ර බෑවුමක් ඔස්සේ ඉහළ නැගි අපි දැන් යන්නේ, කන්ද වටා සමෝච්ච මගක ය. බැතිමතුන්ගේ සාධු නාදය දැන් ලං ලං ව ඇසේ. මීදුම පහව ගිය ඇසිල්ලකින් රීදීපැහැයෙන් පහළ දිස් වන්නේ මාඋස්සාකැලේ ජලරැස්යුරුවයි. මොහොතකට නැවතී නිරීක්ෂණයේ යෙදුනෙමු. රශ්මි දෙනෙතිය ගෙන විපරම් කරන්නට විය. “අන්න අන්න අපි කාර් එක නවත්වපු තැන” දෙනෙතියෙන් නිරීක්ෂණය කරන විට නල්ලතන්නිය රථගාල මොනොවට දිස් වේ. අවට ගොඩනැගිලිවල හැඩයෙන් සහ පැහැයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන. ගැටලුවකට ඇත්තේ දැන් පතිත වන්නේ හිරුගේ අන්තිම රැස් දහර වීම ය. තවත් මොහොතකින් සියල්ල අඳුරේ ගිලෙනු ඇත. කම් නැත. තවත් සුළු වේලාවකින් අප මළුව ආසන්නයේ ප්‍රධාන මගට පිවිසෙනු ඇත. “අර පේන්නෙ ගැරඬි ඇල්ල..” ඉදිරි කඳු පන්තියේ සිට පහළට රූරා එන තවත් දිය දහරා කිහිපයක් ම අපේ නෙත ගැටිණි. ඒවා හඳුනා ගැනීමට අපි උත්සාහ කළෙමු. අඳුර වැටිණි. “දැං යං” මම කීවෙමි. සෙමින් සෙමින් අඩි තබමින් අප ඉදිරියට ඇදුණේ අන්ධයන් මෙනි. වන මග අවහිර වූවාක් වැනි ය. දෙපසේ පඳුරු මගට වැටී අවහිර වී ඇත. “හප්පා....” අපගේ නාස්පුඩු හැකිලී ගියේ ය. ඉවසුම් නොදෙන දුඟදකි. සෙස්සන් විමතියෙන් බලනා කල්හි මාගේ මුවග රැඳුනේ මන්දස්මිතියකි. අපි වන මගේ අවසානයට පැමිණ සිටිමු.  අප දැන් තරණය කළ යුත්තේ බැතිමතුන්ගේ ‘සුළු දිය පොකුණකි’. මෙතැනින් වන මගක් ඇති බව බැතිමත්හු නොදනිති. එය තම තමන්ගේ දිය බර සැහැල්ලු කර ගැනීමට කදිම අහුමුල්ලක් සේය ඔවුනට දිස් වන්නේ.
“වඳින්න යන මේ නඩේට... සුමන සමන් දෙවි පිහිටයි...” යකඩ අත්වාරුවට බර වෙමින් ඉහළට ඇදෙන ජන ගංගාවට අපි ද එක් වුණෙමු. තවත් අඩි කිහිපයක් හෝ යන්නට දෙපා වාරු නැති තරම් ය. එබැවින් යමක් සප්පායම් වී ගිමන් නිවා ගත යුතු ය. මින් ඉහළ කඩයක් ඇත්දැයි සැක සහිත ය. ඉහළින් ඇත්තේ අවසන් තේ කඩය යැයි කෙනෙකු පැවසී ය. වියපත් බැතිමත්හු විඩාවෙන් වුව ද අදිටනින් යුතු ව කරුණා කරති. ඔවුනගේ දෑස් විඩාවට වඩා ආඩම්බරයෙන් පිරී ඇති බව මට පසක් විය. අප මෙහි ආගන්තුකයන් සේ ය මට දැණුනේ. මගේ පිට රැඳි බර පොදිය තවකෙකුගේ ගමන් මග අහුරාලයි. යකඩ වැට අල්ලාගෙන පහසුවෙන් ඉහළට ගමන් කළ හැක්කේ දෙදෙනකුට පමණි. කිසිවෙකු මා පසුකර යන්නට කිහිප විටක් ම යත්න දරන සෙයක් මට දැණුනි. යකඩ වැට මතට පිට රැඳි පොදිය බර කළ මා පසෙකට හැරී ඉඩ හළෙමි. සුදෝ සුදු වතින් සැරසුණු සොඳුරු යුවතියකි. මා වෙත මදහසක් පෑ ඈ මා පසු කර ගියේ සිය මෑනියන් ද එක් අතකින් වාරුකර ගනිමිනි. මා නිසොල්මන් ව බලා හුන්නෙමි.
 මා දෑස තවමත් රැඳී ඇත්තේ පියවරෙන් පියවර ඉහළ ඇදෙන යුවතිය වෙත ය. රැළි වූ කෙස්වැටියෙන් මිදුණු කියඹු ලතා ඇගේ දෙකොපුල මත නලියනුයේ හිරිගඩු පිපිපෙන තරම් වූ සීත සුළඟ වැදීමෙනි. සීත පහකර ගැනීමට මෆ්ලරයක් හෝ ඇගෙ ගෙලේ දක්නට නොවිණි. ධවල වර්ණ දිග සායකින් සහ හැට්ටයකින් පම‍ණෙකි ඇය සැරසී සිටියේ. ඊට අමතරව වූයේ පය රැඳි මිරිවැඩි යුවලත් වම් අත රැඳි පසුම්බියත් පමණෙකි. ඇය මළුවට ගොස් මිස නො නවතින සෙයකි. “අයියෝ....කෙල්ලෙකෙකුත් පහු කරගෙන ගියානෙ” කිසිවෙකුත් කීවේ දැයි මම වටපිට බැලීමි. නැත. “කෙල්ලො කොල්ලො විතරක් මොකද වයසක උන්දැලත් අපව පහුකරන් ගියානෙ” මම මටම කියා ගතිමි. මැරතන් තරගයක් නිම කරන්නෙකුගෙන් “මීටර් සීයක් තර‍ගෙට දුවමු ද” යැයි කිසිවෙකුත් අසන්නේ නැත.


අන්තිම තේ කඩය..
මේ නල්ලතන්නි මාර්ගයේ අවසන් බොජුන්සල ය. ඒ ඉදිරිපිට ඉදිකර ඇති ලී බංකුවකි. බංකු ලෑල්ල මත බරපොදිය උනා දමමින් දුන්නක් මෙන් දිග ඇදී කොන්ද කෙලින් කර ගතිමි. අනෙක් දෙදෙනාද බංකුව මත හිඳ ගත්තෝ ය. අපගේ බර පොදි ලෑල්ලේ කෙළවරක එකමත එක තැබූයේ තවත් කෙනෙකුට දෙන්නෙකුට බංකුව මත හිඳ ගැනීමට ඉඩ ලැබෙන පරිදි ය. “මෙතැනින් රෑට සප්පායම් වෙලා ම යමු” එකෙකු යෝජනා කළේ ය. ඒ අදහස නරක නැත. අප යන්නේ මළුවේ රැය පහන් කිරීමට ය. එහෙත් එහි ඉඩ කඩ ඇති දැයි සැක සහිත ය. ඉහළ පහළ ගමන් කරනා වන්දනාකරුවන් දුටු විට එසේ සැක නොකර බැරි ය. “කොහොම වුණත් කාලම යමු” රශ්මි බොජුන්හලට වැදුනේ ය. “බත් තියෙනව ද?” “හැක් හැක්...” මුදලාලි කහට දත් විලිස්සා සිනාසුනේ ය. ඒ කිසිවෙකුත් එවැන්නක් නො විමසන නිසාවෙන් විය යුතු ය. පොල් රොටි, රෝල්ස්, එළවලු රොටි, මාලුපාන් ආදී ආහාර පමණි මෙහි ඇත්තේ.  වර්ග දෙකතුනක් මිලට ගත් අපි ලෑල්ලේ හිඳගෙන ඒවා ගිල දැමීමු‍. පිටිගුලියක් වැනි රොටියක් හපන මට සිතුනේ අනෙකා ගිලදමන මාලුපාන් මීට වැඩිය හොඳ වන්නට ඇතැයි කියා ය. ඒත් ඔහුට ද එසේ ම සිතෙන්නට ඇතැයි මට සිතුනේ දෙවැනි වර මා මාලුපාන් තෝරාගත් බැවිනි. ඉදිරිපස කඩයෙන් තනුර මිල දී ගත් කඩල නම් අගනේ ය. උණු උණු කඩල ඇට අහුරක් දෝතට ගත් විට එය ක්ෂණයකින් නිවී යන්නේ, දෙඅත්ලට උණුසුමක් ගෙන දෙමිනි. ඊළඟ මොහොතේ එය මුවේ රුවා ගත හැකි ය. රසය ඇත්තේ කඩලවලට වඩා එම උණුසුමේ ය.
 අඩහෝරාවටකට වඩා එහි රැඳී සිටි අප දැන් ඉහළ නැගීමට සූදානම් ය. ගත දවා ලූ දාහය නිවී ගියෙන් දැන් දැන් සීතල ඇඟට දැනේ. එහෙත් වෙනත් ඇඳුමක් ඇඟ ලා ගැනීමට හදිසි විය යුතු නොවේ. මළුවට තවත් පියගැට බොහෝමයක් එක එල්ලේ ඉහළ නැගිය යුතු ය. එහෙයින් සීතල පරයා සර්වාංගයම උණුසුම් වනු ඇත. මළුවට ආසන්න වෙද්දී පියගැටවල පළල තව තවත් අඩු වේ. එහෙයින් තදබදය ද වැඩි ය. පියගැට පෙළ දෙකඩ වන සේ මැදින් ද යකඩ අත්වැලක් සවි කර ඇත. එබැවින් එක් පසෙකින් ඉහළ නගින්නන් ද අනෙක් පසින් පහළ බසින්නන් ද ගමන් කරති.
“සාධු සාධු අපි වැන්දා.. අපේ මුනිදු අපි වැන්දා....” වැඩිපුර කවි ඇසෙන්නේ පහළ බසින උදවියගෙනි. ඉහළ නගින අයට කවි කීමට තරම් නිස්කාංසුවක් නැත. එහෙත් ඇතැම්හු පිළිතුරු පදයක් දෙකක් ගැයීමට මැලි නොවෙති. “තව ටිකයි.. තව ටිකයි...” අමාරුවෙන් ඉහළ ඇදෙන්නන් දිරිමත් කරන්නේ සිරිපා කරුණා කර පහළ බසින්නන් ය. ඒ බාල මහළු සැමෙකෙකුගෙම පාහේ වත පුරා පැතිරුණු ප්‍රීතියකි.
මළුවට සේන්දු වූ අපි පළමුව කළේ විශ්‍රාම ශාලා දෙසට ගමන් කිරීම ය. ඒ සියල්ල වන්දනා නඩවලින් පිරී ගොසිනි. අපි ඒ මැදින් අනෙක් අන්තය කරා ගමන් කළෙමු. කිසිම තැනෙක ඉඩක් නම් සොයා ගත නොහැකි ය. ඒ ගිමන්සල් අතරින් මළුව වටා ගමන් කළ හැකි ය. තදබදය මැද්දේ ම රවුමක් දෙකක් ගමන් කළ ද ඉඩ ඇති තැනක් සොයා ගැනීමට නොහැකි විය. පසුව අපි උඩමළුවට පසෙකින් වූ පියගැට පෙළක් මත හිඳ ගතිමු. එතැන එතරම් සෙනගක් දක්න‍ට නොවූයේ සුළං පහර තදින් හමනා නිසාවෙන් විය යුතු ය. වේගවත් සුළඟ සමඟ හිරිකඩ මෙන් වත මත වැදෙන පිණිපොද සියොළඟ හිරිගඩු නංවයි. ඊටත් වඩා ඉවසුම් නො දෙන්නේ අසල වූ කසල බඳුනෙන් හමන දුගඳ ය. අප සතු වූ සියලු බර පොදි එක තැනෙක ගොඩ ගසා, දෙදෙනෙකු පමණක් උඩ මළුවට පිවිසියේ එකෙකු එතැන රඳවා ය. එහි පිවිසෙන සැවොම ඝණ්ටාව නාද කිරීම අනිවාර්ය කාර්යයකි. පෙර පැවතියේ එක් ඝණ්ටාවක් පමණක් වුවත් එමෙන් දෙතුන් ගුණයක් පමණ විශාල තවත් ඝන්ටාවක් එහි දැන් විරාජමාන වේ. පිරිසේ වැඩි කැමැත්ත එය නාද කිරීමට ය. මම ද ඒ දෙස ගියෙමි. මා සිහි එලවාගන්නට තත්පර වූයේ කී වරක් එය නාද කළ යුතු දැයි නිනව්වක් නැති හෙයිනි. වැඩිදුර නොසිතා දෙවරක් එය නාද කළෙමි. ඇතැම් වැඩිහිටියෙකු එය 18 වතාවක් නාද කරනු මම අසා සිටියෙමි. ඉන් පිළිඹිබු වන්නේ සිරිපා නැමදූ වාර ගණන ය. හය හත් වතාවක් මා සමනොළ අඩවිය සැරිසරා තිබුණ ද සිරිපා මළුවට පැමිණ තිබුණේ දෙවතාවක් පමණි.
 පඬුරු පිරිකර දෝතින් ගත් සැදැහැවතුන් ය. සිරිපා කූඨය මත ඒවා තැන්පත් කර නැමැදීමට වැඩි වේලාවක් නොලැබෙන්නේ පිටුපසින් තෙරපි තෙරපී තවත් බොහෝ පිරිසක් සිටිනා බැවිනි. යාබද කුටියක ස්මීන්වහන්සේලා අඛණ්ඩව පිරිත් සඡ්ඣායනය කරති. පිරිස හැසිරවීමට සිරිපා මළුවේ සේවය කරන්නන් මෙන්ම පොලිසිය ද යොදවා ඇත.  සෙනග එක් පසෙකින් උඩමළුවට ඇතුළු වී සිරිපා නැමැද අනෙක් පසෙන් බැස යති.
 සිරිපා කරුණා කරන බොහෝ පිරිසක් එකනෙහි බැස නොයා මළුවේ රැදෙන බව පසක් වූයේ අප වාඩි ලා ගෙන සිටි පිය ගැට පෙළ ද සෙනගින් පිරී ගිය බැවිනි. මෙතැන රැය පහන් කිරීම නුවණට හුරු නොවේ යැයි අපට වැටහුණේ, හිරිපොදයක් හමා යෑමත් සමගිනි. වැස්සක් වැස්සොත් කිසිදු ආවරණයක් එහි නොවී ය. ආවරණය සහිත විශ්‍රාම ශාලා සෙනගින් පිරී ගොසිනි. කුමක් කරමු ද? පහළ බැසීම එක් විසඳුමකි. එහෙත් ඉර සේවය නරඹන්නේ කෙසේ ද? “අපි තව ටිකක් මෙතැන ඉමු. සෙනග අඩු වුණේ නැත්තම් පහළට යමු.” මම යෝජනා කළෙමි. අන් අයද ඊට එකඟ වූයෙන් සල්ලාපයේ යෙදෙමින් එතැන ම රැඳුනෙමු.
“බුදුහාමුදුරුවො මෙතැනට වඩින්න ඇත්තේ ඇයි?” එකෙකුගෙන් පැනයකි. “සිරිපා සලකුණ තියන්න...” ඒ පිළිතුර ප්‍රමාණවත් නොවූ සෙයකි. හුදී ජන හිතසුව පිණිසම කටයුතු කළ අප මහා බුදුරජාණන්වහන්සේ මිනිස් පහසින් තොර වූ මෙවන් ගිරිකුළක් තරණය කිරීමට කරුණ කිමැයි යන්න ද සාධාරණ පැනයකි. එහෙත් එය තර්කයට ගෝචර නොවන්නේ ඉතිහාසයීය කරුණකට වඩා ආගමික මුහුණුවරක් ගන්නා බැවිනි. වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ ශ්‍රී පාද කූඨය බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වේ. මහාවංශයේ ද මේ බව සඳහන් වේ. ලංකා ඉතිහාසයට අනුව, සමන්තකූඨය මත සිරිපා සලකුණ තැබීමට බුදුරදුන් වැඩම කර ඇත්තේ ක්‍රි. පූ. 6 වැනි සිය වසේ ය. ඉන් අනතුරුව මේ ස්ථානය වැඳපුදා ගන්නට පැමිණි විවිධ රජවරුන් වන්දනාකරුවන්ට අවැසි පහසුකම් සපයා දීමට උත්සුක වී ඇත.
 මා සමනොළ ගිරිහිසට ඉහළින් ඇති අහස දෙස නෙත් යොමු කළේ තරුවක් හෝ දැකිය හැකි දැයි බැලීමට ය. වලාකුළින් බර වූ අහසේ තරු දැකිය නොහැකි වුවත් අපූරු දසුනක් මගේ නෙත ගැටිණි. ඒ, දහස් සංඛ්‍යාත වූ නිශාචරයින් රෑනකි. මේ වවුල් රෑන සිරිපා වන්දනා කරනවා විය නොහැකි ය. රහස වැටහිණි. මළුව හා ඒ ඉහළ අහස විසල් විදිලි ආලොකයෙන් වර්ණවත් වී ඇත. අවට වනයේ වෙසෙන අනේකවිධ කෘමිහු විදිලි ආලෝකයෙන් ගිණිකන වැටී ඒ වෙත පියඹා එයි. නිශාචරයින්ට එය පහසු ගොදුරකි.
 අද මෙය විදිලි ආලෝකය නිසා සිදු වුවත් වසර දහස් ගණනකට පෙරාතුරව ද මෙවැන්නක් සිදු නොවූයේ යැයි කිව හැකි ද? ඈත අතීතයේ දී ද මෙහි පැමිණි මිනිසුන් ගිනි දල්වන්නට ඇත. ඒ ගිනිමැල වටා ද මෙරු, පළගැටියන් ඈ කෘමීන් පෙළ ගැසෙන්නට ඇත. පූර්ව ඓතිහාසික මානවයන් ද මේ පෙදෙසේ කරක් ගැසූ බවට සාධක ඇත. රත්නපුර ද්‍රෝණියේ සිට හෝටන් තැන්න දක්වා “බලංගොඩ මානවයා” විසූ තැන් බොහොමයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වී තිබේ. ස‍මනොළ කන්ද වටා වූ සියගණනක් ගල් ලෙන් ඔවුන්ගේ වාසස්ථාන වන්නට ඇත.
 තවදුරටත් මෙහි රැඳී සිටී ම අපහසු වන තරමට සීතල දැනේ. එක් තැනෙකට වී නිසොල්මනේ සිටින විට සීතල දැනෙනවා වැඩි ය. එක්කෝ ගිමන්හලක ඉඩක් සොයා ගත යුතු ය. නැති නම් ඉර සේවය බැලීම පසෙක ලා පල්ලම් බැසිය යුතු ය. “පොඩ්ඩක් ඉන්න. මම රවුමක් ගිහිං එන්නම්” නැගී සිටි මම ගිමන්සලක් මැදින් ගොස් වඩාත් පහළින් පිහිටි වැසිකිලිය දෙසට පිය මැනීමි. ආපසු පැමිණියේ අනෙක් පස වූ ගිමන්සල මැදිනි. බැලූ බැලූ හැම අතක ම පැදුරු, ඉටිරෙදි ආදිය එළා දිගා වුණු ගැහැනු මිනිසුන් ය. ඇතැම්හු ඒවායේ වාඩිගෙන කති බොති. බස් දොඩති. එක් තැනෙක තරුණයින් පිරිසක් සිය ගමන්මලු අස් පස් කරනු දුටුවෙන් මා ඒ වෙත පිය මැන්නෙමි. “ඔයාල යන්න ද?...” “අපි තවටිකකින් යනව.. මෙතනට සෙට් වෙන්න පුළුවන් මචං...” එක් තරුණයෙකු ඉතා කුළුපගව පිළිතුරු දුන්නේ ය. කවර නම් පිනක් ද? මම වහා අනෙක් දෙදෙනා ද කැටුව පැමිණියෙමි. ඒ වන විටත් ඒ ඉඩ ගැනීමට නඩ දෙකතුනක් ම සූදානමින් සිටිති. යන්තම් තිදෙනෙකුට සරිලන ඉඩක් ලබා ගැනීමට හැකි විය. අවසන් මොහොත දක්වා ඒ මේ අත පනිමින් සිටි තනුරට හිමි වූයේ වාඩිගැනීමට හැකි ඉඩක් පමණි. අප ස්ථාන ගත වූයේ එක් දොරකඩක් අසල ය. එහි නිරතුරුව සීත සුළඟින් බැට කෑමට සිදු වේ. තනුරත් රශ්මිත් සීතල පහව යන ලෙස ඇඳ සිටි ඇඳුමට තවත් එකක් එක් කර ගන්නවා දුටිමි. මම ඊට පසු බෑමි. ඇඳ සිටි ටී ෂර්ටය උනා දමා මිස වෙනත් යමක් ඇඟ ලා ගැනීමට මගේ පිරියක් නැත. ඊට කදිම විකල්පයක් මා සතු විය. ‘ස්ලීපිං බෑගය’ එලා ගත් මා ඒ තුළට රිංගා ගතිමි. ඒ තුළ කදිම උණුහුමකි. “නිදාගත්තොත් නරකද” තවමත් සල්ලාපයේ යෙදෙන තනුර හා රශ්මිගෙන් මා විමසීමි. පිළිතුරක් නොලද්දෙන්, මුහුණ ද ආවරණය කර ගනිමින් නිදන්නට සැරසුණේ විදිලි ආලෝකයෙන් බේරීමට ය. එහෙත් මොන නින්දක් ද? එක් පසෙකින් නිරතුරුව හැඬවෙන ගණ්ටා නද ය. අනෙක් පසින් බැතිමතුන් කෑ කෝ ගසන හඬ ය. ඊටත් වඩා ඉවසුම් නොදෙන්නේ තනුරගේ අනවරත සංවාදයයි. දැන් ඔහු එතැනට පැමිණි වෙනත් නඩයක් සමග සල්ලාපයේ ය. යන්තම් වාඩිගැනීමෙන් පමණක් සෑහීමට පත් වී නිදාගැනීමට තිබූ ඉඩ හේ තවත් පිරිසකට පිරිනමා තිබුණි. ඒ නඩයේ සිටියේ මා පියන් හා පැමිණි දූවරු දෙදෙනෙකි. තනුර සංවාදයේ යෙදෙන්නේ පියා සමග ය. කොමඩු, කෙසෙල් ගෙඩි, නොයෙකුත් වර්ගයේ කැවිලි අතිනත බෙදේ. කවුරුන් හෝ පූජාවට්ටියක් දෙකක් රැගෙන විත් ය. නින්ද අහලක නොවූවත් මා ‘ස්ලීපිං බෑගය’ තුළ ය. එය එතැන සිටි ගැහැණුන්ගේ කතා බහට දහන පෝෂකයක් වී ඇති සැටියෙකි. එක් තැනැත්තියකට මා ඒ තුළ නිදන අයුරු දැක සිනාව නවතා ගත නොහැකිව, අනෙකාට ද ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නී ය. කෙතරම් භාධක පැමිණිය ද නිදියෑමේ අදිටන මම නොවේ අත්හැරියේ. නෑසූ කන්වැ මම තවත් ගුලි වී නිදා ගතිමි.
“අම්මෝ...” මම උඩ විසි වී ගොස් ඇහැරුනෙමි...
 “යන්තම් ඇහැ පියවුණා විතරයි. මේ මොන හෙනගෙඩියක් ද?” මට සිතුනි. කිසිවෙකු මගේ සිරුර මත පතබෑවී තිබුණේ, එය මෙට්ටයකැයි සිතා ය. ස්ලීපින් බෑගය තුළ මිනිස් පරාණයක් ඇතැයි යන්න ඔහුට හෝ ඇයට නිච්චියක් නොවන්නට ඇත. අතුරු සිදුරු නො මැතිව පිරී තිබූ ගිමන්සල තුළ මෙවන් ඉඩක් තවත් නම් කොයින් දැයි සිතෙන්නට ඇත. මොන කලබැගෑනියක් සිදු වුව ද, මම නොවේ ඔළුව එළියට ගත්තේ. නිදිගත් විලසින් ම සිටියෙමි. ටික වේලාවකින් ඒ පිරිස ඉවත්ව යනු ඇසිණි. ඒ තැන ගත්තේ තවත් නඩයකි. එහි පිරිස වැඩි ය. කෙලි, කොලු, මහළු, ළමා ආදී බොහෝ ය. මෙතැනින් වාඩි වෙන්න. පිරිමියෙකු කියනවා ඇසිණි. ඒ සමඟ ම, කිසිවෙකු මගේ සිරුර මත අත තැබූයෙන් මම වහා හිස් ආවරණය ඈත් මෑත් කළෙමි. “අයියෝ මේකෙ එක්කෙනෙක් ඉන්නවා” ඇය මහ හඬින් පවසන්නී, කොක්හඬලා සිනාසෙන්නී ය. ඇයට සිනාව නවතා ගත නොහැකි සේ ය. වැරදිලාවත් ඇය හිඳගත්තී නම් අඬන්නට වන්නේ මට ය. ඇයත් නඩයේ අන් අයත් තනුර හා රශ්මි සමග සල්ලාපයට වැටෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. “හරි අසාධාරණයි මෙයා විතරක් සැපට නිදියනවා... එයාට නම් පොඩ්ඩක්වත් සීතල නෑ වගේ...”  එකියක පවසන්නී ය. මම නිදි විලසින් ම සිටියෙමි. දැන් මගේ ඉඩකඩ එන්න එන්නම සීමා වේ‍. මා එක් කකුලක් නවා දනහිස ඔසවා ගත්තේ මා ද එහි සිටිනා බව සිහිකට යුතු බැවිනි. නැවතත් මා කුකුළු නින්දේ ය.
 නින්ද බිඳී ගියේ කලබලයක ස්වරූපයක් දැනුණු හෙයිනි. මට උසුළු විසුළු කරමින් සිටි යුවතියට සීතල දරා ගැනීමට නොහැකි සේ ය. ඇය දෑත් එක් කොට පිරිමදින්නටත් දඟලන්නටත් වන්නී, වැඩිහිටියන් එක් වී බාම් උලා සම්බාහනය කරති. ගිමන්හලට මදක් ඔබ්බෙන් එළියේ ගිනිතැපීමට තැනක් ඇති හෙයින් ඇය ඒ වෙත ගියේ සහනයක් බලාපොරොත්තුවෙනි. වැඩිවේලාවක් යන්නට මත්තෙන් නැවතත් පැමිණි ඇය “අයියෝ තවත් නම් ඉන්නට බැරියෝ...” යැයි කෙඳිරිගාන්නට වූයෙන් ඔවුහු පල්ලම් බසින්නට තීරණය කළහ.
“දැන් වෙලාව කීයද?” “පාන්දර හතරයි” වහා අත රැඳි හෝරා යන්ත්‍රයට නෙත් යොමු කළ රශ්මි පැවසූවේ ය. තවත් නිදා ගැනීමේ තේරුමක් නැත. සර්පයෙකු බෙනයකින් ඇදෙන්නාක් මෙන් සීරුවට මම ස්ලීපිං බෑගයෙන් එළියට ඇදුනෙමි. දියපොදක් පානය කළ මට කැවිලි සංග්‍රහ කළේ තනුර ය. “මේ කොහෙන්ද මේවා....” අප කිසිදු කැවිල්ලක් ගෙන ආ බවක් හෝ මිලට ගත් බවක් මට මතක නැත. “අර ගෑනුළමයි දීල ගියෙ.. මේ හැලප හරි රහයි. කාල බලන්නකො...”. සැබවි, ඉතාරසවත් ය. වන්දනාවේ එන පිරිස් නොයෙක වර්ගයේ කැවිලි පෙවිලි ගෙදරින් සාදාගෙන එති.
 නැගී සිටි මම ගිමන්සලෙන් එළියට පැමිණියෙමි. එළියේ ද සෑම තැනක ම පාහේ සෙනග ය. ඔවුහු කටුක ශිත සුළ‍ඟින් පීඩා විඳිති. පිරිසක් ගිනිතපිති. අයෙක් පාදාන්තයේ සිට කේශාන්තය දක්වා රෙදි පොරවාගෙන වුව සීතලෙන් ගැහෙති. මළුවේ වඩාත් පහළට වන්ට ඇති වැසිකිළි පෙළ අසල එතරම් පිරිසක් දක්නට නැත. දුම් නො බොන ලෙස දන්වා ඇති පුවරුවක් අසල ම දුම් බොන්නෙකි. ඔවුහු වැසිකිළි නො ගොස් ම පරිසරය ‘කැත’ කරති.
නැවත ගිමන්සල තුළට ගොස් ශිත පහව යන සේ ඇඳුම් ඇඟලා ගත්තෙමි. අඩුම කුඩුම එක්රැස් කරගත් අපි පිටත් වීමට සියල්ල සූදානම් කර  ගත්තෙමු. ඉරසේවය නැරඹීමට නම් මළුව ඉහළට යා යුතු ය. තදබදය වැඩි නිසාවෙන් දැන්ම ගොස් තැනක් අල්ලාගත යුතු ය. සිරිපා නමදින බැතිමත්හු එක් පසෙකින් ඇතුළු වී අනෙක් පසින් බැස යති. අපට අවැසි වන්නේ ඉර සේවය නැරඹීම පමණි. එබැවින් සිරිපා නමදින පෝලිමේ සිටීමට අවැසි නැත. එහෙත් ගැටලුව ඇත්තේ ඉහළට නැඟ ගැනීම ය. අප දැන් සිටිනුයේ සෙනග බැස යන පැත්තේ ය. අනෙක් පසට ගොස් ඉහළට නැගීම මහත් දුෂ්කර කාරියක් වූයේ අතුරුසිදුරු නැතිව මළුව වටාම සෙනග රොද බැඳ සිටි බැවිනි. එය අත්හළ අපි, සෙනග බැස යන පැත්තෙන් ඉහළට නැග ගැනීමට යත්න දැරුවෙමු. දැන් ඉරසේවය දිස් වන ඉසව්ව තෝරා ගත යුතු ය. ඒ වන විටත් අහස මදක් ආලෝකවත්ව තිබූ බැවින් එය සුළු දෙයකි‍. තනුර මට ඉදිරියෙනි. මම පිටුපස බැලීමි. රශ්මි පෙනෙන්නට නැත. එහෙත් දැන් ඔහු සොයා යා නොහැකි ය. දුරකථනයෙන් ඇමතීම යෙහෙකි. තනුරත් මමත් මාරුවෙන් මාරුවට ඇමතුව ද, ඉන් ප්‍රතිචාරයක් නැත‍. “කෙලියනෙ... කෝ කැමරාව..?” එය රශ්මිළඟ ය. දැන් ඉරසේවයේ පිංතූර ‘අරං හමාර’ ය.  පෙරැළුණු පිට හොඳ යැයි කියා මේ අනගි අවස්ථාව පියවි දෑසින් විඳගැනීම යෙහෙකැයි සිතා ගතිමි.
පහළ බසිමින්
ඉහළ නගින මහ සෙනග
 අහස් කුස මඳින් මඳ ආලෝකවත් වේ. අවට කඳු වළලු පෙනෙන්නේ කිරිසයුරෙන් පැන නැඟි දූපත් විලසිනි. එය හිරු කිරණින් රත් වී ගොජ දමන්නා සේ ය. ඇතැම් තැනෙක දුම් රොටු ඉහළට නැගී යේ. මේ නම් සුරලොවක් මිස අන් කුමක් ද? වෙනදා දකින වලාකුළු ඇත්තේ ඉහළ ය. එහෙත් මේ වලාකුළු ඇත්තේ පහළ ය. කිරිසයුර තැනී ඇත්තේ ඒ වලාවලිනි. මුළු අහස් කුස ම ධවල පැහැයෙන් හැඩගැන්වී වී තිබුණ ද එක් අන්තයක් පමණක් රත් පැහැයෙන් ජ්වලිත වේ. ඒ නැගෙනහිර ය. එහි වලාවෝ රතුපැහැයෙන් හැඩ වෙති. එය රඟ මඬලක් වැනි ය. වරෙක රත් පැහැ වලා තීරය පරයා අළු පහැ කුලුනක් ඉහළ එසැවේ. එහි හැඩය ක්‍රමයෙන් වෙනස් වී අපූරු රටා මැවේ. තවමත් හිරු වැඩියේ නැත. පෙරමග රැඟුම් පමණි. රත්පැහැ වලාතුර සැඟවීවත් ද? මසිත කුකුසකි. එසේ වී නම් ඉරසේවයක් නම් දැකිය නොහැකි වනු ඇත. කුකුස දුරලමින් එකවර හිරු පැන නැංගේ ය. ඒ ඈත ක්ෂිතිජයේ වූ කඳු පෙළට ඔබ්බෙනි. රත්පැහැ හිරු තැටිය මොහොතකින් ඉහළට එසැවිණි. හාත්පස ඒකාලෝක විය.
පහළ බැසීමට මහත් තදබදයකි. එකා පිටුපස එකා ඇදෙන්නේ හිස ඉහළට හරවාගෙන නිකට ඉදිරියට එල්ලවන පරිදි ය. ඒ තරමට තෙරපුමකි. මගේ පිට රැඳි මල්ල මට මෙන්ම සෙස්සන්ට ද කරදරයකි. එහි රඳවා තිබූ එක් කොටසක් තනුර අතට ගත් හෙයින්, සෙනග අතරින් රිංගා යෑම පහසු විය. මළුවේ සිටින පිරිස පහළට බසින තෙක් පහළ සිටින පිරිසට මළුවට ගොඩ විය නොහැකි ය. මෙතරම් තදබදයක් ඇති වී ඇත්තේ එබැවිනි. කෙසේ හෝ හෝරා අඩක පමණ වෑයමකින් පසු පහළ යන මගට පිවිසීමට හැකි විය. අපට ඈතින් සිට රශ්මි අත වනනු දුටුවෙමු. පහළට යන ලෙස මා ඔහුට සන් කළේ, ඒ හැර අන් විකල්පයක් නොවූ බැවිනි. බොහෝ විට යනවාට වඩා එක තැන සිටීමටය සිදුව ඇත්තේ. පැයක් පමණ ගතවීමෙන් පසු පහළට යන මග මඳක් පැහැදිලි විය. අප තිදෙනාට නැවතත් එකට ගමන් කිරීමට හැකි විය.
 මහගිරි දඹය පසු කර පුළුල් පඩි සහිත පෙදෙසට අවතීර්න වද්දී තදබදය මුළුමනින්ම පහව ගොස් තිබිණි. දැන් නිවීසැනසිල්ලේ ගමන් කළ හැකි ය. හොඳින් හිරුකිරණ පතිත වේ. අපි පය ඉක්මන් කළෙමු. සිසිලස පරයා ඉහින් කනින් දාහය මතු වේ. අමතර ඇඳුම් උනා දැමිය යුතු ය. ඒ සඳහා මදක් පමා වීමු. දැන් අප පසුකරන්නේ ගෙත්තම්පාන ය. මෙහි මග පසෙක පඳුරු මත යාර ගනනින් දිග නූල් පටලවා ‘ගෙත්තම්’ කර ඇත. එය ඈතට දිස් වනුයේ යෝධ මකුළු දැලක් විලසිනි. මගේ ඇස නිරායාසයෙන් ඇදී ගියේ කපු නූල් අතර එල්ලා ඇති පූජා භාණ්ඩ යැයි සිතිය හැකි පැකට්ටු රැසක් වෙත ය. ඒ තුළ කුමක් පැවතිය ද ගැටලුව වන්නේ ඒ සැමෙකක්ම පොලිතින් කවරයකින් වැසී තිබීම ය. ඒවා නොදිරන අපද්‍රව්‍යයක් ලෙස පරිසයට එක් වේ.

ගෙත්තම් පානේ ගෙත්තම්
ගැරඬි ඇල්ලේ පෝෂක පෙදෙස

අපි හැල්මේ පහළ බැසීමු. දැන් බඩගිනි ය. යමක් සප්පායම් වීම හොඳ ය. බොජුන්සල් කිහිපයක්ම පසු කර පැමිණි අපි එක් බොජුන් සලක් අසල නතර වූයේ එහි හොඳින් ඉඩකඩ වූ බැවිනි. ලී කණු යොදා සකසා ඇති ඒවායේ බිත්ති වෙනුවට ඇත්තේ ඉටිරෙදි පෙරවූ කෙටි ආවරණයකි. වාඩිගැනීම සඳහා රළු ලෑලිවලින් සැකසූ බංකු ය. වඩා උස් වූ මේස සඳහා ඇත්තේ ඉටිරෙදිවලින් ආවරණය කළ ලෑල්ලකි. මුදලාලි කාන්තාවකි. “එන්න එන්න රොටියක් කාල කහට එකක් බීල යන්න...” සෙනග අද්දවා ගැනීම සඳහා කෑ මොර දෙන්නී ද ඇය ම ය. තවත් කොල්ලො කුරුට්ටන් දෙදෙනකු ඒ ඉදිරිපිට ඇඹුල් පේර විකුණයි. අනෙකා පරයා තමන් වැඩියෙන් විකුණා ගැනීමට ඔවුහු දෙදෙනාම අනවරථ වෑයමක යෙදේ.
“අපිට රොටි ගේන්න. එළවළු රොටිත් ගේන්න.....” ඉදිරිපස වහළයේ එල්ලා ඇති කෙසෙල් කැනකි. “කෙසෙල් ගෙඩිත් ගේන්න...” “කෙසෙල්ගෙඩියක් කීයද?” රශ්මි ඇසුවේ රහසින් මෙනි. “රුපියල් පනහයි...” කට පොල්කිරි හොද්දක් මෙන් සකසාගත් මුදලාලි අක්කා පැවසුවා ය.  ඇඟිල්ලකට වඩා මඳක් තර වූ කෙසෙල් ගෙඩි කිහිපයක් ම ඒ වන විටත් අප ගිල දමා තිබිණි.
ඉහළට බර අදින්නෝ
හොඳහැටි සප්පායම් වූයෙන් බඩගිනි ද නැත. විඩාවක් ද නැත. එකම ගැටලුව වූයේ උස් පඩි බැසීමේදී දෙපා මත දැනෙන කම්පනයයි. එය මඟහරවා ගනු වස් වරෙක අපි හරස් අතට පඩි බැසීමු. කෙසේ වුව ද දැන් හදිසියක් නැති හෙයින් නිවී සැනසිල්ලේ ගිමන්හරිමින් ගමන් කළ හැකි ය.
නිරතුරුව ම අප නෙත ගැටුන දසුනක් වූයේ බර පොදි කරමතින් ගෙන ඉහළ ඇදෙන දෙතුන් දෙනාගේ කණ්ඩායම් ය. ඇතැම් විට තනිතනිව බර රැගෙන යන්නෝ ද වෙති. ඉහළ මළුව දක්වා බොජුන්සල් ඇතුළු සියළු දේ සඳහා සැපයුම් කෙරෙන්නේ මෙසේ ය. වරෙක බර පොදියක් රැගෙන ඉහළ ගිය අයෙකු නැවත අපි පසුකරමින් පහළට යන අයුරු දුටිමි. වැඩිදුරක් යෑමට මත්තෙන් නැවතත් ඔහු බර රැගෙන ඉහළ යන අයුරු ද දැක ගත හැකි විය. ඉන් අපට පසක් වූයේ ඔවුන් බර ගෙන යන්නේ ‘රිලේ’ ක්‍රමයට බව ය. ගෑස්, පිටි මෙන්ම අනෙකුත් සකලවිධ දෑ මෙලෙස මිනිසුන්ගේ කර මතින් ඉහළ යයි. කන්දේ ඉහළ යන තරමට බඩු මිල ද ඉහළ යන්නේ දහදිය කඳුළු වගුරනා මේ මිනිසුන්ට ගෙවන මුදල ද ඊට එක් වන බැවිනි.
සීත ගඟුල, සාම ‍ඓත්‍යය පසු කර පහළට එන විට මග දෙපසම දැකිය හැක්කේ කුඩා කුඩා වෙළෙඳසල ය‍. අනේකවිධ වෙළෙඳ භාණ්ඩ ඒවායේ වේ. නල්ලතන්නියට සමීප වන විට සිහි ගැන්වෙන්නේ පිටකොටුවේ කඩ වීදියකි. කළු දොදොල්, පුහුල් දෝසි, කොට්ට කිලං ආදී කෑම ජාති මතු නොව, විවිධාකාරයේ සෙල්ලම්බඩු, ප්ලාස්ටික් බඩු ආදියෙන් ඒවා පිරී ගොසිනි.
නල්ලතන්නිය ආසන්නයේ මග දෙපස
මොටෝරිය නවතා ඇති තැනට ළඟා වීමට එතරම් වේලාවක් ගියේ නැත. මේ වන විට එහි වැඩි තදබදයක් නැත. රිය දුහුවිල්ලෙන් නැහැවී තිබුණේ එහි පැහැය පවා හඳුනාගත නොහැකි වන අයුරිනි. වහාම ගමන් මලු සියල්ල රියට පටවා එතුලට රිංගා ගත්තේ විගසින් මේ ඉසව්වෙන් පිටමං වීමේ අපේක්ෂාවෙනි. විඩාබර ගතට සිසිලසක් දැනිය යුතු ය. ඒ සඳහා නිදහසේ ගලා යන ගං කොමලියක් සොයා යා යුතු ය. අපි යන පාරේ ලක්ෂපාන හමුවෙනවා නේද? එකෙකු විමසී ය. මම මුවින් නො බැන රිය පැදවීමි.
 මාඋස්සාකැලේ රැස්යුරු බැම්ම මතින් රිය ධාවනය වේ. එහි නීල පැහැ ජල තලය ‘ස්නානය’ සඳහා ඇරයුම් කරන්නාක් මෙනි. එහෙත් මෙහි ස්නානය තබා ජලයතලය වෙත පිය මැනීමටවත් නොහැකි ය. ඒ ආරක්ෂක හේතු නිසා ය. ඒ අසල ම හමුදා මුරපොළක් ද ඇත. “වතුර ටික නම් නිල් කැටේට. ඒත් නාන්න බෑනෙ.” මැවිසිල්ල තනුරගෙනි. නිල් දිය ඇත්තේ මෙහි පමණ ද? මෙතරම් නිල් පැහැයක් ජලයට එක් වූයේ කෙසේ ද? එය ජලයේ පැහැයක් නොවේ. ජලයට පැහැයක් නොමැත. පැහැය ඇත්තේ අහසෙහි ය. අහස් කුසට ඒ පැහැය වෑහෙන්නේ හිරුගෙනි. හිරු කිරණේ විවිධ පහැය සැඟවී ඇත. දේදුන්නක් පායා ඇති විට ඒ සියලු පැහැය එක විට දැක ගත හැකි ය. නිල්පැහැය දසත විසුරුවාලන්නේ වාතලයේ ඇති අංශුවලිනි. අහස වාලාකුළින් බර මොහොතක ජල තලය නිල් පැහැයෙන් දැක ගත නො හැක්කේ එබැවිනි.

“මේ කිට්ටුව දිය ඇල්ලක් තියෙනව ද?” අප විමසූයේ හමුදා සෙබළෙකුගෙනි. හෙතෙම පැවසූ මං සලකුණු අනුව ආ මගෙහි ම ආපසු හැරී යා යුතු ය. ඊට සිත් නොදේ. අපි ඉදිරියට ඇදුනෙමු. සිරිපා මාර්ගයෙන් ගිනිගත්හේන දෙසටය අප යන්නේ. “අපි සප්තකන්‍යා කඳු වැටියත් බලාගෙන යමු.” ර‍ශ්මි පවසන්නේ ය. තේ වතු මැදින් වැටී ඇති මග දෙපස නෙතට ප්‍රිය ගෙනේ. එහෙත් ඒ අසිරිය රිසි සේ විඳින්නට මට ඉඩක් නොමැත්තේ අසීරුවෙන් වුව සීරුවට ධාවනය නොකළ හොත් කොතැනක නවතී දැයි සිතාගත නො හැකි නිසාවෙනි. මාවත දැඩි වංගු සහිත ය. රශ්මිත් තනුරත් රිසි සේ අවට සිරි විඳිති. ටික දුරක් යන විට සප්තකන්‍යා කඳුවැටිය ඈතින් පෙනෙන්නට විය. එය දිස් වූයේ අප යන මග වම් දෙසිනි. “අන්න සප්තකන්‍යා... අපි බැහැල බලමුකො” රශ්මිගෙන් බේරිල්ලක් නැත. එහෙත් මේ ඉසව්වේ වාහනයක් නවතා තැබීමට තරම් මග දෙපස පුළුල් නැත. “ඉස්සරහින් නවත්තන්නම් පොඩ්ඩක් ඉවසල ඉන්න...” මම කීවෙමි. තනුරත් රශ්මිත් අතර තර්ක ඇවිල යන්නේ 70 දශකයේ දී එම කඳුවැටියේ ගැටී ඇද වැටුණු ගුවන් යානය පිළිබඳව ය‍. බෑවුම් සහිත පටු මාර්ගයේ එක් තැනෙකට ඉඩක් දුටු මම වහාම රිය නතර කළෙමි. “මේ දෙවැනි කඳු වැටියෙ තමයි ප්ලේන් එක වැදෙන්න ඇත්තෙ” අනෙකා අත දිගු කරමින් පෙන්වන්නේ වෙන තැනෙකි. දෙදෙනාම සිය මතය තහවුරු කිරීමට වෑයම් කරති. මේ පිළිබඳව විමසන්නට කිසිවෙකුත් ඒ පාලු පාරේ නැත. “අපි තවටිකක් ඉස්සරහට යං...” ටිකදුරක් එන විට පාර අයිනේ තෘණ මිටි බඳිමින් සිටි ලියකි. මම මඳක් මෙපිටින් රිය නතර කළෙමි. රශ්මි වහා බැස ගියේ ය. ඔහු දුටු නිසා දෝ, ඇය වහා පය ඉක්මන් කළා ය. ඔහු පසුපසින් නො ගොස් නතර විය. මම ද බැස ගියෙමි. තිදෙනාම එක්ව සප්ත කන්‍යා කඳු වැටියේ ගුවන් යානය වැදෙන්නට ඇතැයි යන ඉසව්ව නිරීක්ෂණය කරන්නට විය. දෙනෙතිය අතිනත මාරු වේ.
 “බරාස්...” යන අනුකරණයෙන් මොටෝ රියක් තිරිංග යෙදුවේ ය. එය නැවතුනේ අප පසු කර මඳ දුරක් ගොසිනි. “මම අයිනට කරලනෙ නවත්තල තියෙන්නෙ.... මොකක් ද අවුල...” මම විපිළිසර වීමි. ඒ ක්ෂණයෙන් එය පසුපසට ධාවනය වන්නේ ගියාටත් වැඩි වේගයකිනි. “මේ පාත්වෙන්න යන හෙනගෙඩිය මොකක් ද” එකෙක් විමසී ය. “ආ.. මහත්තයල සප්තකන්‍යා බලනව වගේ..” මා පුදුම වූයේ එය ගැහැනු කටහඬක් නිසාවෙනි. පසුපස අසුනෙන් එබිකම් කර අප වෙත උසුළු විසුළු කළේ දුලානි ය. “අපි සමන් දේවාලෙට යන ගමන්...” ඇය මහ හයියෙන් සිනාසෙන අරුත මම දනිමි. දැන් මුළු කාර්යාලය ම මේ ගැන යාවත්කාලීන වනු ඇත. මම මා දෙස බැලීමි. ගත වැසී ඇත්තේ දින දෙකකට පෙර ඇඳි ඇඟලුමෙනි. එය අවපැහැ වී ඇතුවාක් මතු නොව, වෑහෙන ගන්ධය මට නො දැනුණ ද අන් අයට දැනෙනු ඇත. රැවුළු වැවී කෙස් වැටිය ද අවුල් ව ඇත. පිටුපසින් තවත් රියක් පැමිණියෙන් ඔවුහු යන්නට ගිය හ. අපි නැවතත් සප්තකන්‍යා  ගැටලුවේ ය.
සප්තකන්‍යා කඳු
 තව ඉදිරියට යන විට මේ ගැන ගම්මුන් හමු වී වැඩිදුර තොරතුර විමසීමේ අටියෙනි අපි පිටත් වූයේ. “ලක්ෂපානට යන්නෙ මෙතැනින්” තුංමංසලක් අසල දී තනුර පැවසී ය. මම වහා එදෙසට රිය පැදවීමි. දැන් සප්තකන්‍යා කඳුවැටිය ඉතා සමීපයේ ය. නැවතත් රිය නතර කරන ලෙස අයැදින්නේ රශ්මි ය. මම එය නෑසුනා සේ “ඔය එන සීයගෙන් ලක්ෂපාන ඇල්ලට යන පාර හරිද කියල අහගන්න” කියමින් රිය නතර කළෙමි. ඔහුගෙන් මග විමසූයේ තනුර ය. ඔහුට මග විස්තර කියා කටගන්නට ලැබුණේ නැත. “සීයෙ අහස් යානාව වැදුණෙ මොන කන්දෙ ද?” රශ්මි විමසයි. “මහත්තයෝ ඕක වෙන කොට මම ගෙදර නිදියගෙන හිටියෙ...” ඔහු දිගු කතාවකට මුල පුරයි. රශ්මිගේ උත්තේජනය ‘ඇවිලෙන ගින්නට පිදුරු දැමුවාක් වැනි’ විය. සිය දිවියේ සත් වැනි දශකය පහුකරන හේ, මින් දශක හතරකට පෙරාතුව වූ ඒ සිදුවීම විස්තර කරන්නේ අපගේ දෑස් ඉදිරියේ සියල්ල දිග හැරෙන පරිදි ය. “මේං ‍මේ කන්දෙ වැදුනෙ ගුවන් යානයේ තටුව... තටුව කඩාගෙන ගිහිං ඊගාව ගලේ වැදිල තමයි ඒක බිම වැටුණෙ” ඛේදයක මහත! මෙතෙක් වේලා අප තර්ක විතර්ක කළේ වෙනත් කඳු ශිකර දෙකක් අරබයා ය. අප ආ මග දිගට මේ ගැන ලිපියක් ලිවීමට ඕනෑවටත් වඩා කරුණු රශ්මි විසින් හෙළි කෙරිණි. කෙසේ හෝ ඔහුට වුවමනා වූයේ ගුවන් යානය වැදුණේ කොතැන දැයි හරියට ම දැන ගැනීමට ය. “එතැන මහා ගිනි ජාලාවක් ඇති වුණා.. මේ පැත්ත පලාත ම ලයිට් දැම්ම වගේ එළිය වුණා...” සීයා සිය අත්දැකීම විස්තර කරයි. “මහත්තයලට ලක්ෂපාන බලල.. ගුවන්යානෙ වැදුන තැනට ම කාර් එකේ යන්න පුළුවන්...” පාර සෑහෙන අබලන් ය. එහෙත් මොටෝ රියකට මදක් අපහසුවෙන් වුවත් යා හැකි ය.
 කඩමංඩියක් අසලින් ‘ලක්ෂපාන ඇල්ලට’ යැයි පුවරුවකි. රිය පසෙක නවතා දිය නෑමට අවැසි දෑ පමණක් ගෙන පහළ බැසීමු. ඇල්ල දක්වා දිවෙන මග කොන්ක්‍රීට් පඩිවලින් නිමවා ඇත. දළ බෑවුමක දිවෙන මග දෙපස ඇත්තේ ගෙවතු ය. පාරේ සිට ඇල්ල දක්වා ලොකු වතු සහිත නිවාස හත අටක් පසු කර යා යුතු ය. කොන්ක්‍රීට් මග අවසානයේ එක්වරම විරාජමාන වන්නේ මහා දියකඳක් ඇද හැලෙන ලක්ෂපාන ඇල්ල ය. එහි බොහෝ සෙනග එන සෙයක් දිස් වුව ද, එවෙලෙහි හිටියේ හත්අට දෙනකුගෙන් යුත් පිරිසකි. අප ආ විගසම පාහේ ඔවුන් ද පිටව ගියෙන් සිත් සේ නා ගතිමු. දිය නෑමට ආරක්ෂිත වන්නේ ඇල්ල ඇදවැටෙන තැනෙන් අඩි දෙතුන් සියයයක් මෙපිටිනි. එතැන් සිට දියකඳ පතිතවන පොකුණ දක්වා මහා ගල්කුළු මග අහුරා ඇත. ඒ සියල්ල ඉහළ සිට ඇදවැටුණු ඒවා ය. දිය කඳ රළු වූ දිනෙක මේ ගල්කුළුවලට ද මත්තෙන් මහා ජල ධාරාවක් ඇදී යන බවට ඉවුරු දෙපස තැලී නැවී ගිය පඳුරු ආදිය දෙස් දේ.
ලක්ෂපාන ඇල්ලේ උස මීටර් 126කි.  උස අනුව ලංකාවේ දිය ඇලි අතරින් එයට හිමි වන්නේ 8 වැනි තැන නමුත් ලෝකයේ 625 වැනි තැන ය. දිය ඇල්ලක උස කියැවෙන්නේ එක දිගට ඇද හැලෙන දිය දහර අනුව ය. ගල් දිගේ පහළට රූරා එන දිය දහරා දිය ඇලි සේ සැලකෙන්නේ නැත. තට්ටු තට්ටු ලෙස පහළට ගලා යන ඒවා හැඳින්වෙන්නේ ‘කඳුරැලි’ ලෙස ය. මම මහ ගල්කුළු අතරින් දිය කඳ පතිත වන විසල් පොකුණ අසලට ඇදුනෙමි. ඇල්ලෙන් හමා එන හිරිකඩ පහර නිසා එහි සිටගෙන සිටීමට පවා අසීරු ය. ඇල්ල මුදුනෙන් හැලෙන දිය රැල්ලක් පහළට සේන්දු වීමට තත්පර ගණනාවක් ගත වේ. ඇදහැළෙන එවැනි දිය රැළිති දෙස ඇසිපිය නොහෙළා බලා සිටිය හැක. පෙළට ඇදී එන ඒ සෑම රැළිත්තක් ම පහළ ගල්තලයේ හැපී විසිරී යයි.
ලක්ෂපාන දිය ඇල්ල
 තවත් පිරිසක් ඒ වෙත සේන්දු වූයෙන් අප ඉවුරේ ගල්තලය මතට ගොඩ වූයේ ඉහළ නැඟීමට ය. දින ගණනක පා ගමනින් ‘කකුල් කෙඩෙත්තුව’ සෑදී තිබුණ ද අප නොවේ එය ගණනකට ගත්තේ. සිසිල් දියෙන් දොවා ගත් ගත නැවත දහදියෙන් නැහැවීමට ය අප පසුබට වූයේ. එහෙයින් අප පඩි නැග්ගේ මදක් හිට හිට ය. ගිමන් නිවා ගැනීමට කදිම තැනෙකි. පඩිපෙළ අයිනට වන්නට හුරුබුහුටි ලෙස සැකසූ කුඩා කඩයකි. අප පහළ බසින විට මෙය විවෘත කර තිබූ බවක් මතකයේ නැත. එහි බෙලිමල් වතුර ඇත. මම වහා කිතුල් හකුරු සමග බෙලිමල් ඇණවුම් කළෙමි. එහෙත් රශ්මිට වුවමනා වෙනත් බීමකි. “වෙන බීම මොකුත් නෑ මල්ලී. ඔක්කොම ඉවර වුණා. පහුගිය දවස් ටිකේ පුදුම සෙනගක්නෙ ආවෙ.” කඩයේ හිමිකාරිය පවසන්නී ය. එහි එකම සේවිකාව ද ඇය ය. විඩාබරව සිටි අපට බෙලිමල් පානය අම රසයක් සේය දැනුණේ. ඒ සමඟ ලැබුණු හකුරු කැබැල්ල ද ඊට නො දෙවැනි ය. එහි පැහැය වෙනස් ය. වඩා මෙලක ය. අන් බොහෝ තන්හී ඇත්තේ සීනි මුසුකොට තැනූ ගලේ ගැසුවත් නොකැඩෙන තරම් වූ ‘කිතුල්’ හකුරු ය.
 “අක්කගෙ ගෙවල් කොහෙ ද..?” තනුර විමසූයේ බොහෝ වේලාවක් ඈ අප සමග ඉතා කුළුපගව දොඩමළු වූ නිසා ය. “මේ ඉස්සරහ...මගෙ ගම පානදුරේ... දැන් ඉන්නෙ මෙහෙ...” සිනා මුසුව ඈ පැවසූයේ අනෙක් පස වූ නිවෙස පෙන්වමිනි.  බෙලිමල් පානයෙන් ලද ආශ්වාදයට වඩා රශ්මිගේ අවධානය යොමුව ඇත්තේ සප්තකන්‍යා කඳුවැටිය, ගුවන් අනතුරෙන් මළවුන් වෙනුවෙන් ඉදි වූ ස්මාරක ආදිය පිළිබඳව ඈ කරන විස්තරය වෙත ය. “ඒ පාරෙන්ම ගිහිං කිතුල්ගලට යන්න පුළුවන්” අපට යා හැකි පහසු මගක් පවා ඈ පැහැදිලි කළා ය.
“ආ.. මෙන්න තැන...” ගුවන් අනතුරෙන් මියගියවුන්ගේ ස්මාරක පිළිබඳව සඳහන් වූ ජරාජීර්ණ වූ පුවරුවකි. එහි ඇති ‍දෑ හරිහැටි කියවීමට නොහැකි වුවත් ඒ එතැන ම බව ඉඳුරා ඉන් වටහාගත හැකි විය. දැන් අප සිටින්නේ ඈත ඈත සිට නිරීක්ෂණය කළ ගිරිශිකරය පාමුළ ය. අඳුර වැටීමට ද ආසන්න ය. “අපි ස්මාරක බලලම යමු” රශ්මි පසු නොබසී. තනුර ද ඔහු හා එක් විය. මම රියට වී සිටියෙමි.
 එය සිදු වූයේ 1974 දෙසැම්බර් 4 වැනි දා ය. ඩීසී-8 ගුවන් යානය අනතුරට ලක් වූයේ වන්දනාකරුවන් රැගෙන මක්කම සිට ආපසු එන ගමනේ දී ය. කාර්ය මණ්ඩලය ද ඇතුළු 191 දෙනෙක් ඉන් මරුමුවට පත් විය. මිනිත්තු පහකැයි පැවසුව ද ඔවුන් ආපසු ආවේ එමෙන් සිව්ගුණයක පමණ වේලාවකිනි. “එතැන තියෙන ස්මාරක කඩා බිඳ දාල.. වල්වැදිල තියෙන්නෙ...”    
 අප සිත තුළ සියුම් දෝමනස්සයක් පැණනැගී තිබුණ ද තුමුළ ගිරිශිකරය ඒ කිසිවකින් නොසැලෙන සෙයකි. වසර දහස් ගණනක් මතු නොව දසදහස් ගණනක්, ලක්ෂ ගණනක් තිස්සේ සොබාදහමේ සියලු දුක්ඛදෝමනස්සයන් ඉවසා වදාරා වැජඹෙන ඒ කඳුවැටියට සමුදුන්නේ තෙදිනක් තිස්සේ කළ පා සැරියට විරාමයක් තබමිනි.